ඉරාන ප්‍රහාරයකින් කටාර් ගෑස් සංචිතයකට දැඩි හානි
ඊශ්‍රායලය කළ ගෑස් නිධි ප්‍රහාරය ගැන එක්සත් ජනපදයට කල් තියා කියා නෑ - ට්‍රම්ප්ගෙන් චෝදනා
අද අළුයම බහ්රෙන්, කුවේට් සහ එක්සත් රාබි එමීර් රාජ්‍යයටත් ප්‍රහාර
ඊශ්‍රායල හමුදා අද (20) ඉරානයේ ඉලක්ක වෙත නවතම ප්‍රහාර මාලාවක් දියත් කළේය. ඊයේ (19), ඊශ්‍රායලය ඇමතූ එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මින් මතු ඉරානයේ ස්වභාවික ගෑස් යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල නොකරන ලෙස තරයේ අවවාද කළේය.

ඊශ්‍රායල හමුදා ඉරානයේ සවුත් පාර්ස් ගෑස් ක්ෂේත්‍රය වෙත එල්ල කළ දැවැන්ත ප්‍රහාරය ස්ව අභිමතය මත සිදු කරන ලද්දක් බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. ඊශ්‍රායලය විසින් සිදු කළ එම ප්‍රහාරයත් සමග මැද පෙරදිග යුද ගැටුම් තවත් උත්සන්න වී තිබේ.
එම ගැටුමින් මේ වන විට දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත අහිමි වී තිබේ. යුද්ධය ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. ටෙහ්රාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිලිබඳ සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා එක්ව පෙබරවාරි 28 දා ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර ආරම්භ කළහ.
ඊශ්‍රායල ආරක්ෂා හමුදා ටෙහෙරානයේ මර්මස්ථාන සොයා නවතම ප්‍රහාර මාලාවක් දියත් කර ඇතැයි, නම සඳහන් නොකළ ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියයි.
අද අළුයම බහ්රෙන්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ද මිසයිල ප්‍රහාර එල්ල වූ බව එම රටවල් නිවේදනය කළහ.
ඊශ්‍රායල ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් කාර්මික නගරයේ, ප්‍රමුඛ ගෑස් කෙතක් වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊයේ (19) ගෝලීය බලශක්ති මිල යළි ඉහළ ගියේය. ලෝක ස්වභාවික ගෑස් නිෂ්පාදනයෙන් පහෙන් කොටසක් එහි නිෂ්පාදනය කෙරේ. ප්‍රහාරයෙන් හානියට පත් එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් තවත් වසර ගණනක් ගතවනු ඇතැයි පැවසේ.
රතු මුහුදේ පිහිටි සෞදි අරාබියට අයත් ප්‍රධාන වරාය වෙත ද ඊයේ, ප්‍රහාර එල්ල විය. ඉරානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු එම වරාය ඔස්සේ අපනයන රැසක් සිදු කිරීමට පහසුකම් සැලසිණි.
අද ලෝක තෙල් මිල තරමක් පහත වැටිණි. යුරෝපීය රටවල් කිහිපයක සහ ජපානයේ සහභාගිත්වයෙන් හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා වෙත ආරක්ෂාව සැලසීමට පියවර ගැනීමත් සමග එම සහනදායී තත්ත්වය උදා විය.

ඉරානය 'දශමයටම' ඇද වැටෙමින් ඇතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. ඊට යළි කෙදිනක හෝ යුරේනියම් පෝෂණයට හා බැලස්ටික් මිසයිල නිෂ්පාදනයට හැකියාවක් නැතැයි ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, එරට අභ්‍යන්තර විප්ලවයක් උදෙසා "භූමි උපක්‍රමයක්" අනිවාර්ය බව හෙතෙම අවධාරණය කළේය.
ඉරාන බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර සිදු කළෙන්, යුද්ධය නව ප්‍රවේශයක් ගන්නා බව ද, ඒ හේතුවෙන් එක්සත් ජනපදය හා නෑ කම් කියන අසල්වැසි බලශක්ති යටිතල පහසුකම් වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බව ද ටෙහෙරානය පවසයි.
ඉරාන බලශක්ති යටිතල පහසුකම් වෙත යළි පහර දුනහොත්, කලාපයේ පිහිටි එක්සත් ජනපදයට සහ එම සන්ධානයට අයත් සියලු බලශක්ති පහසුකම් මුළුමනින් වැනසී යන තෙක් ප්‍රහාර එල්ල කරන බව ඉරාන හමුදා ප්‍රකාශක, එබ්‍රහිම් සොල්ෆඛරී එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය.
ඉරාන ප්‍රහාර හේතුවෙන් කටාරයේ සමස්ත ස්වභාවික ගෑස් අපනයනයෙන් හයෙන් එකක් අඩාලව ඇතැයි, කටාර් බලශක්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, රොයිටර්ස් පුවත් සේවයට පැවසීය. එහි පාඩුව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 20කට අධික ය. විනාශයට පත් එම යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට තවත් වසර තුනත්, පහත අතර කාලයක් වැය වනු ඇතැයි ද හෙතෙම පැවසීය.
ඊශ්‍රායලයේ හයිෆා වරායේ ඉන්දන යටිතල පහසුකම් වෙත ද ඉරාන ප්‍රහාර එල්ල වීමෙන් හානි සිදු විය.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Israel launches new wave of attacks on Iran as crisis deepens





