BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ

T

The Leader Desk

June 30, 2026 • 3:38 PM

සොම්නස දොම්නස මැද ඇසෙන ටෙහ්රාන සුසුම් හඬ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර අතුරු සටන් විරාම සමයේ ටෙහ්රානයේ ජීවිතය සාමකාමී, සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති සෙයකි.
  •   ගුවන් ප්‍රහාර අතරතුර වසා දැමූ නගරයේ තේ - කෝපි කඩ යළි  විවෘතව ඇත.
  • බාහිර සතුරා හිස මත පතිත කළ බෝම්බ ප්‍රහාර නැවතී ඇත.
  • එහෙත්, ඒ ඉසිඹුව තව   කෙතෙක් කලකට දැයි දන්නේ දෙවියන් පමණක්ම බව, ඉරන වැසියෝ ඉඳුරා දනිති.
අකුරු ප්‍රමාණය (Font Size):

තුෂ්නිම්භූත ජනතාව දෙපාර්ශ්වයේ සාකච්ඡා දෙස දෑස් දල්වා බලා සිටිති.  

ගුවන් ප්‍රහාර අතරතුර වසා දැමූ නගරයේ තේ - කෝපි කඩ යළි  විවෘතව ඇත. වරක් හිස්ව පැවති  වීදි, නැවතත් මෝටර් රථ තදබදයෙන් හා පදිකයින්ගෙන් පිරී ගොස් ය. කඩ සාප්පු ද රාත්‍රී තෙක් විවෘත බැවින්, ටෙහ්රාන් වැසියෝ, සන්ධ්‍යාවේ පවුල් පිටින්  එහි සරති.

බාහිර සතුරා හිස මත පතිත කළ බෝම්බ ප්‍රහාර නැවතී ඇත. දෛනික ජීවිතයට තවදුරටත් ඒ බෝම්බ බිය නම් නැත. දැනට, එය සහනයකි. එහෙත්, ඒ ඉසිඹුව තව   කෙතෙක් කලකට දැයි දන්නේ දෙවියන් පමණක්ම බව, ඉරන වැසියෝ ඉඳුරා දනිති. ඒ  සන්සුන් මතුපිට අභ්‍යන්තරයේ, ඇතැමුන් තුළ  කෝපය සහ කලකිරීම පිළිබඳ,  වදනට නොනැගිය  හැකි  අපිස් හැඟීමක්  ද නැත්තේම නොවේ.

සටනේ අවසන, සාමය උදාව  ඇතැයි  ඉරානුවෝ   පවසති. එහෙත්,  බහුතර ඉරාන  ජනයා පැතූ වෙනස  එහි නැත. කිසිවෙක් ඒ ගැන එළිපිට මැසිවිලි නොනගති. දෑස් මානයේ විරාජමාන 'සර්ව - බලධාරීන්' එතරම් දරුණු ය. ඔවුහු පලි ගැනීමට මාන බලමින් සිටිති. මේ කතා බහට එක්වූ සියල්ලෝ, සිය මුල් නමින් පමණක් ඔවුන්  අමතන   ලෙස බැගෑපත් වූයේද එබැවිණි.

'මේරියම්', ටෙහ්රානයේ උස් මහල් සංකීර්ණයක දිවි ගෙවන කාන්තාවකි. වෘත්තියෙන් ඇය අහර පිසින්නියකි, එනම්, කෝකි වරියකි.  එක්සත් ජනපද සහ ඊශ්‍රායල සභාග ගුවන් ප්‍රහාර හමුවේ, ඉරාන උත්තරීතර නායක, අයතොල්ලා  අලි ඛමෙනි ජීවිතක්ෂයට පත් බව එදා, රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කරත්ම, මහල් නිවාස සංකීර්ණයෙන් පිටත බට ජනයා  ඔල්වරසන් නගමින්,  ප්‍රීතියෙන් පිනාව, නර්තනයේ යෙදුනු සැටි ඇයට හොඳින් මතක ය.

එතැන් සිට ඇවිලි යුද්ධය අතර තුර, තමා ඇතුළු සැවොම 'කුසට සාගිනි, හදට සෝ ගිනි' දරා, භීතියෙන් ඇලලී, එහෙත් අපේක්ෂා පෙරදැරිව අනාගතය දෙස බලා සිටි බව ඇය කියන්නීය.  ගුවන් ප්‍රහාර සහ ඒ හමුවේ,  අසල්වැසි සිවිල් ජනයාගේ  මරණ එකසේ    විඳ දරාගත් බවත්, ඒ අවසන, පාලන තන්ත්‍රය ද  බිඳ වැටෙනු ඇතැයි, උදක්ම විශ්වාස කළ බවත් ඇය කියයි.  

