ඉරානය:
සෙනසුරාදා (28) එක්සත් ජනපද - ඊශ්‍රායල ප්‍රහාර ඇරඹි දින සිට අද මෙරට වේලාවෙන් ප.ව.3.10 තෙක්, ඉරානයේ පුද්ගල මරණ 1,045ක් වාර්තා වේ. ඉන් 175 ක්ම කුඩා පාසල් දැරියන් ය. යුද්ධයේ මුල් දිනම, මිනාබ් හි පාසලක් වෙත එල්ල කළ සභාග ප්‍රහාරයන්ගෙන් එම දැරියන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලයේ පිරිසක් ඝාතනය වූහ. ඒ අතර ඉරාන විප්ලවීය හමුදා සාමාජිකයින් වී දැයි තවමත් තහවුරු වී නැත.
ඊශ්‍රායලය:
මෙවර යුද්ධයෙන් මෙතෙක්, ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇත. ඉන් නව දෙනෙක්ම මාර්තු 1 දා, ජෙරුසෙලම ආසන්නයේ පිහිටි, බෙයිට් ෂෙමේෂ් වෙත එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූහ. යුද්ධයෙන් මෙතෙක් ඊශ්‍රායල හමුදා මරණ වාර්තා වී නැත.
ලෙබනනය:
ඊශ්‍රායලය විසින් ලෙබනනය වෙත එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මෙතෙක් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 77කි.
බහ්රෙන්:
බහ්රෙන් වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් නිෂ්ක්‍රීය කෙරුණු අතර එම මිසයිල කොටස් වැටී හටගත් ගින්නකින් සල්මන් කාර්මික නගරයේ පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය.
ක්වේටය:
ඉරාන ප්‍රහාර හේතුවෙන් ක්වේටයේ හමුදා භටයින් දෙදෙනකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඕමානය:
ඕමානයේ මස්කට් අගනුවරට ඔබ්බෙන්, මාර්ෂල් දිවයින් ධජය යටතේ යාත්‍රා කළ එම්.කේ.ඩී ව්යෝම් ඉන්දන නෞකාවට එල්ල වූ ප්‍රහාරයකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් විය. නෞකාව හැඳින්වෙන 'ව්යෝම්' යන වදන අහස හෝ අවකාශය යන අරුත් දෙන සංස්කෘත සහ හින්දි භාෂා වෙතින් බිඳී ආවෙකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය:
යුද්ධයෙන් මෙතෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, පුද්ගල මරණ තුනක් වාර්තා වේ.
එක්සත් ජනපද හමුදා:
ක්වේට් හි එල්ල වූ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයින් සය දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
සිරියාව :
සෙනසුරාදා (28) සිරියාවේ දකුණුබද ස්වෙයිදා නගරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඉරාකය:
ඉරාකයට එල්ල වූ ප්‍රහාරයකින් සන්නද්ධ පුද්ගලයින් 11 දෙනකු, හමුදා භටයකු සහ සිවිල් පුද්ගලයකු ඇතුළු 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
කටාර් ආරක්ෂක අමාත්‍යංශයටත් මිසයිල ප්‍රහාර
කටාර් ආරක්ෂක අමාත්‍යංශය මිසයිල ප්‍රහාරයකට ලක් වූ බව වාර්තා වේ. එරට ගුවන් ආවේක්ෂණ පද්ධතිය මගින් එම ප්‍රහාර නිෂ්ක්‍රීය කිරීමට පියවර ගත් බව ද සඳහන්ය. දෝහා අගනුවර බටහිර අන්තයේ පහිටි නේවාසික දිස්ත්‍රික්කයක් වෙතින් දුම් වලාවක් නැගෙනු දුටු බව රොයිටර්ස් පවසයි.
අසර්බයිජානයත් පැටලේද?
අසර්බයිජානය වෙත ද ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයල්ක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාළ ලද බව එරට විදේශ අමාත්‍යංශය සඳහන් කරයි. ප්‍රහාරය පිලිබඳ එරට ඉරාන තානාපතිවරයා දැනුම්වත් කිරීමට රජය පියවර ගත්තේය. ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමේ පූර්ණ අයිතිය තමන් සතුව ඇතැයි, අසර්බයිජාන රජය පවසයි. එරට නඛ්චිවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතින් දුම් වළා අහසට නැගෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ පලව තිබේ. එහි, ඉරානය දෙසින් ආ මිසයිල සහ ඩ්‍රෝන කොටස් වැටී ඇතැයි ද වාර්තා වේ.
ඉතාලියේ සූදානම :
ඉරාන ප්‍රහාරයන්ට මුහුණ දීම පිණිස ගල්ෆ් රටවලට ගුවන් ආරක්ෂක ආධාර ලබා දීමට ඉතාලිය සැරසේ. මේ වන විට එම රටවලට අවශ්‍ය ආධාර සපයන බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය අතරට ඉතාලිය ද එක්වන බව, අග්‍රාමාත්‍ය, ජෝර්ජියා මෙලනි අද (5) පැවසීය.
ඉතාලිය විසින් එම පියවර ගන්නේ, එම කලාපීය රටවල් කෙරෙහි පවතින මිත්‍රත්වය හේතුවෙන් පමණක් නොව, එම රටවල දහස් සංඛ්‍යාත ඉතාලි පුරවැසියන්ද වන නිසාවෙන් බව ඇය කියා සිටියාය. කලාපයේ 2000කට අධික ඉතාලි හමුදා සේවයේ යොදවා සිටිති.
එක්සත් ජනපද තෙල් නැවකට ප්‍රහාර :
උතුරු ගල්ෆ් කලාපයේ දී එකසත් ජනපද ඉන්දන නෞකාවකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවීය හමුදා පවසති. නෞකාව ගිනි ගෙන දැවෙමින් ඇතැයි ඔවුහු කියති. ඉරාක කුර්දිස්ථාන් හි පිහිටි කඳවුරු වෙත ද මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඔවුහු පවසති.
(සටහන |RdioFreeEuropoe / RadioLiberty ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran live: Azerbaijan vows to respond after Iranian drone attack; Iran says it hits US tanker




