එහි ප්‍රතිඵල ලෙස, ඇමෙරිකානු මහාද්වීපික කලාපයේ අධිකතර වර්ෂාපතනයක් සහ බහුතර ආසියාවේ උෂ්ණාධික වියළි කාලගුණික තත්ත්වයක් බලපැවැත්වෙනු ඇති බව, එරට කාලගුණ විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කර තිබේ. එම විපර්යාසය දැනටමත් ආසියාවේ කෘෂි බෝග වගාව කෙරෙහි දැඩි අහිතකර බලපෑම් එල්ල කරමින් ඇත. මේ හේතුවෙන්, ලොව ජනගහනය අධිකතම කලාපයේ අහාර බෙදාහැරීම අර්බුදයට ලක්වෙමින් පවතී.
එම කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය එල් නීනෝ සීමාව ඉක්මවා ඇති අතර, වායුගෝලීය දර්ශක සියල්ලද එකී සංසිද්ධියට පූර්ණ වශයෙන් අනුකූල ව පවතින බව, නිරීක්ෂණය වන්නේ යැයි, ඕස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශ නිවේදනයේ දැක්වේ. ඒ අනුව, මධ්‍යම නිවර්තන පැසිෆික් කලාපයේ උෂ්ණත්වය ඉහළයාම මත, පවතින එල් නිනෝ තත්ත්වය එහි දරුණු මට්ටමේ සිට අතිශය දරුණු තලයක් තෙක් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. මෙවර එය, 1950 දශකයේ සිට වාර්තා වූ, එහි උපරිම අගය තෙක් වර්ධනය වනු ඇතැයි, කාලගුණ විද්‍යාඥයෝ පවසති.
මෙවර එල් නිනෝ තත්ත්වය දේශගුණ විපර්යාස එහි උපරිමය තෙක් රැගෙන යනු ඇති බවට ද, ඔවුහු අනතුරු අඟවති.
එල් නීනෝ යනු පැසිෆික් සාගරයේ මධ්‍ය සහ නැගෙනහිර ප්‍රදේශවල මුහුදු මතුපිට උෂ්ණත්වය කාලාන්තරිකව ඉහළ යන සංසිද්ධියකි. විශේෂයෙන්, ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ශීත හා වසන්ත කාල වර්ෂාපතනය අඩුවන අතර එම දක්ෂිණ කලාපයේ දිවා කල උෂ්ණත්වය ඉහළ යනු ඇත.
නව එල්නිනෝ තත්ත්වය හේතුවෙන් එරට කෘෂි නිෂ්පාදනයට දැඩි අලාභහානි සිදු වනු ඇතැයි, කෘෂි විද්‍යාඥයෝ පවසති. ඕස්ට්‍රේලියාව ලොව විශාලතම, තිරිඟු, සීනි සහ ගව මස් අපනනයන කරුවෙකි.

2023 - 2024 අතර එරට අත්විඳි අවසන් එල්නිනෝ තත්ත්වය එහි වාර්තා ගත වියලිතම තෙමසක කාලය සටහන් කළේය. 2015 සහ 2016 වකවානුව තුළ එම තත්ත්වයෙන් හටගත් නියඟයෙන් එරට ධාන්‍ය සහ තෙල්බෝග නිෂ්පාදනය අතිශය අඩාල විය.
(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/17/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Australia declares El Nino set to be strongest in decades