“යුද්දෙ කාලෙ  අපි හැමෝම මේ ගෙවල්වලට කොටු වුණා.  සල්ලි නෑ, රස්සා නෑ. ඒත්,  බලාපොරොත්තුවක් තිබුණා.  රස්සා නැති වෙලා, සල්ලි නැතිවෙලා....! කමක් නෑ, ඒ සියල්ල වෙනස්වෙයි, අහිමි සියල්ල වෙනුවට අපට නිදහස ලැබෙන්නයි යන්නෙ. ඒ මදිද..! අපි හිතුවෙ  එහෙමයි,"  ඇය පවසයි.  

"බෝම්බ වැටිල  මේ ජනෙල් දොරවල් කුඩු පට්ටම් වෙනකොට පවා,  අපේ ගෙවල් විනාශ වෙනකොට  පවා, අපි හිතුවෙ  ඒ ජයග්‍රහණය කියලා.  මේ පාලන තන්ත්‍රයේ අවසානය ළඟ ළඟ බව අපට දැනුණා. ඉක්මනින් එහි  ප්‍රීතිය සමරා,  පසුව එක්ව, අපේ රට යළි  ගොඩනැගීමේ අපේක්ෂාව හැම හදකම තිබුණා," ඇය පවසන්නීය.

"ඔව්, නිදහස මිල අධිකයි. ඒ මිල ගෙවන්න අපි සැදී පැහැදී හිටියා. ඇත්තටම, අපි හැමෝම ඒ මිල ගෙවමින් සිටියා," මේරියම්  මොහොතක ඉසිඹුවෙක   දොම්නස් සුසුම් පොදක්  හෙළන්නීය.

 ඇගේ මතය, වොෂින්ටනය, ටෙහ්රානය  සමඟ සාකච්ඡා ඇරඹීම, යුද්ධය  පාවා දීමක් බවය.  "ඒ තමා මේ හැමෝගෙම අදහසත්... හැමෝගෙම කැප කිරීම් දැන් අහවරයි වගේ දැනෙනවා. ඒකෙන්  වුණේ, දැඩි පාලනය ස්ථාවර වීම විතරයි," එවර ඇගේ හඬ පරාජිත ස්වරයකි.    

පෙබරවාරි අග යුද්ධය  ඇරඹි විට,  එක්සත් ජනපද ජනපති,  ඩොනල්ඩ් ට්‍රම්ප්, මුලින් කියා සිටියේ ඉරානයේ වත්මන්  නායකත්වය මුලිනුපුටා,   ජනතාවට ජයග්‍රහණය දිනා දීම තම ඒකායන  අපේක්ෂාව බවය.  එහෙත්, ජනතාව 'ගොනාට අන්දා'   සාකච්ඡා යළි ඇරඹීම නිසා, බොහෝ ඉරාන ජාතිකයින් දැන් පසු වන්නේ අපේක්ෂා භංගත්වයකිනි.  

පෙබරවාරි 28, යුද්ධයේ  පළමු දිනම අසන්නට ලැබුණු   අලි ඛමෙනිගේ  මරණය, දැඩි මතධාරී ඉරාන සංස්ථාවේ  අවසානයේ  ආරම්භය  බවත්, දේශපාලන වෙනසක් අත ළඟ  බවත් ඇය සහ ඇගේ මිතුරු මිතුරියන් සියල්ලන්ගේ විශ්වාසය වී යැයි, වයඹදිග ගිලාන් ප්‍රාන්තයේ වෙසෙන එක්දරු මවක වන 'හලේ' ද පවසන්නීය.  

ඒ වෙනුවට, ඉරාන ජාතිකයන්ට දැන් සිදුව ඇත්තේ, යුද්ධයෙන් විනාශව ගිය සුන්බුන් අතර, දිවි සැරිය  යළි කටුකව ඉදිකිරීම පමණකැයි ඇය කියා සිටී. "දැන්, ඉස්සර තිබුණටත්  වඩා දරිද්‍රතාවය සහ උද්ධමනය වැඩි වෙලා. කෲර පාලකයො තවත් ශක්තිමත් වෙලා,"  ඇය පවසයි.  

හලේ සිය පුතු හා තනිව වෙසෙන්නීය. රටේ උද්ධමනය අහස උසට නැග ඇත. දිවි සරි කරගැනීමට සුළු  රැකියා දෙකක නිරත වුව,  තුන් වේල පිරිමසා ගැනීමද දැන් දැන් ඉතා උගහට බව ඇය පවසන්නීය. මැයි මස එරට උද්ධමනය  77.2% ක් වූ   බව  ඉරාන මහ බැංකු වාර්තා සඳහන් කරයි.

"සමහර දවස්වලට අපට කිරි පැකට් එකක් ගන්නවත් සල්ලි නෑ," ඇය කියා සිටී.

