BREAKING
Top Ad
විදේශ

මුම්බායි අවන්හල් හොල්ලන තුකාරාම් මුන්ධේගේ දැවැන්ත ආහාර මෙහෙයුම

T

The Leader

August 25, 2026 • 7:04 AM

මුම්බායි අවන්හල් හොල්ලන තුකාරාම් මුන්ධේගේ දැවැන්ත ආහාර මෙහෙයුම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොමිනෝස්, පීසා හට් සහ මැක්ඩොනල්ඩ්ස් ඇතුළු ප්‍රමුඛ ආයතන රැසක බලපත්‍ර අත්හිටුවමින් ක්‍රියාත්මක වන සුවිශේෂී සෞඛ්‍ය මෙහෙයුම.
  • තුකාරාම් මුන්ධේ යනු විශේෂ මෙහෙවරක නිරත 51 හැවිරිදි ඉන්දීය රාජ්‍ය නිලධාරියෙකි.
  • ප්‍රාන්ත ආහාර කොමසාරිස්වරයකු ලෙස ඔහු විසින් ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් මේ වනවිටත්, මුම්බායි වාණිජ අගනගරය සලිත ව තිබේ.
  • එහි ආහාර හා බැඳී ව්‍යාපාර රැසක් ඔහුගේ වැටලීමට නතු ව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

 

මාරුවීම් ගණනාවකට මුහුණ දුන්නත් මිනිස් ජීවිත වෙනුවෙන් නොසැලී නීතිය ක්‍රියාත්මක කරන ඉන්දීය පරිපාලන නිලධාරියා.


තුකාරාම් මුන්ධේ යනු විශේෂ මෙහෙවරක නිරත 51 හැවිරිදි ඉන්දීය රාජ්‍ය නිලධාරියෙකි. ප්‍රාන්ත ආහාර කොමසාරිස්වරයකු ලෙස ඔහු විසින් ක්‍රියාත්මක මෙහෙයුමක් හේතුවෙන් මේ වනවිටත්, මුම්බායි වාණිජ අගනගරය සලිත ව තිබේ. එහි ආහාර හා බැඳී ව්‍යාපාර රැසක් ඔහුගේ වැටලීමට නතු ව ඇත. එය, සමස්ත ඉන්දීය දේශයම වෙලා ගත් අයහපත් සහ අනාරක්ෂිත ආහාර පාන නිෂ්පාදකයින්, බෙදා හරින්නන් සහ අලෙවිකරුවන් සොයා සිදු කෙරෙන මහා පරිමාන සෞඛ්‍ය මෙහෙයුමකි.

පසු ගිය සති කිහිපය තුළ, එහි ක්‍රියාත්මක ඩොමිනෝස් අලෙවිසැල් හතරක සහ එක් පීසා හට් අලෙවිසැලක ආහාර බලපත්‍ර තහනම් කිරීමට මුන්ධේ පියවර ගත්තේය. ඉකුත් මැයි මස මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආහාර සුරක්ෂා ප්‍රධානී ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව,  ක්‍රිකට් ක්‍රීඩා සමාජ, හොටල සහ ජනප්‍රිය අවන්හල් රැසක් ඉලක්ක කර ඔහු හදිසි වැටලීම් 3000කට අධික සංඛ්‍යාවක් සිදු කළේය.

'තෝරා බේරා ගත්' ආහාර ව්‍යාපාර ඉලක්ක කර එම වැටලීම් සිදු කරන බව මුම්බායි විනිශ්චයකාරවරයෙක් මුන්ධේ ට සෘජුවම චෝදනා එල්ල කළේය. ඔහු අධිකරණ පරිශ්‍රයේ ආපනශාලා පරික්ෂා නොකරන්නේ මන්දැයි එම විනිසුරු ප්‍රශ්න කර සිටියේය. ඉන් පැය කිහිපයක් ගත වන්නට ද පෙර සිය කණ්ඩායම යොදවා එහි හදිසි වැටලීමක් සිදු කළ මුන්ධේ, අධිකරණ පරිශ්‍රයේ ක්‍රියාත්මක බලපත්‍ර රහිත ආපන ශාලා සියල්ලා වහා මුද්‍රා තබා වසා දැමීමට කටයුතු කළේය.

