ප්‍රහාරය පිටුපස යුක්‍රේන අර්බුදයේ සෙවනැලි පවතින බවට රුසියානු ආරක්ෂක අංශවල සැක පහළ වෙයි
ආපනශාලා පරිශ්‍රයේ සිදුවූ පිපිරීම
රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි අධි-සුඛෝපභෝගී ඉතාලි ආපනශාලාවක් අසල සෙනසුරාදා (අගෝස්තු 01) රාත්‍රියේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව 21 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක බලධාරීහු තහවුරු කරති. කුඩ්‍රින්ස්කායා චතුරස්‍රයේ පිහිටි ප්‍රසිද්ධ 'Balzi Rossi' ආපනශාලාව වෙත ඇතුළු වීමට උත්සාහ කළ කාන්තාවක් සතුව තිබූ දේශීයව නිෂ්පාදිත බෝම්බයක් මෙලෙස පිපිරී ගොස් තිබේ.

රුසියානු ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව (NAK) සඳහන් කළේ අදාළ කාන්තාව ආපනශාලාව තුළට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි සිටි ආරක්ෂක නිලධාරියා විසින් ඇයව නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවයි. එහිදී සිදුවූ පිපිරීමෙන් අදාළ කාන්තාව, ආරක්ෂක නිලධාරියා සහ ආපනශාලාවේ සිටි පාරිභෝගිකයෙකු එසැණින් ජීවිතක්ෂයට පත්ව ඇත. රෝහල්ගත කළ පිරිස අතරින් තවත් දෙදෙනෙකු මියගොස් ඇති බවට නිල නොවන වාර්තා පළ වුවද, බලධාරීන් තහවුරු කර ඇත්තේ තුවාල ලැබූවන්ගෙන් හයදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.
රුසියානු යුධ බ්ලොග්කරුවන්ගේ සැකය සහ අතීත සිදුවීම්

මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් (Sergei Sobyanin) මෙම සිදුවීම "දරුණු ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස හඳුන්වමින්, ඊට වගකිවයුතු පාර්ශ්වයන්ට දැඩි දඬුවම් පමුණුවන බව ප්‍රකාශ කර සිටියේය. පෞද්ගලික උත්සවයක් සඳහා වෙන්කර තිබූ අදාළ ආපනශාලාව වෙත රුසියානු හමුදාවේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියෙකු පැමිණීමට නියමිතව සිටි බවටද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් පැතිර යයි.
මෙම ප්‍රහාරයේ ස්වභාවය 2023 වසරේදී ප්‍රසිද්ධ රුසියානු යුධ බ්ලොග්කරුවෙකු වූ ව්ලැඩ්ලෙන් ටාටාර්ස්කී (Vladlen Tatarsky) ඝාතනය කරන ලද ආකාරයට සමානකමක් දක්වන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එවර දූරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කළ බෝම්බයක් රූපකයක් තුළ සඟවා ලබාදීමෙන් අදාළ ඝාතනය සිදුකර තිබිණි. 'කොමර්සන්ට්' (Kommersant) පුවත්පත වාර්තා කරන්නේ මෙවර ප්‍රහාරයට පැමිණි කාන්තාව ද තමන් සතුව පැවැති බෝම්බය පිළිබඳව නොදැන සිටින්නට ඇති බවත්, එය වෙනත් අයෙකු විසින් විද්‍යුත් ක්‍රමයට ක්‍රියාත්මක කරන්නට ඇති බවටත් සැක පහළ වන බවයි.
ආරක්ෂාව තර කිරීම සහ ජාත්‍යන්තර ප්‍රතිචාර

යුක්‍රේනය සමඟ පවතින දීර්ඝකාලීන හමුදාමය ගැටුම හමුවේ රුසියානු හමුදා ප්‍රධානීන්ට සහ ඉහළ නිලධාරීන්ට එල්ල වන තර්ජන ඉහළ ගොස් ඇති බැවින් ආරක්ෂක පියවර ප්‍රබල කිරීමට රුසියානු පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි. මෙම පිපිරීම සම්බන්ධයෙන් රුසියානු යුධ බ්ලොග්කරුවන් යුක්‍රේනය වෙත චෝදනා එල්ල කළද, කිවි පාලනාධිකාරිය මීට එරෙහිව මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
රුසියානු විමර්ශන කණ්ඩායම් විසින් ප්‍රහාරය සිදුවූ ස්ථානය සම්පූර්ණයෙන්ම වටලා පරීක්ෂණ පවත්වන අතර, මියගිය සහ තුවාල ලැබූවන්ගේ නිල තොරතුරු මෙන්ම ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක වේ.
මුලාශ්‍රය :
Female bomber kills at least three, injures 21 near Moscow restaurant, authorities say