ඒ සියලු බාධක මධ්‍යයේ වුව,  බලාපොරොත්තු සුන්ව නැත.   "වඩා යහපත්  අනාගතයක්..., අපි ඒ වෙනුවෙන් දිගටම   උත්සාහ කරනවා," ඇය අධිෂ්ඨානශීලීව පවසයි.  

මූලධර්මවාදී කෲර  පාලනය, අවසානයේ බිඳ වැටෙනු ඇති බවට  අපේක්ෂා පෙරදැරිව, අඛණ්ඩ  දුෂ්කරක්‍රියාවේ නිරතවීමේ මානව පරීක්ෂණයෙන්,  ඉරාන ජනතාව ඉතා ඉහළින් සමත්ව   ඇතැයි ඇය කියා සිටී. "ඒ තමා අපේ දැරීමේ හැකියාව. ඉතිහාසයේ වගේම තව බොහෝ වර වුව,   ඊට  අනුගතව කටයුතු කිරීමේ  හැකියාව අප සතුයි," ඇය දැඩි ස්වරයෙන් පවසයි.  

ටෙහ්රාන් වාසී  'නාඩෙර්' ට අනුව නම්,   දෛනික දිවිය  සාමාන්‍ය සේ ගලා ගියද, බොහෝ දෙනෙකුට අභ්‍යන්තරයෙන් අත්විඳීමට සිදුව ඇත්තේ පරාජය ම ය.

ජනවාරි මස  රට පුරා උද්ගත  රාජ්‍ය විරෝධී මහජන උද්ඝෝෂණ,  බලධාරීන් විසින්  කුරිරු මර්දනයකින් නිර්දයව අවසන් කෙරිණි. ඔවුහු, නිදහස ඉල්ලා හඬ නැගූ  දහස් ගණනක් සිවිල් ජනයා නිර්ලජ්ජිතව ඝාතනය කරමින්, ඉමහත් ජන සංහාරයක් සිදු කළහ.  එසේ, මිනිස් ජීවිත විනාශ කළ  ආකාරය සහ දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන්  අත්අඩංගුවට ගත් ආකාරය ඉරාන ජනතාවට කිසිදා  අමතක නොවේ යි,  ඔහු පවසයි.

එවන් ජීවිත පූජාවෙන් සිදු  කළ කැප කිරීම්හි කිසිදු ප්‍රතිඵලයක් නැතැයි ඇදහීමට තරම්  කිසිවෙක් කුහක නැතැයි  ද ඔහු කියා සිටී.

“එක්සත් ජනපදයේ මීළඟ පියවර ගැන ඉරාන ජනතාව පසුවන්නේ බලවත් විමසිල්ලෙන්. ඔවුන්  නැවත ඉරානයට පහර දේ   දැයි  සැකයි. ඒත්, වෙලාව ආවම  මිලියන ගණනින් ජනතාව මේ පාලනයට එරෙහිව නැවතත් වීදි බසීවී.   මේ භීම පාලනය  ජනතාව තවත් නම් පිළිගන්නේ නැහැ," ඔහුගේ වදන් මනාව මුව තැබූ කග අගක මෙන් තියුණු ය.

ඓතිහාසිකව බැලුවද ඉස්ලාමීය ජනරජය,   රට තුළ බලය තහවුරු කර ගැනීම  පිණිස,   ඉතිහාසය පුරා මර්දන ක්‍රියාවලියක නිරතව ඇත. රාජ්‍ය පාලනය  පිලිබඳ, රාජ්‍ය තාන්ත්‍රික කතා බහේදී, රාජ්‍ය  නිලධාරීන්ට ද දැඩි  නීති පනවා තිබේ. අංශු මාත්‍රයක අත්වැරදීමක්, අත්අඩංගුවට ගැනීමකින්  හෝ  මරණීය  බිය වැදීමකින් හෝ, එම  දෙයාකාරයෙන්ම  හෝ කෙළවර  විය හැක. ඒ  ගැන අත්දැකීම් ලද්දෝ උගහට නොවෙත්.  

 "මේ පාලන තන්ත්‍රය හරියටම  තමන්ගේම වලිගය කාගෙන, කාගෙන යන  සර්පයෙක් වගේ", නිරිතදිග කුසෙස්තාන් ප්‍රාන්ත වාසී  'වහීඩ්' පවසන්නේය.

 සටන් විරාමය සතුටක් වුව, එළඹෙන නිමේෂය අවිනිශ්චිත බව ඔහු කියයි.  

"මම ශුභවාදීව සිතනවා.  ඒත්,  ඉරානයේ අනාගතය  පිලිබඳ පැහැදිලි  කනස්සල්ලක් නැතැයි, අප කිසිවකුටත් කිව නොහැකියි," වහීඩ් කියා සිටී.

(සටහන: RadioFreeEurope RadioLiberty ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

6/30/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

As Cease-Fire Brings Uneasy Calm, Iranians Wonder What Comes Next


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...