නෞකාවලින් ගාස්තු අය කිරීමට පියවර
ඉරාන අනතුරු ඇඟවීම් සහ මුහුදු බෝම්බ නොතකා හෝර්මුස් තරණය කරන්නැයි ඇමෙරිකාවෙන් ජාත්‍යන්තර නෞකාවලට බලපෑම්
එක්සත් ජනපද - ඉරාන යුද්ධය විසඳීමට දැන් ප්‍රධාන බාධකයක් ව පවත්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධියයි. එනම්, කවරක්ද?
හෝර්මුස් සමුද්‍ර සන්ධිය යනු, එහි පටුම ස්ථානය සැතපුම් 21 ක (කි.මී.33) පළලින් ද, නෞකා ඇල මාර්ගය දෙදිශාවෙන්ම සැතපුම් 2ක (කි.මී.3) පළලින් ද යුත් ඇතැම්විට, ලොව අතිශය තීරණාත්මක සමුද්‍රීය, බලශක්ති ප්‍රවාහන මාර්ගය වේ. එහි දිග සැතපුම් 104.(කි.මී. 167) පමණ ය. ඉරානය සහ ඕමානය අතර, මැද පෙරදිග සමුද්‍රීය පෙදෙසේ එය පිහිටා තිබේ. එහි උතුරින් වන්නේ ඉරානයයි. දකුණින් ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත්. එහි බටහිරින් පර්සියානු බොක්ක (Persian Gulf) පිහිටා ඇති අතර, නැගෙනහිරින්, ඕමාන් බොක්ක (Gulf of Oman) පිහිටා තිබේ. පර්සියානු බොක්ක, අරාබි මුහුදට සම්බන්ධ වන්නේ මෙම පටු මුහුදු මාවතිනි.
තවද, ඕමානය සහ ඉරානය අතර පිහිටි ප්‍රධාන ගල්ෆ් අපනයන රටවල් සතු එකම මුහුදු පිටවුම් දොරටුව එය ය. යුද්ධය ආරම්භයත් සමග ඉරානය, එය වසා දැමූ බව පැවසීමෙන් මේ වන විට, ඒ ඔස්සේ සමුද්‍රීය ගමනාගමනය බෙහෙවින් අඩාලව පවතී.
යුද්ධයට පෙර සාමාන්‍යයෙන් තෙල් සහ ස්වභාවික ගෑස් (LNG) ආශ්‍රිත ගෝලීය අපනයනයෙන් පහෙන් පංගුවක් පමණ ප්‍රවාහනය වූයේ ඒ ඔස්සේ විය. එකල හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ දෛනිකව, නෞකා 125 - 140ත් අතර සංඛ්‍යාවක් යාත්‍රා කළේය.
ඔපෙක් (OPEC) සාමාජික සෞදි අරාබිය, ඉරානය, කුවේටය සහ ඉරාකය මෙන්ම, එහි හිටපු සාමාජික රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද ප්‍රධාන වශයෙන් සිය බොරතෙල් අපනයනය සිදු කරන්නේ මෙම සමුද්‍ර සන්ධිය මතිනි. ලොව සුවිසල්ම LNG අපනයනකරුවකු වන කටාර් රාජ්‍යය සිය LNG බහුතරය අපනයනය කරානේ ද මේ ඔස්සේ වේ.
දැන්, ඉරානය මෙම සමුද්‍ර සන්ධිය තමන් සතු බව කියයි. ඊට ඇතුළුවන සහ ඉන් පිටවන නෞකා සියල්ල ඊට අවසර ගතයුතු බව සහ ගාස්තු ගෙවිය යුතු බවද දන්වා සිටී. දැන්, එහි යාත්‍රා කළ හැක්කේ නිර්දේශිත කලාප මතින් පමණක් බවක් එම ඇල මාර්ගයේ අන් ස්ථානවල සිය හමුදා මුහුදු බෝම්බ අතුරා ඇති බවත් ඉරානය පවසයි. එම නිර්දේශයන්ට සහ මාර්ගොපදේශයන්ට අනුගත නොවන නෞකා වෙත ඉරාන විප්ලවීය බලකාය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී.
කෙසේ වෙතත්, ඉරාන අනතුරු ඇඟවීම් ප්‍රතික්ෂේප කරන එක්සත් ජනපදය එම තර්ජන නොතකා සිය ගුවන් සහ නාවුක ආරක්ෂාව මධ්‍යයේ අඛණ්ඩව හෝර්මුස් තරණයේ යෙදෙන ලෙස ජාත්‍යන්තර නෞකාවන්ට බල කරයි.
එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා විසින් 'උසි ගන්වා,' හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට හල ඉන්දන නෞකා දෙකකින් එකක දැඩි ගින්නක් හට ගැනීමෙන් අනතුරුව, එම නෞකා දෙකම ආපසු පලා ගිය බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (30) පැවසීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/30/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Iran war live: US strikes Iran again as war widens with attack on Egypt port




