ඉස්ලාමීය දින දර්ශනයේ ඉතා සංවේදී මුහරාම් ආගමික සමය සමරා එම නාලිකාව ඔස්සේ විකාශය කළ වැඩසටහනක වූ "ආගමික දෘශ්‍ය නිරූපණ" සම්බන්ධයෙන් එම තහනම පනවා තිබේ.
ඉකුත් 26 දා විකාශය වූ එම වැඩසටහනෙහි, ආගමික සංහිඳියාවට බලපාන සහ මහජන විරෝධයට තුඩු දෙන දර්ශන අඩංගු වූ බව එරට මාධ්‍ය නියාමනය කියයි.
සිදු වූ දෝෂය සම්බන්ධයෙන් ඊයේ (28) එම රූපවාහිනී නාලිකාව සමාව අයැදීය. ප්‍රමාද දෝෂයක් හේතුවෙන්, එම දර්ශන විකාශය වූ බවත්, එමගින් එම නාලිකාවේ නිල මතය සහ විශ්වාසය පිළිබිඹු නොවන බවත් එහි ප්‍රකාශ විය.
මුහම්මද් නබිතුමා සහ වෙනත් ආගමික නායකයින් සම්බන්ධ අනවසර දර්ශන මධ්‍යයේ මුදා හැරීම, පාකිස්ථානය තුළ දැඩි දඬුවම් පැනවෙන අපරාධමය ක්‍රියාවක් වශයෙන් සැලකේ. මීට පෙර ද, ඒ සම්බන්ධයෙන් වෙනත් රටවල මුද්‍රිත මධ්‍යයේ පළවූ කාර්ටූන් සම්බන්ධයෙන් පාකිස්ථානය තුළ මහජන උද්ඝෝෂණ හට ගත්තේය. මුස්ලිම් බහුතරයක් වෙසෙන එරට ආගමික නිරූපන දැඩි සංවේදී ස්වරූපයක් හොබවයි. යම්, සුළු අතපසුවීමකින් හෝ සිදු වන එවැනි ක්‍රියා මත, දැඩි මහජන කැළඹීම් ඇති වේ. මෙවර මුහරාම් ආගමික සමයේ එරට ආරක්ෂාව තර කර තිබේ.
'ජියෝ නිව්ස්' යනු එරට ක්‍රියාත්මක සුවිසල් පුද්ගලික රූපවාහිනී නාලිකාවකි. මතභේදයට තුඩු දුන් අන්තර්ගතය, ඊට අයත් සියලු මාධ්‍ය වේදිකා මතින් ඉවත් කළ බව එම නාලිකාව පැවසීය. ඉරාකයේ සහ මැද පෙරදිග ඇතැම් බැතිමතුන් විසින් අනුදත් චාරිත්‍ර වාරිත්‍ර එම අන්තර්ගතයට ඇතුළත් වූ බවත්, එමගින් දේශීය සිරිත් විරිත් හෝ එම ආගමික මතය නිරූපණය නොවන බවත්, එම නාලිකාව වැඩි දුරටත් කීය.
එම දර්ශන, මධ්‍යයේ මුදා හැරීම මගින්, ප්‍රශ්න ගත නාලිකාව සංස්කාරක වගකීම පැහැර හැර ඇති බව එරට මාධ්‍ය නියාමනය තරයේ ප්‍රකාශ කළේය. ඒ පිලිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස ද, එමගින් වැඩි දුරටත් දන්වා තිබේ. ගැටලුව, එම නියාමනයේ පැමිණිලි කවුන්සිලය වෙත ද යොමු කර තිබේ.
පාකිස්ථානය මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අඛණ්ඩ, අත්‍යන්ත තර්ජනයට බඳුන්ව පවතින රටකි. විශේෂයෙන්, එරට රූපවාහිනී නාලිකා විටින් විට නියාමන උදහසට ලක් වීම හේතුවෙන් තහනමට සහ විකාශ සීමාවන්ට යටත් කෙරේ. දේශසීමා රහිත මාධ්‍යකරුවන්ගේ (Reporters Without Borders) 2026 ලෝක මාධ්‍ය නිදහස පිලිබඳ දර්ශකයේ රටවල් 180ක් අතර, පාකිස්ථානය 153 වන ස්ථානයේ පසු වේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/29/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Pakistan watchdog suspends Geo News for 15 days over 'offensive' religious broadcast




