මැද පෙරදිග ඉන්දන සහ එම ප්‍රවාහන ජාලා ඉලක්ක කළ ඉරාන ප්‍රහාර සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. තෙල් බැරලය ඩොලර් 200ට මිලදී ගැනීමට සූදානම් වන්නැයි ඉරානය විසින් දන්වා තිබේ. එය සමස්ත ලොව වෙත සිදු කළ තර්ජනයකි.
යුද්ධය දැනටමත් ජයග්‍රහණය කර ඇතැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
සති දෙකකට පමණ පෙර ඇරඹි මෙම යුද්ධයෙන්, මේ වන විට, 2000කට අධික මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමිව ගොසිනි. යුද්ධයෙන් මියගිය ළමුන් සංඛ්‍යාව 1,100කට අධික බව යුනිසෙෆ් සංවිධානය කියයි.

ගෝලීය බලශක්ති වෙළඳපොල සහ ප්‍රවාහන ජාල දැඩි අර්බුදයක පසුවේ. යුද ගැටුම දැන් සමස්ත මැද පෙරදිග කලාපය තෙක් පැතිර අවසන් ය. ලොව රටවල් කිහිපයක්ම 'ආපදාසු භවිස්සති' පිණිස නිදන් කර තිබු ඉන්දන සංචිත මුදා හැරීමට පියවර ගත්හ. මෙය 1970 දශකයෙන් පසු හටගත් දරුණුතම ඉන්දන කම්පනයකි.
ට්‍රම්ප්ගේ ට්‍රම්පට්
එළැඹෙන නොවැම්බරයේ, එක්සත් ජනපද මධ්‍යවාර මැතිවරණ 'පරීක්ෂණය' පැවැත්වීමට නියමිතය.
ජනපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂය එය ජය ගැනීමට අප්‍රතිහත වෙහෙසින් කටයුතු කරමින් සිටී. ඊට අදාලව ඊයේ (11) කෙන්ටකී ප්‍රාන්තයේ ජන රැළියක් පැවති අතර එය ඇමතීමට ජනපති ට්‍රම්ප් ද එහි ගොස් සිටියේය. එක්සත් ජනපදය, යුද්ධය ජය ගෙන ඇතැයි ඔහු එහිදී පැවසිය.
සෑම දෙවසරකට වරක් ආපසු එහි ගොස් ඊට 'සහභාගි' වීමට නොහැකි යැයි ද ඔහු පැවසීය. ඉන් ඔහු අදහස් කළේ වත්මන් දැඩි මතධාරී ඉස්ලාමීය රෙජිමය, මෙදා පොටේ 'ඉවරෙටම ඉවර' කිරීම සිය අපේක්ෂාව බව විය හැකිය.
"අපි මොකටද කලින් යන්නේ....? එහෙම නේද....?" ඔහු රැස්ව සිටි ජනතාව වෙතින් ප්‍රශ්න කළේය.
"මේක ඉවරයක්ම කරලා දාන්න ඕනෙ," ඔහු පැවසීය. රැස්ව සිටියෝ අත්පොළසන් දුන්හ.
අතීතයේ බහුතර මතය
පුරාණ යුදෙව් දේශයට අයත් යැයි කියන යූදයේ රෝම ආණ්ඩුකාරයා වූ පිළාත් (Pontius Pilate) ඉදිරියට, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව රැගෙන එනු ලැබිණි. උන්වහන්සේගේ වරදක් සොයාගත නොහැකි බව පිළාත්ට හැඟුණි. එම අවස්ථාවේ කැරැල්ලකට හා මිනීමැරුමකට සම්බන්ධ බරබ්බස් නම් සිරකරුවෙකුද අත්අඩංගුවේ සිටියේය.
පාස්කු උත්සවයේදී ජනතාව කැමති සිරකරුවෙකු නිදහස් කිරීමේ චාරිත්‍රයක් විය.
“ඔබම කියන්න... නිදහස් කළ යුත්තේ කවුද? ජේසුස්ද? බරබ්බස්ද? ” පිළාත්, ජනතාවගෙන් ඇසීය.
ආගමික නායකයන් විසින් ඒ වන විටත් ජනතාව උද්දීපනය කර තිබිණි. ඔවුහු, “බරබ්බස් නිදහස් කරන්න! ජේසුස්ව කුරුසියේ ඇණ ගසන්න!”යනුවෙන් එක හඬින් කෑගැසූහ.
අවසානයේ පිළාත්, බහුතර ජනතාවගේ ඉල්ලීම අනුව බරබ්බස් නිදහස් කර, ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගැසීමට භාර දුන්නේය.
බහුතර කැමැත්තට ඉඩ දීම ම ප්‍රජාතන්ත්‍රවාදය ද? ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතර මතය නොව, දැනුවත් බහුතරයේ මතය බව එදා ද, එම කෲර පාලනයෙන් භීතියට පත් ජනතාව නොදත්හ.
බොර තෙලේ බලේ

