දැඩි පුරුෂාධිපත්‍යයක් සහිත ජපන් දේශපාලනය සහ අවම උපත් අනුපාතය පිළිබඳ ලෝක කතිකාවතක් නැවත කරළියට
ජපානයේ කුඩා නගරයක නගරාධිපතිනියක්, අද (20) එරට වැඩිපුරම කතා බහට ලක් වූ කාන්තාව බවට පත්වුණා. ඒ, මාධ්‍ය ඔස්සේ ඇය ජාත්‍යන්තරයේ ද දැඩි අවධානයට ලක් කෙරෙමින්.
69,000ක පමණ ජනගහනයෙන් යුත් බටහිර ජපානයේ යවාටා නුවර නගරාධිපතිනි ෂොකෝ කවාටා දරු ඵල අපේක්ෂාවෙන් මාතෘ නිවාඩු ලැබීමට අපේක්ෂා කරන බව දන්වා සිටීම ඊට හේතුවයි. 2023 වසරේ ජපානයේ ප්‍රථම 'ලාබාලතම' නගරාධිපතිනිය බවට පත්වන විට ඇගේ වයස අවුරුදු 33ක්.
යවාටා නාගරික සේවා නිලයන් සඳහා සති 16ක මාතෘ නිවාඩු හිමි වුවද, මෙතෙක් නගරාධිපති නිලය උදෙසා එවන් අවසරයක් නොපැවතීම හේතුවෙන්, නව ප්‍රතිපාදන සකස් කිරීමෙට සිදු වූ බව ඇය කියා සිටියා.
"මාතෘ නිවාඩු ඉල්ලන මෙහි ප්‍රථම නගරාධිපතිනිය මා බව දැනගත් විට මා විමතියට පත් වුණා. ඇත්තෙන්ම, එවිටයි මම දැනගත්තෙ, මීට පෙර මෙහි තරුණ නගරාධිපතිනියන්, පොදුවේ, කාන්තා නගරාධිපතිනියන් නොසිට ඇති බව, " සිකුරාදා (17) නගර ශාලාවට එක් වූ මාධ්‍යවේදීන් ඇමතූ කවාටා පැවසුවා.
ඒ අනුව, යවාටා ටායිකෝ උළෙලට පෙර පවත්වන්නට යෙදුණු පෙරහැර අවස්ථාවකට සහභාගී වීම, මාතෘ නිවාඩු පිණිස නික්මීමට මත්තෙන් ඇය සිදු කළ අවසන් රාජකාරී කටයුත්ත වුණා.
මේ පෙරහැරේදි, ෂින්ටෝ දෙවඟන සිය ස්ථිර වාස භවන තාවකාලිකව හැරදා ජංගම දෙවොලක ගමන් කරනවා. එය දෝලාවක් වැනියි. සම්ප්‍රදායානුකූලව, නගරාධිපතිනිය ඒ මත ගමන් කිරීම සිරිතයි. එහෙත්, මෙවර ගර්භනී මාතාවක වන කවාටා, අපහසු බව නිසාම, එහි නැගී යනවා වෙනුවට එය පසු පස පා ගමනේ යෙදුණා.
ඉකුත් වසරේ සනේ තකයිචි එරට ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට තේරී පත්වන්නට මත්තෙන්, එරට බහුතර දේශපාලන බලය පුරුෂාධිපත්‍යය යටතේ පැවතුණ බවක් දක්නට ලැබුණා. ලෝක ආර්ථික සංසදයේ නවතම ස්ත්‍රී-පුරුෂ පරතර වාර්තාව අනුව, රටවල් 148ක් අතුරින් ජපානය 118 වන ස්ථානයේ පසු වනවා. එම වාර්තාවේම, දේශපාලනික බලගැන්වීම් කාණ්ඩයේ ජපානයට හිමි වන්නේ, 125 වන ස්ථානය යි.
ජපානය ඉදිරි ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ වෙත ගමන් කිරීමේ අපේක්ෂාවේ පසුවන බව ද යවාටා සඳහන් කළා. වැඩිම ආයු කාලයක් භුක්ති විඳින රටක් ලෙස ප්‍රචලිත එරට උපත් අනුපාතය ලොව අන් රටවලට සාපේක්ෂව ඉතා හීන අගයක පවතිනවා. නව ප්‍රතිසංස්කරණ තුළ එවැනි කරුණු හඳුනා කටයුතු කළ යුතු බව ද, ඇය පැහැදිලිව ප්‍රකාශ කළා.
