"එකඟතා තිබුණත් නැතත් න්‍යෂ්ටික වැඩසටහනට යළි පහර දෙනවා" - ඊශ්‍රායලයෙන් කෙළින්ම අනතුරු ඇඟවීමක්
එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සමග සාකච්ඡා අද (3) යළි අරඹන බව, පැවසීමත් සමග ඉරානය ද ඊට ප්‍රතිචාර දැක්වීය. ඒ අනුව, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි, සෞදි විදෙස් ඇමති ෆයිසාල් බින් ෆර්හාන් කුමරු සහ පාකිස්ථාන හමුදා ප්‍රධානී අසිර් මුනීර් සමග දුරකථන සංවාදයේ යෙදුණේය. සටන් විරාමය සහ තිරසර සාමය පිණිස ගතහැකි රාජ්‍ය තාන්ත්‍රික ප්‍රවේශ කවරේදැයි විමසීම එහි අරමුණ වූ බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය ඊයේ (2) සඳහන් කළේය.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිලිබඳ ඉරාන - ඕමාන සාකච්ඡා අවසන් අදියරේ පවතින බව, IRNA හෙවත් ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය ඊයේ දන්වා සිටියේය. එම සමුද්‍ර සන්ධියේ නව මාවතක් ඔස්සේ නෞකා ගමනාගමනයට එකඟ වීමේ ප්‍රයත්නයක් පිලිබඳ එම සාකච්ඡා පැවැත්වුණු බව, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බඝේ කීය. කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය විවෘත කෙරේද, නොකෙරේද, යන්න සම්බන්ධයෙන් කිසදු සාකච්ඡාවක් සිදු නොවූ බවත්, එය වෙනම සාකච්ඡාවකින් විසඳා ගතයුතු කරුණක් බවත්, ඔහු කියා සිටියේය.
මේ අතර, හෝර්මුස් ගැටලුව විසඳීමට වෙනත් ගල්ෆ් රටවල් හා එක්ව, පසු ගිය මස ඕමානය ඉදිරිපත් කළ ස්වෙච්චා ගාස්තු ගෙවීමේ ක්‍රමවේදයක් පිලිබඳ නව යෝජනාවලියක් ඉරානය ප්‍රතික්ෂේප කළේය.
කලාපයේ සියලු සිද්ධීන් පිලිබඳ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර සමීප ආරක්ෂක සහ බුද්ධි සම්බන්ධීකරණයක් සිදු කෙරෙන බව, ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ආරක්ෂක කැබිනට් සාමාජික එලී කොහෙන් පැවසීය.
එලී කොහෙන්
"ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන යළි ආරම්භ කිරීමට සහ බැලස්ටික් මිසයිල කර්මාන්තයේ ඉදිරිය පිණිස සූදානම් වුවහොත්, එකඟතාවෙන් යුක්තව හෝ විනිර්මුක්තව, එමෙන්ම, කිසිදු බාහිර ප්‍රතිඥාවෙන් තොරව, ඊට ප්‍රතිචාර දක්වනවා. එනම්, ඉරානයට යළි ප්‍රහාර දියත් දියත් කරනවා," ඔහු කීය.
ජනපති ට්‍රම්ප් සහ අග්‍රාමාත්‍ය නෙතන්යාහු පසු ගිය අඟහරුවාදා (28) වොෂින්ටනයේදී හමු වූහ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන අවලංගු කිරීමට ගතහැකි සියලු ක්‍රියාමාර්ග පිලිබඳ එහිදී සාකච්ඡා වූ බව, තතු දත් ආරංචිමාර්ග උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පැවසීය. එහිදී ගතහැකි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග, ආර්ථික සම්බාධක පැනවීම, සහ බලය යෙදවීම වැනි කරුණු ඊට ඇතුළත් වූ බව සඳහන් ය. න්‍යෂ්ටික අවියක් තැනීම පිලිබඳ කටකතා ඉරානය ප්‍රතික්ෂේප කර සිටී.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
8/3/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Trump says Iran talks to take place on Monday, sets no deadline for deal




