හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි විවෘතයි
ඉරාන සාම ගිවිසුම සිකුරාදා!
යුද්ධය අවසන් කිරීම පිණිස ප්‍රතිපත්ති රාමුවකට එළැඹි බව, එක්සත් ජනපද - ඉරාන නිලධාරීහු පැවසූහ. ඒ අනුව, එක්සත් ජනපදය විසින් පනවා ඇති ඉරාන වරාය තහනම ඉවත් කෙරෙන අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය ද වහා යළි විවෘත කෙරේ. කෙසේ වෙතත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ ඉරණම ඉදිරි සාකච්ඡා මත රඳා පවතී. මූලික එකඟතාව නිවේදනය කිරීමත් සමග ගෝලීය ඉන්දන මිල පහළ වැටිණි.
"ඉස්ලාමීය සමූහාණ්ඩුව සමග ගිවිසුම දැන් සම්පූර්ණයි," එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටන් වේලාවෙන් ඊයේ (14) ප.ව. 5.30ට, ග්‍රිනිච් වේලාවෙන් 2130ට සිය ටෘත් සමාජ ගිණුමේ සටහන් කළේය. එය ශ්‍රී ලංකා වේලාවෙන් අද (15) අළුයම 3.00 ය. පාකිස්ථාන අග්‍රාමාත්‍ය, ෂෙබාස් ෂරිෆ් විසින්, එරට වේලාවෙන් අද අලුයම එම ගිවිසුම මුලින්ම නිවේදනය කිරීමෙන් පසු, ට්‍රම්ප් ගේ සටහන පළ විය. ගිවිසුම සම්බන්ධයෙන් පාකිස්ථානය මැදහත්කරුවකුව ක්‍රියා කළේය.

ඒ අනුව, එක්සත් ජනපද - ඉරාන අවබෝධතා ගිවිසුම ලබන සිකුරාදා (19), ස්විට්සර්ලන්තයේ දී අත්සන් තැබීමට නියමිතය.
නව ගිවිසුමේ කොන්දේසි සියල්ල මෙතෙක් නිල වශයෙන් අනාවරණය නොවේ. එහෙත්, මූලික එකඟතා ප්‍රකාරව, ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි, හමුදා ක්‍රියාන්විත තිරසර ලෙස වහා අවසන් කළ යුතු බව ෂරිෆ්, සිය එක්ස් (X) ගිණුමේ සඳහන් කළේය.
ලෙබනන ගැටුම දෙරට අතර සාකච්ඡා හි ප්‍රධාන මාතෘකාවක් විය. ඉකුත් සති කිහිපය පුරාම, ඊශ්‍රායලය සහ හිස්බොල්ලා කල්ලිය ගැටුම් අවසන් කිරීම උදෙසා, ජනපති ට්‍රම්ප් ගේ ඉල්ලීම් සියල්ල නෑසූ කනින් පසු වූහ.
අද රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි, යුද්ධය සහ අන් හමුදා ක්‍රියාන්විත ස්ථිරව අවසන් කෙරෙන බව, ඉරාන උත්තරීතර ආරක්ෂක කවුන්සිල ලේකම් කාර්යාලය ද නිවේදනය කළේය.
ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් මෙතෙක්, කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නැත. එක්සත් ජනපද - ඉරාන සාකච්ඡා හි පාර්ශ්වයක් නොවන බව, ඊශ්‍රායලය මුල සිටම කියා සිටියේය.

ඉරානය විසින් මාස කිහිපයක් තිස්සේ වසා දමා තිබූ හෝර්මුස් සමුද්‍ර සන්ධිය, සිකුරාදා සිට යළි සම්පූර්ණයෙන් විවෘත කෙරෙන බව, ජනපති ට්‍රම්ප් පැවසීය. ඉරාන වරාය වෙත පනවා තිබූ තහනම ද ඒ සමග ඉවත් කෙරෙන බව, ඔහු නිවේදනය කළේය.
"ලොව නෞකා මුළුවට ඇරයුම් කරමි. ඔබේ යන්ත්‍ර පණ ගන්වන්න. ඉන්දන ප්‍රවාහනය නිදහසේ ගලායන්නට ඉඩ දෙන්න," ඔහු සටහන් තැබීය.
නව ප්‍රවෘත්තියත් සමග ලෝක ඉන්දන මිල පහත වැටුණේය. ඒ අනුව, අද පෙරවරු වෙළඳපොල, බ්‍රෙන්ට් බොරතෙල් ඉදිරිය 4%කින් ද, එක්සත් ජනපද වෙස්ට් ටෙක්සාස් අතරමැදි ඉදිරිය 4.65%කටත් වැඩි අගයකින් ද පහළ ගියේය. ආසියානු කොටස් වෙළඳපොළ කොටස් මිල යළි ඉහළ ගියේය.
යුද්ධයේ ආරම්භයට පෙර ඉරානය පැතූ සහන කිහිපයක් ට්‍රම්ප් විසින් ලබා දී ඇතැයි, පෙර බයිඩන් සමයේ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ලෙස කටයුතු කළ මැතිව් මිලර් පැවසීය.

