එරට දකුණු වෙරළබඩ සහ පෙරදිග කලාප වෙත එල්ල කරන ලද එක්සත් ජනපද ප්‍රහාර වෙත ප්‍රතිචාර ලෙස එම ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය කීය.
න්‍යෂ්ටික බලාගාරයක් ද පිහිටි දකුණු ඉරානයේ බුෂෙර් ඇතුළු තවත් පෙදෙස් කිහිපයක් වෙතින් පිපිරීම් වාර්තා වූ බව එරට මාධ්‍ය පැවසීය. කොනරක්, චෝඝදාක් සහ බන්ඩර් අබ්බාස්, පිපිරීම් වාර්තා වූ අනෙක් පෙදෙස් ය.
කෙසේ වෙතත්, එම ප්‍රදේශ වෙත එක්සත් ජනපද නව ප්‍රහාර එල්ල නොවූ බව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

සතියක් පුරා පැවති අවමගුල් උළෙලක් අවසන, හිටපු උත්තරීතර නායකයාගේ දේහය මෂාද් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් තුළ තැන්පත් කිරීමෙන් අනතුරුව, ඉරානය විසින් මෙම නව ප්‍රහාර එල්ල කර තිබේ.
ඉරාන යුද්ධයේ මුල් දිනම, එනම් පෙබරවාරි 28 දා එල්ල කළ එක්සත් ජනපද සහ ඊශ්‍රායල සභාග ප්‍රහාර හමුවේ, ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ඇතුළු පවුලේ සමීපතමයින් පිරිසක් ඝාතනය වූහ.
මෙම සතිය මුල, ඉරානය විසින් හෝර්මුස් අවට යාත්‍රා කරමින් තිබූ කටාර් සහ සෞදි රාජ්‍යයන්ට අයත් ඉන්දන නෞකා තුනකට ප්‍රහාර එල්ල කිරීමත් සමග සටන් විරාම ගිවිසුම 'අහවර' බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන්වීය.
තත්ත්වය එසේ තිබියද, එක්සත් ජනපදය තවමත් විසඳුමක් කරා යන සාමකාමී මාවතෙන් බැහැරව නැතැයි ද, තාක්ෂණික සාකච්ඡා අඛණ්ඩ බව ද, තවත් එක්සත් ජනපද රාජ්‍ය නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ අත්තනෝමතික පිළිවෙත ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයද දැඩි අන්තරායකර තත්ත්වයකට ඇද දමා ඇත. යුද්ධය හේතුවෙන්, එරට ගෑස් මිල දැනටමත් සීග්‍රයෙන් ඉහළ ගොස් ය. එම සියලු කරුණු හේතුවෙන් ජනතාව සිටින්නේ දැඩි කනස්සල්ලෙන් සහ අප්‍රසාදයෙනි. එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණය මෙම වසර අගට යෙදී තිබේ.
එක්සත් ජනපද ප්‍රහාර හමුවේ, හෝර්මුස් සමුද්‍ර සන්ධිය යතාවත්ව යළි විවෘත කිරීමේ කටයුතු ප්‍රමාද ව ඇතැයි, ඉරාන විප්ලවීය බලකායේ නාවික හමුදාව කීය. ඉරාන උපදේශනවලට යටත්ව ඉකුත් දෙසතිය තුළ ඒ ඔස්සේ යාත්‍රා කළ දෛනික නෞකා සංඛ්‍යාව, යුද්ධයට පෙර පැවති තත්ත්වයෙන් 50% තෙක් වර්ධනයව ඇතැයි ද ඔවුහු කීහ. ටෙහ්රානය විසින් අනුමත සමුද්‍ර ප්‍රවේශ ඔස්සේ පමණක් ඒ හරහා යාත්‍රා කෙරෙන ජාත්‍යන්තර නෞකාවන්ට ඊට අවසර හිමි බව එම හමුදාව පැවසීය. එක්සත් ජනපද හමුදා ඊට බාධා කරත් නම්, ප්‍රතිචාර ක්ෂණික සහ අති දරුණු වන බව ද ඔවුහු අවධාරණය කළහ.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව විවෘත කිරීම පිණිස, එම ප්‍රහාර සිදු කරන බව, එක්සත් ජනපද හමුදා කියා සිටියහ. ඉරානය එම සමුද්‍ර මාවත පාලනය නොකරන බවත්, ඉකුත් මැයි මුල සිට ඒ ඔස්සේ, එක්සත් ජනපද හමුදා පූර්ණ ආරක්ෂාව යටතේ, වෙළඳ නෞකා 800ක් සහ ඉන්දන බැරල මිලියන 380ක් ප්‍රවාහනය කළ බවත්, එම හමුදා පැවසූහ.
