හෝමුස් සමුද්‍ර සන්ධිය සහ කලාපීය නාවික බලපෑම හමුවේ ගෝලීය වෙළඳපොළටත් බලපෑම්
ඇමෙරිකානු ප්‍රකාශ සහ රාජ්‍ය තාන්ත්‍රික වාතාවරණය
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මාස පහක් තිස්සේ ඇදී යන හමුදාමය ක්‍රියාමාර්ග නිමා කිරීම සඳහා වූ සාකච්ඡා මේ වන විටත් පැවැත්වෙන බවත්, එය ගිවිසුමකට එළඹීමට ඉරානයට ලැබෙන "අවසාන අවස්ථාව" බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඕවල් කාර්යාලයේ පැවැති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය, සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් ඇතුළු කලාපීය රටවල ඉල්ලීම මත මෙම සාකච්ඡා ක්‍රියාත්මක වන බවයි.

ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ දැවැන්ත හමුදාමය ප්‍රහාර අත්හිටුවීමට තමන් තීරණය කළ බව සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප්, දෙපාර්ශ්වය අතර කඩිනම් විසඳුමකට පැමිණීමේ අපේක්ෂාවෙන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග විවෘත කළ බව කියා සිටියේය. කෙසේ වෙතත්, ඉන් අනතුරුව සමාජ මාධ්‍ය සටහනක් තබමින් ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ඉරාන නායකත්වය සාකච්ඡා සඳහා ඉල්ලීම් කරමින් ප්‍රසිද්ධියේ එය ප්‍රතික්ෂේප කරන පිළිවෙතක් අනුගමනය කරන බවයි.
ඉරානයේ ප්‍රතිචාරය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශ මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මායිල් බගායි සඳහන් කර ඇත්තේ, ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ කිසිදු ඍජු සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන්නේ නැති බවත්, එවැනි හමුවීම් ඉදිරි දින කිහිපය සඳහා සැලසුම් කර නොමැති බවත්ය. ඉරාන නියෝජිතයන් විදේශගත වීමේ හෝ විදේශීය නියෝජිත පිරිස් පිළිගැනීමේ සූදානමක් නොමැති බව පෙන්වා දුන් ඔහු, වර්තමානයේ සිදුවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතු කළමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවැත්වෙන සාකච්ඡා පමණක් බව අවධාරණය කළේය.
මෙම ගැටුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ ගෝලීය තෙල් සහ ස්වාභාවික වායු සැපයුමෙන් පස්සෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන උපායමාර්ගික වැදගත්කමකින් යුත් හෝමුස් සමුද්‍ර සන්ධියයි. පෙර පැවැති එකඟතාවලට අනුව හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබිය යුතු බව වොෂිංටනය අවධාරණය කරන අතර, නාවික ගමනාගමනය පාලනය කිරීමේ නිල බලය තමන් සතුව පවතින බව ටෙහෙරානය ප්‍රකාශ කරයි.
ගෝලීය මූල්‍ය වෙළඳපොළ සහ ඉදිරි ප්‍රවණතා

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පරස්පර ප්‍රකාශ නිකුත් වුවද, දෙපාර්ශ්වය අතර නොසන්සුන් තත්ත්වය ලිහිල් විය හැකි බවට පළවූ තොරතුරුත් සමඟ ගෝලීය තෙල් වෙළඳපොළේ මිල ගණන් යම් පහත බැසීමක් පෙන්නුම් කර ඇති අතර ප්‍රධාන කොටස් වෙළඳපොළ දර්ශක යම් වර්ධනයක් වාර්තා කර ඇත.
කලාපීය අර්බුදය අවම කර ගැනීම උදෙසා එක්සත් ජනපදය ඇතුළු බලවතුන් ගන්නා උත්සාහයන් මෙන්ම, හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සහ ගෝලීය බලශක්ති සැපයුම තහවුරු කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අවධානය යොමුව තිබේ.
මුලාශ්‍රය :
Trump says talks with Iran under way but Tehran denies any planned