"ඉරාන න්‍යෂ්ටික වැඩසටන එක්සත් ජනපද අභිලාශයන්ට අනුව යළි ආමන්ත්‍රණය කෙරේ දැයි අපට කිසිම සහතිකයක් නැහැ. එහෙත්, ලෝක ආර්ථිකය ප්‍රාණ ඇපකරුවකු ලෙස රඳවා, එක්සත් ජනපදයෙන් තමට අවශ්‍ය දෑ ඉෂ්ට කර ගැනීමේ සිය ප්‍රබල හැකියාව ඉරානය ලොව හමුවේ කියා පෑවා," ඔහු කීය.
මිල අධිකතම එකඟතා කරුණු ඉදිරි දින 60ක සටන් විරාම කාලය තුළදී සාකච්ඡා කෙරෙනු ඇතැයි, ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය, කසෙම් ඝරීබාබාඩි පැවසීය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සහ එරටට එරෙහි එක්සත් ජනපද සම්බාධක ඉවත් කිරීම වැනි කරුණු ඊට ඇතුළත් වේ.
පෙබරවාරි 28, ඊශ්‍රායලය හා එක්සත් ජනපද හමුදා එක්ව ඉරාන යුද්ධය ආරම්භ කිරීමෙන් අනතුරුව, දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන් බහුතරය ඉරාන සහ ලෙබනන වැසියන් ය. එක්සත් ජනපද කඳවුරු පිහිටි ගල්ෆ් රටවලට ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කළේය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමත් සමග ගෝලීය ඉන්දන මිල සීග්‍රයෙන් ඉහළ ගියේය. ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය, ඉරාන වරාය තහනමක් ක්‍රියාත්මක කළේය.
ඊයේ, එක්සත් ජනපද - ඉරාන මූලික ගිවිසුම පිලිබඳ එකඟතාවන්ට එළැඹෙන අවස්ථාවේ දී ද, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර එල්ල කළහ. ලෙබනනයේ හමුදා ක්‍රියාන්විත දියත්කිරීමේ සිය ස්වෛරී භාවය එසේම රඳවා තබා ගන්නා බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේය. නව ගිවිසුම පිලිබඳ ට්‍රම්ප් විසින් නෙතන්යාහු දැනුම්වත් කිරීමට ද පියවර ගෙන තිබේ. මූලික ගිවිසුම, මැද පෙරදිග නායකයින්ගේ ද පැසසුමට ලක් විය.

මේ අතර, ඉකුත් වසරේ ජුනි මස 13 සිට 24 දක්වා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, ඝාතනය වූ ඉරාන හමුදා නායකයින් රැසක් සමරා එරට නගර කිහිපයක මහජන රැළි පැවැත්විණි. දින 12ක් තිස්සේ පැවති එම බෝම්බ හෙළීම් හමුවේ, 1000කට අධික ඉරාන ජාතිකයින් පිරිසක් ඝාතනය විය. සිවිල් වැසියන් සිය ගණනක් සහ ළමුන් රැසක් ද ඊට ඇතුළත් විය. එක්සත් ජනපදය හා ඊශ්‍රායලය සමග වත්මන් යුද්ධයෙන් ද පුද්ගල ජීවිත 3,468කට ආසන්න සංඛ්‍යාවක් අහිමි විය. ඉන් අඩකට වැඩි පිරිසක් සිවිල් වැසියන් ය.
(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/15/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍ර :
US, Iran reach preliminary agreement to end war, signing set for Friday
As Iran and US near a deal, Tehran remembers another recent bloody conflict