නෛතිකව ජපන් කාන්තාවකට දින 14තෙක් මාතෘ නිවාඩු ඉල්ලීමේ හැකියාව පවතිනවා. එම කාල සීමාව තුළ මාසික වැටුපෙන් තුනෙන් දෙකක කොටසක් හිමි වන අතර, දරු උපතේදී විශේෂ බෝනස් දීමනාවක් ද හිමියි. ඇතැම් රාජ්‍ය සේවිකාවන්ට එය ඉක්මවූ වරප්‍රසාද ද හිමි වනවා.
"මිනිසුන් ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව පිළිබඳවත්, වැඩ පරිසර ශෛලියේ ප්‍රතිසංස්කරණ පිළිබඳවත් කතා කරනවා. එහෙත්, යතාර්ථයේදී සත්‍ය වශයෙන්ම, සියලු වෘත්තීන් වෙත සාධාරණය ඉටුවන ආකාරයේ එනම්, නායකත්ව තනතුරු හොබවන වෘත්තීන්හි නියැලි අයට පවා, දරු ඵල ලැබීමේ අවස්ථාවන්ට නොපැකිල එළැඹීමේ හැකියාවෙන් යුත් සමාජයක් අප විසින් ඉදි කළ යුතුයි. නොඑසේව, සාපේක්ෂ උපත් අනුපාතය ගිලිහී යාමෙන්, අඛණ්ඩ ජනගහන පරිහානියට ලක්වීම සහ එහි ප්‍රතිඵල ලෙස උද්ගත වන ඉදිරි ආර්ථික අවපාතයෙන් මිදීමට අපට නොහැකිවනු ඇති," ඇය අවධාරණය කළා.
එහි නේවාසික ජනතාව සහ මිතුරු මිතුරියන් රැසක් එම තීරණය සම්බන්ධයෙන් ඇයව දිරි ගැන්වූ බව කවාටා කියා සිටියා. එහෙත්, ඇගේ මාතෘ නිවාඩු හිමිකම පිලිබඳ ඇතැම් මාධ්‍ය මගින් සිදු කළ අතිශය විවේචනාත්මක පළ කිරීම් පිලිබඳ අප්‍රසාදය පළ කරන බව ද ඇය ප්‍රකාශ කළා.
"මා ගැන මීට පෙර කිසිදා නෑසූ මිනිසුන්, මා ගැන දැනගත්තෙ, මේ මාතෘ නිවාඩු ඉල්ලීමට ලබා දුන් අසීමිත ප්‍රචාරය නිසයි. සමහරු වෙබ් අවකාශයේ මාව දැඩිව විවේචනය කර තිබුණා. මම මෙහි ආවෙ රස්සාවට නොව, මාතෘ නිවාඩු ලබා ගන්නට බව ඔවුන් පවසා තිබුණා. ඒ ගැන මම කණගාටුව පළ කරනවා," ඇය කියා සිටියා.
රොයිටර්ස් පුවත් සේවය මගින් මේ පිළිබඳව සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ බහුතර යවාටා නේවාසික පිරිස්, කවාටාගේ තීරණය පිලිබඳ ප්‍රසාදය පළ කර තිබුණා. එහෙත්, මාතෘ නිවාඩු සමයේ ඇය පූර්ණ වැටුප ලැබීම නම්, සාධාරණ නැතැයි, එහි නිවාස ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නියුතු චියේ ෆුජිටා කියා සිටියා.
"දැන් බලන්න මාත් කාන්තාවක්. මාත් දරුවන් බිහි කරලා තියෙනවා. ඇත්ත, මාත් පිළිගන්නවා, දරු ඵල ලැබීමේදී ඇය ඊට කැපවීමක් කරන බැවින්, මාතෘ නිවාඩු ලැබීම කාන්තා අයිතියක්. එහෙත්, වේතනය ගැන කතා කළොත්, ඒ කාලය තුළ ඇය සියයට සියයක් වැටුප් ලැබීම නම්, අනුමත කරන්න බැහැ," ෆුජිටා පැවසුවා.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/20/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Japanese mayor makes history with maternity leave that caused a stir