නීතියට අනුගත නොවන්නේ නම්, ඒ සියල්ලන්ටම නියාමක තීරණයට මුහුණ පෑමට සිදු වන බව ඔහු පවසන්නේය. "ඔබ මේ  සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත සමගයි," හෙතෙම රොයිටර්ස් පුවත් සේවයට කීය.

"නීතියට පිටින් යන කිසිවෙකුට සමාවක් නෑ"

 

mundhe 1
ඉන්දියාව පුරා ඔහුගේ මෙම ක්‍රියාන්විතය ඉමහත් මහජන ප්‍රසාදයට ලක්ව තිබේ. ඒ, ජන ජීවිතයට අත්‍යන්තයෙන්ම බරපතල අන්තරායයක් සිදු කෙරෙන ව්‍යසනයකට තිත තැබීමට ඔහු ගත් පියවර හේතුවෙනි. විදේශීය ආහාර දාමයන්ට අයත්, ඩොමිනෝස් සහ මැක්ඩොනල්ඩ්ස් වැනි ආහාර අලෙවි ආයතන වේගයෙන් ව්‍යාප්ත වෙමින් පැවතියද, සනීපාරක්ෂාව සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ ගැටලුකාරී බවට චෝදනා එල්ල වූ ප්‍රාන්ත 'කෑම කඩ', මග අද්දර කුඩා ආහාර වෙළෙඳසැල් සහ එවැනි අවන්හල් තවමත් ඉන්දීය ජනතාව අතර අතිශය ජනප්‍රිය ය.

2020 සිට සෑම වසරකම ඉන්දීය ආහාර පරීක්ෂකවරුන් විසින් මෙතෙක් පරික්ෂාවට ලක් කර ඇති ආහාර සාම්පල සංඛ්‍යාව 100,000කට අධික ය.  ඉන් 20%ක ට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිත, ප්‍රමිතියෙන් තොර හෝ නිසි ලේබල නොමැති නිෂ්පාදන බවට හඳුනා ඇත. එමෙන්ම, පසුගිය වසර තුන තුළ, ආහාර ව්‍යාපාර පවත්වාගෙන යාමට නිකුත් කර තිබූ බලපත්‍ර 8,000කට ආසන්න සංඛ්‍යාවක් ද රජය විසින් අවලංගු කෙරිණි.

“මේක මෙහෙ සාමාන්‍ය දෙයක්," යි පවසා, ජනතාව වසර ගණනක් නිසි සෞඛ්‍ය ප්‍රමිතියෙන් තොර ආහාර පාන  සාමාන්‍යකරණය කිරීමට හුරුව සිටියහ.  "ඇත්ත වශයෙන්ම, මේ  කාලයක් තිස්සේ යටපත් වෙලා තිබ්බ ජනතා කෝපය මිස අන් කිසිවක්  නොවේ,"  පාරිභෝගික උපදේශන සමාගමක් වන 'ද නොලෙජ්  කම්පැනි' (The Knowledge Company) හි පාර්ශ්වකරුවකු වන අන්කූර් බිසේන් කියා සිටී.

“මම කවදාවත් මුන්ධේ වගේ කෙනෙක් දැකල නෑ. ඔහුගේ ක්‍රියාන්විතය නිසා දැන්  ජනතාව තුළ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා," ඔහු කියයි.

උපැස් යුවළක් පැළඳි, ඝන උඩු රැවුලක් සහිත මුන්ධේ, බොහෝ සාම්ප්‍රදායික ඉන්දීය රාජ්‍ය නිලධාරීන්ගෙන් වෙනස්ම වූවෙකි.

තමන්ට අල්ලස් දීමට තරම් එඩිතර කිසිවකු නොවන බවත්, ඉන්දීය පරිපාලන සේවයේ (IAS) නිලධාරියකු ලෙස, විසි එක් වසක සේවා කාලය තුළ අවස්ථා රැසකදී ස්ථාන මාරුවීම් ලැබුවද, එම පරිපාලන ක්‍රියාමාර්ගවලට තමන් බිය නොවන බවත් ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡා කිහිපයකදීම ප්‍රකාශ කළේය.