මෙම සතිය මුල බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 120තෙක්ම ඉහළ ගියේය. එවිට ජනපති ට්‍රම්ප්, මැද පෙරදිග යුද්ධය ඉක්මනින් ඉවර වෙතැයි ඉඟි කළෙන්, ලෝක වෙළඳපොළේ ඉහළ ගිය තෙල් මිල, බැරලයකට ඩොලර් 90ක් හෝ ඊට ආසන්න අගයක් තෙක් ස්ථාවර විය. ඊයේ, යලි එය 5%කින් ඉහළ ගියේය.
ආසියානු වෙළඳපොළ දැන් බොර තෙල් 'ගිනි ගණන්' ය. අද වන විට, ඉන්දන බෙදාහැරීම තව දුරටත් අවහිර වෙමින් පවතී.
ඉරානය, ජාත්‍යන්තරය දිගු කාලීන ආර්ථික කම්පනයකට ඇද දමමින් සිටී.
"බොර තෙල් බැරලය ඇමෙරිකානු ඩොලර් 200කට මිලට ගන්න සූදානම් වනු," යි ඉරාන සන්නද්ධ අණ මූලයේ මාධ්‍ය ප්‍රකාශක ඊයේ පැවසීය. "ඉන්දන මිල තීරණය වන්නේ අන් කිසිවක් මත නොව කලාපීය ආරක්ෂාව මත පමණි. උඹලා එය අස්ථාවර කළා," ඔහු එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට චෝදනා කළේ එලෙසිනි.

පුපුරන ද්‍රව්‍ය පිරවූ ඉරාන බෝට්ටු, ඉරාක මුහුදු සීමාවේ වූ ඉන්දන නෞකා දෙකක් පුපුරුවා හළ බව නිවේදනය කෙරුනේ අද ය. එම නෞකා ගිනිගෙන විනාශ විය. ප්‍රහාරයෙන් එහි එක් කාර්ය මණ්ඩල සාමාජිකයකු ද ජීවිතක්ෂයට පත් විය.
ගල්ෆ් තීරයේ වෙළඳ නෞකා තුනකට ද මේ වන විට ප්‍රහාර එල්ල වී තිබේ. බහ්රේනයේ මුහාරඛ් හි පිහිටි තෙල් ටැංකි සංකීර්ණයකට ද ඉරාන ප්‍රහාර එල්ල විය.
හදිසි අවශ්‍යතාවක් සේ සලකා ගෝලීය උපාය මාර්ගික තෙල් සංචිත වෙතින් බැරල මිලියන 400ක් වහා මුදා හරින්නැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඊයේ නිර්දේශ කළේය.
එක්සත් ජනපද උපාය මාර්ගික පැට්‍රෝලියම් සංචිත වෙතින්, එන සතියේ බැරල මිලයන 172ක් මුදා හැරීමට ජනපති ට්‍රම්ප් ගේ අනුමැතිය හිමි ව තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ බොර තෙල් එන බවට කිසිදු ලකුණක සේයාවකුදු තවමත් දිස් නොවේ.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Oil tankers burn near Iraq as Iranian strikes defy Trump's claim to have won the war




