එරට බාල වයස්කාර සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට ක්‍රියාත්මක රාජ්‍ය වැඩසටහන යටතේ එම පියවර ගත් බව, ඉන්දුනීසියාවේ සන්නිවේදන කටයුතු පිලිබඳ අමාත්‍යවරයා උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.
පහත දැක්වෙන්නේ ඒ පිලිබඳ සවිස්තර වාර්තාවකි.

චීන සන්නිවේදන තාක්ෂණ සමාගමක් වන, බයිට්-ඩාන්ස් (ByteDance) සතු ටික් ටොක් සමාජ ජාලයේ, වයස 16ට අඩු ඉන්දුනීසියානු බාලවයස්කාර ටික් ටොක් ගිණුම් මිලියන 4.1ක්, ඇල්ෆබට් ගූගල් (Alphabet's Google's ) වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවේ එම යූ ටියුබ් ගිණුම් 600,000ක් ද එසේ අක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි එරට සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිලිබඳ අමාත්‍ය, මොයිත්‍යා හෆීඩ් ඊයේ (25) පැවසීය. එරට ක්‍රියාත්මක වෙනත් සමාජ මාධ්‍ය ජාල හිමිකරුවන් ද එම පියවර අනුගමනය කළ යුතු බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් දන්වා සිටී.
එම කිසිදු සමාගමක් මෙතෙක් ඒ පිලිබඳ නිල වශයෙන් ප්‍රකාශ නිකුත් කර නැත.
ඉන්දුනීසියාව තුළ දැඩි අන්තරායකර ලෙස හඳුනා ගැනුණු සමාජ මාධ්‍ය ජාලා කිහිපයකට අයත්, බාල වයස්කාර ගිණුම් අත්හිටුවන ලෙස ඉකුත් මාර්තු මස රජය අදාළ නියාමන නිකුත් කළේය. එක්ස් (X), මෙටා සමාගමට අයත් ඉන්ස්ටර්ග්‍රෑම්, සහ ඩිජිටල් වීඩියෝ ක්‍රීඩා වේදිකාවක් වන රොබ්ලොක්ස් (Roblox ) ද ඊට අයත් විය.
"ළමුන් ඒ වෙතින් දුරස් කරනවා පමණක් නොව, අදාළ සමාගම් සිය හැසිරීම් වඩාත් යථාවත් කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එම සමාගම් විසින් නිකුත් කරන ලද, ඒ පිලිබඳ ස්ව-තත්ත්ව වාර්තා පරික්ෂා කෙරෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.
සයිබර් අපහාස සහ ඒ කෙරෙහි ඇබ්බැහි වීමේ අන්තරායය අවම කිරීම මෙම පියවරේ මුඛ්‍ය තේමාව ය. බාල වයස්කරුවන්ගේ මානසික සෞඛ්‍යය කෙරෙහි සමාජ මාධ්‍යයේ බලපෑම අවධානයට ගෙන ඕස්ට්‍රේලියාව විසින් පසු ගිය වසරේ සිට ක්‍රියාත්මක එම තහනම අනුව යමින්, ඉන්දුනීසියානු රජය විසින් මෙම පියවර ගෙන තිබේ.
ඕස්ට්‍රේලියාව විසින් බාල වයස්කරුවන් සමාජ මාධ්‍ය වෙත පිවිසීම අවහිර කිරීමේ ඓතිහාසික පියවර ලොව රටවල් රැසක් ආදර්ශයට ගනිමින් සිටිති.
ඒ අනුව, බ්‍රිතාන්‍යයද, වීඩියෝ ක්‍රීඩා සහ සජීව විකාශ අවකාශ සලසන සමාජ මාධ්‍ය වෙත දැඩි සීමා පැනවීම් හෝ අවහිර කිරීම් සිදු කිරීමට සැලසුම් කරන බව නිවේදනය කර ඇත.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/26/2026
(harshaprs@yahoo.com)




