හමාස් සංවිධානය අවි බිම තබන තෙක් හමුදාව ඉවත් කර නොගන්නා බවට ඊශ්‍රායලය කියයි;
ඇමෙරිකානු සාම සැලැස්ම සහ හදිසි ප්‍රහාර
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානය ආයුධ බිම තැබීම සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම ඉලක්ක කරගත් සාම සැලැස්මේ මීළඟ අදියර ප්‍රකාශයට පත් කළද, භූමියේ පවතින සැබෑ තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් බව ගාසා තීරයේ පලස්තීන වැසියෝ පවසති. පසුගිය වසරේ ඇති කරගන්නා ලද සෙබළ විරාමයෙන් පසුව එල්ල වූ දරුණුතම ප්‍රහාර මාලාවකට මුහුණ දෙමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් එකම දිනයකදී පලස්තීනුවන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කළ මෙම සැලැස්ම යටතේ හමාස් සංවිධානය අදියර කිහිපයකින් ආයුධ බිම තැබීමටත්, ඊට සමගාමීව ඊශ්‍රායල හමුදාවන් ගාසා තීරයෙන් ඉවත් වීමටත් නියමිතව තිබිණි. කෙසේ වෙතත්, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ හමාස් සංවිධානය මුළුමනින්ම ආයුධ බිම තබා ඔවුන්ගේ යටිබිම් පද්ධති විනාශ කරන තෙක් ස්වකීය හමුදාවන් පසුපසට නොගන්නා බවයි. ඊට ප්‍රතිචාර දක්වන හමාස් සංවිධානය අවධාරණය කරන්නේ ආයුධ භාරදීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර ඊශ්‍රායලය සිය ප්‍රහාර වහාම අත්හිටුවිය යුතු බවයි.
සාම මණ්ඩලයේ මැදිහත්වීම සහ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා

මේ අතර, ගාසා සාම සැලැස්ම අධීක්ෂණය කිරීම සඳහා පත්කර ඇති සාම මණ්ඩලයේ නියෝජිත නිකොලායි ම්ලාඩෙනොව් (Nikolay Mladenov) , ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ නිලධාරීන් සමඟ ඊයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ගාසා තීරය ආයුධවලින් තොර කලාපයක් බවට පත් කිරීම සහ තුවක්කු පාලනයෙන් ඔබ්බට ගිය සිවිල් පාලනයක් ස්ථාපිත කිරීම එහි ප්‍රධාන අරමුණ බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.
එසේම, ඊශ්‍රායල හමුදාව පසුගිය ඔක්තෝබර් මාසයේ ස්ථාපිත කළ සීමා මායිම්වලින් ඔබ්බට ඉවත් කරගැනීම සිදුවනුයේ හමාස් සංවිධානය සියලු සැහැල්ලු හා බර ආයුධ මෙන්ම යටිබිම් මාර්ග මුළුමනින්ම විනාශ කිරීමෙන් පසුව පමණක් බව සාම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත.
කෙසේ වෙතත්, සාම මණ්ඩලයේ ප්‍රකාශය මගින් හමාස් සංවිධානයේ අවි බිම තැබීම කෙරෙහි පමණක් අවධානය යොමුකර ඇති අතර, ප්‍රහාර අත්හිටුවීම සහ ගාසා තීරය ඉලක්ක කරගනිමින් සිදුවන මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ මුල් එකඟතාවල තිබූ කරුණු මඟහැර ඇති බවට පලස්තීන පාර්ශ්වයන් කංසාව පළකර තිබේ.
භූමියේ පවතින සැබෑ තත්ත්වය සහ අවතැන්වීම්

සාම සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රකාශ නිකුත් වුවද, ගාසා තීරයේ වැසියන් පවසන්නේ දිනපතා එල්ල වන ප්‍රහාර හමුවේ තමන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවයි. ඊශ්‍රායල හමුදාව විසින් පාලනය කරනු ලබන කලාපය දැනටමත් ගාසා තීරයෙන් 60% ත් 70% ත් අතර ප්‍රමාණයක් දක්වා ව්‍යාප්ත කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ද තහවුරු කර ඇත.
මේ හේතුවෙන් මිලියන 2කට අධික සමස්ත ගාසා වැසියන් සීමිත වෙරළබඩ තීරයකට කොටුවී, යළි යළිත් අවතැන්වීමට ලක්ව සිටිති. ඊශ්‍රායල හමුදා විසින් පනවන ලද ආරක්ෂිත සීමා මායිම් ඉදිරියට ගෙන ඒම නිසා ගාසා සිටි, ඩෙයිර් අල්-බලා සහ ඛාන් යුනිස් ඇතුළු ප්‍රදේශ රැසක පවුල් සිය ගණනකට සිය තාවකාලික නවාතැන් ද අතහැර පලායාමට සිදුව තිබේ.
ගාසා සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තාවලට අනුව, ඔක්තෝබර් මාසයේ සාම එකඟතාවලින් පසුව පවා ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 1,230 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, එම කාලසීමාව තුළ ඊශ්‍රායල සෙබළුන් 04 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත. මේ අතර ඊජිප්තුව, කටාර් සහ තුර්කිය යන මැදිහත්කාර රටවල් එකතුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ඊශ්‍රායලය දිගින් දිගටම සිදුකරන මෙම ප්‍රහාර සාම ගිවිසුමේ උල්ලංඝනය කිරීමක් වන අතර එය දෙවන අදියරට පිවිසීමේ උත්සාහයන් අඩපණ කරන බවයි.
මුලාශ්‍රය :
After deadly day, Gazans say Trump's touting of plan jars with grim reality




