රතු මුහුදේ ආරක්ෂාවට සවුදියෙන් බහුජාතික සන්ධානයක්; හෝර්මුස් අර්බුදයට ඕමානයෙන් නව යෝජනාවලියක්
ඊජිප්තු වරායක ගෑස් නැව් දෙකක් ඉලක්ක කළ නාඳුනන ඩ්‍රෝන ප්‍රහාරයෙන් සුවස් ඇල ද යුද බියෙන් ඇලලේ.
ඉරානය එම ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කරයි. එය, ඊශ්‍රායල කුමන්ත්‍රණ ප්‍රහාරයක් බවට චෝදනා.
සෞදි අරාබියෙන් බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් පිණිස සැලැස්මක්.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීම වෙනුවෙන්, ඕමානයෙන් ස්වෙච්චා ගාස්තු ගෙවීමේ යෝජනාවක්
මධ්‍යධරණී මුහුදේ පිහිටි ඊජිප්තුවට අයත් ඩැමියෙටා වරායේ වූ ගෑස් ප්‍රවාහන නෞකා දෙකකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දැන්, සුවස් ඇල ඔස්සේ නෞකා ගමනාගමනය ද තර්ජිතව තිබේ. එක්සත් ජනපද - ඉරාන යුද්ධය ගල්ෆ් කලාපය සිසාරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීම මධ්‍යයේ, සෞදි ඉන්දන අපනයනයට එකම විකල්ප විසඳුම වූයේ සුවස් ඇල මාර්ගය ය.
එම ඊජිප්තු වරායේ නවතා තිබූ නෞකා දෙකක් හඳුනා නොගත් ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් ගිනි ගෙන පැවති බව, ඊජිප්තු කැබිනට්ටුව ද ඊයේ (30) නිවේදනය කළේය. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නොමැත. මධ්‍යධරණී සහ රතු මුහුදු එකිනෙකට සම්බන්ධ කෙරෙන සුවස් ඇල ආසන්නයේ එම වරාය පිහිටා තිබේ.

එහි පැමිණ තිබූ එක්සත් ජනපදයට අයත් පාවෙන ඉන්දන ගබඩා නෞකාවක් වූ, එනර්ගෝස් වින්ටර් (Energos Winter) වෙත එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාරයත් සමග එහි ගින්නක් හටගත්තේය. අනතුරුව ගින්න ඒ අසල වූ දෙවන නෞකාවක් වෙත ද වහා ව්‍යාප්ත විය.
ඉරානය එම ප්‍රහාරයේ වගකීම දැඩිව ප්‍රතික්ෂේප කර සිටී.
"ඊජිප්තුව කියන්නෙ මේ කලාපයේ අපේ හොඳ මිත්‍රයෙක් සේම පාර්ශ්වකරුවෙක්. එහි ආරක්ෂාව අපට ද අතිශය තීරණාත්මකයි. කලපීය සාමය තර්ජනයට ලක් කරමින් සිදු කෙරෙන ඊශ්‍රායල කුමන්ත්‍රණ සහ ව්‍යාජ ධජ යටතේ වන මෙහෙයුම් පිළිබඳව අප මීට වඩා අවධානයෙන් සිටිය යුතු කලක් උදාව තිබෙනවා," ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි සමාජ මාධ්‍යයේ සටහන් තැබීය.
සෞදි අරාබිය ඊයේ (30), බහුජාතික සමුද්‍රීය ආරක්ෂක සන්ධානයක් පිණිස වූ සැලැස්මක් පිලිබඳ අනාවරණය කළේය. රතු මුහුදු කලාපයේ බලශක්ති සැපයුම් මාර්ග සහ ජාත්‍යන්තර නාවුක ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ඊජිප්තු වාරයක වූ ගෑස් නෞකා දෙකක් වෙත එල්ල කළ නාඳුනන ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන්, සුවස් ඇල මාර්ගයේ නෞකා ගමනාගමනය සේම, ඒ ඔස්සේ එලා ඇති තෙල් නල පද්ධතියද අනතුරෙක පවතී. ඉරාන යුද්ධය ඇරඹි දා සිට සුවස් ඇල මාර්ගය, සෞදි තෙල් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය උදෙසා අතිශය වැදගත් කාර්ය භාරයක් ඉටු කළේය.
සෞදි තෙල් සහ ආශ්‍රිත අපනයන බහුතරය දැන්, රතු මුහුදේ උතුරු දිශාවේ පිහිටි සුවස් ඇල මාර්ගය සහ එහි ඇති සූමෙඩ් (SUMED) නල පද්ධතිය වෙත යොමු කර ඇත. මේ හේතුවෙන්, නෞකාවන්ට ඒඩන් බොක්ක ඔස්සේ දකුණට යාත්‍රා කරනවා වෙනුවට අප්‍රිකාව වටා වැඩි දුරක් යාත්‍රා කිරීමට සිදුවේ.
මේ අතර, හෝර්මුස් ගැටලුව විසඳීමට වෙනත් ගල්ෆ් රටවල් හා එක්ව, ඕමානය නව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. හෝර්මුස් සමුද්‍ර සන්ධිය භාවිතා කිරීම වෙනුවෙන් ස්වෙච්චා ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් පිලිබඳ එහි ඇතුළත් ය. ඉරානය එම යජනාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කළ බව, එරට අර්ධ රාජ්‍ය ඉල්නා (ILNA) පුවත් ඒජන්සිය පැවසීය. කෙසේ වෙතත්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව ඕමානය හා සාකච්ඡා අඛණ්ඩව සිදු කෙරෙන බව, ඉරාන විදේශ ආමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝේ කීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/31/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Drone strike at Egypt port near Suez Canal ignites new shipping risks




