අධිභාර ඇතුළු බහළු ප්‍රවාහන ගාස්තු සීග්‍රයෙන් ඉහළ යමින් පවතී. පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ ඇතැම් බහළු වරායයන්හි සහ ලොව කාර්ය බහුලතම නෞකා මග ගැටළු හේතුවෙන් පොරොත්තු කාල සීමා දැඩි ලෙස ප්‍රමාද වෙමින් තිබේ.
මර්ස්ක්, එම්.එස්.සී, සී.එම්.ඒ. සී.ජී.එම්, හපැග් ලොයිඩ් ඇතුළු ප්‍රමුඛ පෙළ ජාත්‍යන්තර නැව් සමාගම් රැසක් විසින් ගල්ෆ් වරායයන් වෙත සිදු කළ පූර්ව වෙන් කිරීම් අවලංගු කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.
බහළු නෞකා රැසක් සුවස් ඇල මග හැර සුබ ප්‍රාර්ථනා තුඩුව (Cape of Good Hope) ඔස්සේ යාත්‍රා කිරීමට තීරණය කර තිබේ. ඉදිරි ප්‍රමාදයන් සහ නව අධිභාර පිළිබඳ ගනුදෙනු පාර්ශ්ව දැනුම්වත් කර ඇත.

ඒ අනුව, සී.එම්.ඒ. සී.ජී.එම් සමාගම ට අයත් බහළු නෞකා සුවස් ඇල මගහැර සුබ පැතුම් තුඩුව ඔස්සේ යාත්‍රා කරන බවත්, එම බහළු නෞකා මගින් ප්‍රවාහනය කෙරෙන අඩි විස්ස සම ඒකකයකට (TEU) හෙවත් එක් බහළුවක් මත ඇමෙරිකානු ඩොලර් 2000ක හදිසි ගැටුම් අධි භාරයක් පනවන බවත්, මර්ස්ක් සමාගමට අයත් බහළු නෞකා ආරක්ෂාව තකා සිය මධ්‍යධරණී සහ එක්සත් ජනපද පෙරදිග තීරයේ සේවා සියල්ල අප්‍රිකාව වටා ගමනාගමනය සිදු කරන බවත්, එම්.එස්.සී. සමාගම මෙම මස 10 දා සිට, මැද පෙරදිග ගමනාන්ත සඳහා ඇමෙරිකානු ඩොලර් 500ක බහළු අධිභාරයක් පනවන බවත්, එම නෞකා ද සුවස් ඇල මග හැර යාත්‍රා කිරීම හේතුවෙන් සියලු සේවාවන්ට ගමනාන්ත වරායයන් වෙත ලඟා වීමට අමතර දින 14-25 පමණ කාලයක් ගතවිය හැකි බවත් දන්වා ඇතැයි, සමුද්‍රීය වෙළඳ සහ එම අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන රොහාන් මාසකෝරාල විසින් සිය මුහුණු පොත සටහනක උපුටා දක්වා තිබේ.
ඇතැම් නැව් සමාගම් විසින් ගල්ෆ් කලාපයේ සිය නෞකා ආරක්ෂිත වරායයන් වෙත යළි කැඳවා තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය සහ පර්සියුනු ගල්ෆ් කොරිඩෝව ඔස්සේ නෞකා ගමනාගමනය තර්ජිතව ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා වෙත පහර දෙන බවට ඉරානය තර්ජනය කර සිටී.
(සටහන, maritime gateway ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/3/2026
Global Lines Reroute Around Middle East as Conflict Shuts Key Shipping Arteries