ඉරාන හමුදා ඉලක්ක 90කට අධික සංඛ්‍යාවක් වෙත සාර්ථක ප්‍රහාර මාලාවක් දියත් කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය ඊයේ (9) පැවසීය. ජුලි 8 සහ 9 දෙදින ඉරාන ප්‍රාන්ත පහක එල්ල කළ එම ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනකු ජීවිතක්ෂයට පත්ව, 78 දෙනෙක් තුවාළ ලදහ. එම එක් ප්‍රහාරයකින්, රුසියාව සහ චීනය සමග වෙළඳ සබඳතා පිණිස ඉදි කළ දුම්රිය පාලමක් ද මුළුමනින් විනාශ ව ඇතැයි, ඉරාන ෆාර්ස් පුවත් ඒජන්සිය කීය.
එක්සත් ජනපද ප්‍රහාරයන්ට නතු වූ බුෂෙර් හි, රුසියාව විසින් ඉදි කෙරුණු න්‍යෂ්ටික බලාගාරයක් වේ. එම පරිශ්‍රය අවට කලාපයට ද එක්සත් ජනපද මිසයිලයක් පතිත වූ බව, ඉරාන නිලධාරියකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

කුවේටයේ පිහිටි එක්සත් ජනපද පෙට්‍රියට් මිසයිල පද්ධතියක්, කටාරයේ පූර්ව ගුවන් ප්‍රහාර දැන්වීමේ පද්ධති සහ බහ්රේනයේ පිහිටි එක්සත් ජනපද හමුදා ඉන්දන ගබඩාවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරානය කියා සිටියේය. ඉරාන මිසයිල කල්තියා හඳුනා ගැනීමත් සමග ජෝර්දානයේද ගුවන් ආරක්ෂක සයිරන් නලා ක්‍රියාත්මක විය. එම මිසයිල අටක් ගුවනේ විනාශ කළ බවත්, පුද්ගල හෝ දේපළ අනතුරු කිසිත් වාර්තා නොඉවන බවත් ජෝර්දාන රාජ්‍ය මාධ්‍ය ඒජන්සිය කීය.
ඉරානය විසින් එල්ල කරන ලද කෲස් මිසයිලයක්, බැලස්ටික් මිසයිල 3ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන 10ක් විනාශ කළ බව, කුවේට් හමුදා පැවසූහ. එහිදී පතිත වූ විනාශයට පත් පුපුරන ද්‍රව්‍ය කොටස් හෙතුවෙන් එක් පුද්ගලයකු තුවාළ ලද බව සඳහන් ය.
එක්සත් ජනපද හමුදා විසින් භාවිතයට ගැනෙන, ජෝර්දානයේ අස්රඛ් හමුදා කඳවුරට සහ මැද පෙරදිග පිහිටි එක්සත් ජනපද හමුදා පාලන මධ්‍යස්ථානය වෙත බැලස්ටික් මිසයිල 10ක් එල්ල කළ බව ඉරානය පසුව පැවසීය.
කලාපයේ විශාලතම එක්සත් ජනපද හමුදා කඳවුර, කටාර් රාජ්‍යයේ පිහිටා තිබේ. වොෂින්ටනය සහ ටෙහ්රානය අතර සාම මාවත විවර කිරීම පිණිස, මැදහත් ව කටයුතු කරන එම රාජ්‍යය, ඉරාන ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කළ නෞකා වෙත එල්ල කළ ඉරාන ප්‍රහාරය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කළ කටාර් රජය, වහා යළි රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය වෙත ප්‍රවේශ වන ලෙස දෙපසින්ම ඉල්ලා සිටියේය.
ඉරාන විදෙස් අමාත්‍ය, අබ්බාස් අරඛ්චි වෙත වෙන් වශයෙන් දුරකථන ඇමතුම් ලබා දුන් තුර්කි සහ ඕමාන විදෙස් අමාත්‍යවරු ද වහා සටන් නතර කරන ලෙස දන්වා සිටියහ.
පාකිස්ථාන හමුදා ප්‍රධානී වෙත දුරකතනයෙන් කතා කළ අරඛ්චි, එක්සත් ජනපද යුදකාමී ප්‍රතිපත්ති හෙලා දකින බව දැන්වීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/10/2026
(harshaprs@yahoo.com)
Iran says it hits U.S. military targets in Gulf, buries slain leader Khamenei




