එහෙත්, 'කියන පමාවෙන්' එය සිදු කළ නොහැකි බව, ඉරානය දැන්වීය. එකඟතාවක් පිලිබඳ සිය පාර්ශ්වය තවමත් අවසන් තීරණයකට එළැඹ නැතැයි ද ඔවුහු කියා සිටියහ.
කෙසේ හෝ ගිවිසුම සාර්ථකව වුවහොත්, එය තෙමසක යුද්ධය අවසන් කිරීම පිලිබඳ අතිශය තීරණාත්මක සහ වැදගත් රාජ්‍යතාන්ත්‍රික පියවරක් වනු ඇත.
එක්සත් ජනපද යෝජනාවලියේ වැඩි කොටසක් අධ්‍යයනය කර අවසන් බව, ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක, එස්මයෙල් බඝේ උපුටා දක්වන එරට මාධ්‍ය පැවසීය. එහෙත්, එම යෝජනාවලියේ රතු කොටස් පිලිබඳ ඉරානයේ එකඟතාවක් නැතැයි ද ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.
"ඒ සම්බන්ධයෙන් අප තවමත් අවසන් තීරණයකට එළඹ නැහැ. අදාළ තීරක අංශ දැනටමත් මේ ගැන දැඩි විමර්ශනයේ යෙදී සිටිනවා. එබැවින්, එහි බරපතල බව වටහා ගත යුතුයි," ඔහු කීය.

මේ අතර, ධවල මදිරයට රැස් වූ මාධ්‍යවේදීන් අමතා කතා කළ ජනපති ට්‍රම්ප්, "මේ දැන් අපි ඉරාන යුද්ධය ගැන 'මාර' එකඟතාවකට ආවා," යි පැවසීය.
"අපි අස්සන් කළ වහා හෝර්මුස් සන්ධිය නිල වශයෙන් විවෘත වේවි. ඉක්මනින්, ඉතා ඉක්මනින්, සමහර විට මේ සති අන්තයේ යුරෝපයේදි, ඒක වේවි," ඔහු කීය. එක්සත් ජනපද පාර්ශ්වයෙන්, උප ජනපති ජේඩී වෑන්ස් ඊට අත්සන් තබනු ඇතැයි ද, ඔහු සඳහන් කළේය.
ඉරාන උත්තරීතර නායකයා එක්සත් ජනපද යෝජනාවලිය අනුමත කළේ දැයි, මාධ්‍යවේදීහු ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කර සිටියහ.
"මට තේරෙන විදිහට උත්තරේ, ඔවු," ඔහු කීය.
සාකච්ඡා ධනාත්මක බැවින්, ට්‍රම්ප් ඊයේ ඉරානය වෙත පහර දීමේ සැලැස්ම අවලංගු කළේය. ඒ සමග, කොටස් වෙළඳපොළ එක්සත් ජනපද කොටස් මිල ඉහළ ගිය අතර ගෝලීය ඉන්දන මිල යළි පහළ ගියේය.
ඉරාන ගැටුම අවසන් කිරීමට ගිවිසුම් ගත වීමට ඉතා ආසන්න බව, ට්‍රම්ප් පුන පුනා පවසන්නේ ඉකුත් මාර්තු මැද භාගයේ සිට ය.
"ඒක, පොඩි සංකල්පික ගතියකුත් එක්ක තියෙන හරි ශක්තිමත් අවබෝධතා ගිවිසුමක්," ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
"ලොකුම දේ තමයි, ඉරානෙට, කොහෙත්ම න්‍යෂ්ටික අවියක් තියෙන්න බෑ; හදන්නත් බෑ, සල්ලි දීල ගන්නත් බෑ," ඔහු පසුව කියා සිටියේය.
නොවැම්බරයේ පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණය හමුවේ, ඉරාන යුද්ධය ධවල මන්දිරයට දේශපාලනික හිසරදයකි. ඉහළ යන ගෑස් මිල හමුවේ, ඡන්ද දායකයෝ කෝපයට පත්ව සිටිති. ඒ හේතුවෙන් අන් කවර දෙනෙක්වත් නොවූ පරිදි, පූර්ව මැතිවරණ ව්‍යාපාරය තුළ ට්‍රම්ප්ගේ ඡන්ද ප්‍රතිශත පහළ වැටෙමින් පවතී.
මැදපෙරදිග සන්ධානයේ ප්‍රතිචාරය ද ඉතා තීරණාත්මක ය

ඉරාන ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සිය ගිවිසුම් යෝජනාවලිය, ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ද තහවුරු කර ඇතැයි, ට්‍රම්ප් සමාජ මධ්‍යයේ, සටහන් තැබීය.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය එම අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවකු නොවන බව, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පසුව නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.
ඉරානය සතු සුපෝෂිත යුරේනියම් සංචිත එරටින් ඉවත් කිරීම, යුරේනියම් පෝෂණ යටිතල පහසුකම් අක්‍රීය කිරීම මිසයිල නිෂ්පාදනය සීමා කිරීම සහ අසල්වැසි සන්නද්ධ කල්ලි වෙත ඉරාන සහාය අවසන් කිරීම සම්බන්ධයෙන් එම ගිවිසුම ඔස්සේ ජනපති ට්‍රම්ප්ගේ මැදිහත්වීම පිළිබඳව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රසාදය පළ කළේය.
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ දියත් කර ඇති සියලු සන්නද්ධ ක්‍රියාන්විත සහ ප්‍රහාර අවසන් කළ යුතු බව ටෙහ්රානය අවධාරණය කර සිටී.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Iran says no final decision made on deal that Trump hopes could be signed soon