“මාව සෑම වසරකම ස්ථාන මාරු කරනවා,” යැයි ඔහු 2018 වසරේ පැවති එම එක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

සමාජ මාධ්‍ය කැළඹූ වැටලීම් සහ වීදි ආහාර සංස්කෘතියේ වෙනස

 

mundhe 4
වත්මන, ඔහුගේ ආහාර සුරක්ෂිතතා කණ්ඩායම සිදුකරන වැටලීම්, දෛනිකව සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන්  ප්‍රචලිත වෙමින් පවතී. එකී හදිසි වැටලීම්වලින් පසු, ඒ පිලිබඳ ඡායාරූපයෙන් ද යුත් සවිස්තරාත්මක නිල නිවේදන ප්‍රසිද්ධ කෙරේ. අපවිත්‍ර පැල්ලම්  සහ සළකුණු වැකි බිත්ති වලින් යුත්, කැරපොත්තන් හා මීයන් ගහන ආපනශාලා සහ ආහාර ගබඩාවල අභ්‍යන්තර තත්ත්වය සේම, කල් ඉකුත් වූ ආහාර ද එහි දැක්වේ. දැන් දැන්, මෙම නිවේදන   ඉන්දියානුවන්ගේ දැඩි අවධානයට ලක් වෙමින් පවතී.

“ඇත්තෙන්ම මෙය විශ්මයට කරුණක්.  මේ සා විශාල සංඛ්‍යාවක සෞඛ්‍ය උල්ලංඝන සිදුවී ඇතැයි මම  කිසි දින අපේක්ෂා කළේ නෑ," මුන්ධේ කියා සිටී.

මුම්බායි නගරයේ වීදි ආහාර අලෙවිකරුවන් සහ අවන්හල් 25ක් සම්බන්ධයෙන් රොයිටර්ස්  පුවත් සේවය පසුගිය සතියෙක විශේෂ නිරීක්ෂණයක් සිදු කළේය. මුන්ධේගේ වැටලීම් හේතුවෙන් එම ව්‍යාපාරිකයන් දැඩිව බියපත්ව ඇතැයි එහිදී  අනාවරණය විය. එම වැටලීම් හි එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස, එක් අලෙවිකරුවකු චීන ආහාර සඳහා පෙර භාවිත කළ කෘත්‍රිම රතු වර්ණක වෙනුවට ස්වභාවික මිරිස් යෙදීමට පෙළඹී  තිබිණි. තවත් අලෙවිකරුවකු, අහර පිසීමට දිනකට තෙවරක් භාවිත කළ තෙල් ඉවත්  කිරීමටත්, සේවකයන්ට අත්වැසුම් සහ හිස් ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමටත් පියවර ගෙන තිබිණි.

මුම්බායි නගරයේ සෑම තැනකම පාහේ දක්නට ලැබෙන වීදි ආහාරයක් වන ‘වඩ පාව්’ ද මුන්ධේගේ උකුසු ඇසට හසු විය. ඒ අනුව,  මිරිස් රසැති අර්තාපල් පැටිසක්, බනිස් පෙති දෙකක් අතර තබා සකස් කෙරෙන  මෙම ජනප්‍රිය කෙටි ආහාරය එතීම පිණිස  පත්තර කඩදහි භාවිත  කිරීම ජුනි මස සිට තහනම් කෙරිණි.

මෙම වැටලීම් හේතුවෙන්, ඉන්දීය පාරිභෝගිකයින් තුළ වීදි ආහාර පිලිබඳ විශ්වසනීයත්වය තහවුරු වෙමින් පවතී.

මුන්ධේගේ කණ්ඩායම පසුගිය දා මැක්ඩොනල්ඩ්ස් අවන්හලක බලපත්‍රය ද අත්හිටුවීමට පියවර ගත්තේය.  ඒ, එහි කැරපොත්තන් වැනි  පළිබෝධ හැසිරීම් නිරීක්ෂණය වීමෙන් සහ නරක්  වූ  ආහාර වූ බව අනාවරණය වීමෙන් අනතුරුව ය.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් සිය සමාගම “කිසිදු පැකිලීමකින් තො  ප්‍රතිපත්තියක්” අනුගමනය කරන බවත්, බලධාරීන් විසින් පෙන්වා දුන් කරුණු පිළිබඳ සමාලෝචනයක් සිදු කෙරෙන බවත්, මැක්ඩොනල්ඩ්ස් ඉන්ඩියා සමාගම ඒ පිලිබඳ නිවේදනයක් නිකුත් කරමින් පසුව කියා සිටියේය. මේ අතර, ආහාර බලපත්‍ර තහනම් කෙරුණු  ඩොමිනෝස් සහ පීසා හට් සමාගම් වෙතින් රොයිටර්ස් පුවත් සේවය සිදු කළ විමසීම්වලට ප්‍රතිචාර නොවීය.

මුන්ධේගේ ආහාර සුරක්ෂිතතා මෙහෙයුම යටතේ, මුම්බායිහි බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවත එන ක්‍රිකට් සමාජය කට, වසර 70ක් පැරණි අයිස්ක්‍රීම් අලෙවි සලකට සහ වසර 110ක් පමණ පැරණි පාර්සි  කිරි නිෂ්පාදන ආයතනයකට ද එරෙහි නීතිමය  පියවර ගෙන තිබේ.

ව්‍යාපාරිකයන්ගේ විරෝධතා සහ අධිකරණ තීන්දු

d3r234r34qfdf
කෙසේ වෙතත්, නව නීති හා ප්‍රමිතීන්ට අනුගත වීමට ප්‍රමාණවත් කාලයක් හිමි විය යුතු බව පවසන ව්‍යාපාරිකයෝ  මුන්ධේගේ සහ ඔහුගේ ක්‍රියාකාරකම් විවේචනය කරති. ඇතැම් ව්‍යාපාරිකයන් මේ සම්බන්ධයෙන් මහාධිකරණයේ පැමිණිලි ගොනු කර ඇත්තේ,  ඔහුගේ දෙපාර්තමේන්තුව අත්තනෝමතික හා දැඩි ආකාරයෙන් කටයුතු කරන බවට චෝදනා නගමිනි.

එවැනි එක් නඩුවකදී, පැමිණිලිකාර අදාළ ආහාර අලෙවිසල සිය ප්‍රමිතිගත අනුගත පියවර ප්‍රවර්ධනය කර  තිබියදී ද,  එහි බලපත්‍රය අඛණ්ඩව අත්හිටුවීම සම්බන්ධයෙන් අධිකරණය මුන්ධේ ගේ දෙපාර්තමේන්තුවට ඉන්දීය රුපියල් 500,000ක (ඇමෙරිකානු ඩොලර් 5,225ක පමණ) දඩයක් නියම කළේය.

“අධිකරණයට අප හිස නවා ගෞරව කරනවා. එම තීන්දු තීරණ ඉතා බැරෑරුම් ලෙස සලකනවා... ඒ විතරක් නොවේ, අප ප්‍රතිපත්ති යාවත්කාලීන කළ යුතු නම්, එයද සිදු කරනවා," මුන්ධේ කියා සිටී.

පසුගිය සිකුරාදා (21) නවදිල්ලියේ පැවති උත්සවයකදී, මුන්ධේ හා ඡායාරූපය ට පෙනී සිටීමට ඔහුගේ 'රසිකයන්' පොරකමින් සිටිනු දක්නට ලැබිණි.  ඔහුට අතට අත දී අචාර කිරීමට එහි විශාල පිරිසක් එක්ව සිටියහ. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඔහුට ජාතිකවගකීමක් පැවරිය යුතු යැයි අයෙක් කියා සිටියේය.

“මම කීර්තිධරයෙක් නොවේ, ආහාර සුරක්ෂිතතා කොමසාරිස්වරයෙක් පමණයි," මුන්ධේ  කියයි.


(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
8/25/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Reuters | Indian food safety officer shakes up Mumbai, one viral raid at a time

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...