අනාවැකි වෙළෙඳපොළ භාවිත කරමින් අභ්‍යන්තර තොරතුරු අයථා ලෙස යොදාගැනීම ගැන විමර්ශන
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන විශේෂ දේශනවල ඇතුළත් කරුණු කල්තියා දැනගෙන, ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා ඔට්ටු ඇල්ලූ (Betting) හිටපු ධවල මන්දිර ටෙලිප්‍රොම්ප්ටර් ක්‍රියාකරුවකුට (Teleprompter operator) ඩොලර් 172,000කට වැඩි මුදලක් ගෙවන ලෙස එරට මූල්‍ය නියාමන අධිකාරිය නියෝග කර තිබේ.
2016 වසරේ සිට ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති ගැබ්‍රියෙල් පෙරෙස් නමැති මෙම සේවකයා, 2025 දෙසැම්බර් සහ 2026 පෙබරවාරි අතර කාලය තුළ අදාළ අක්‍රමිකතාව සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
අභ්‍යන්තර තොරතුරු අයථා භාවිතය සහ නියාමන පියවර
ලොව පුරා සැබෑ සිදුවීම් පදනම් කරගනිමින් අනාවැකි පළකිරීමේ වේදිකාවක් වන 'Kalshi' වෙබ් අඩවිය හරහා මොහු මෙම ගනුදෙනු සිදුකර ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සිය දේශනවලදී යොදාගන්නා වචන, රටවල නම් හෝ මැතිවරණ පාඨ සම්බන්ධයෙන් වන 'Mention markets' අංශයේ මොහු ඔට්ටු තබා ඇති බව සඳහන් වේ.
මේ හරහා ඔහු උපයා තිබූ ඩොලර් 107,539.02 ක මුදල රාජසන්තක කිරීමටත්, ඊට අමතරව ඩොලර් 65,000ක සිවිල් දඩයක් නියම කිරීමටත් එක්සත් ජනපද භාණ්ඩ අනාගත වෙළෙඳ කොමිසම (CFTC) තීරණය කර ඇත. මීට අමතරව වසර තුනක කාලයක් සඳහා ඔහුට මෙවැනි වෙළෙඳපොළ ගනුදෙනු කිරීම තහනම් කර තිබේ.
තමන් වෙත පැවරී තිබූ විශ්වාසය සහ වගකීම කඩකරමින් අභ්‍යන්තර රහස්‍ය තොරතුරු අයථා ලෙස ප්‍රයෝජනයට ගෙන මෙම ක්‍රියාව සිදුකර ඇති බව CFTC නියාමන ආයතනය පෙන්වා දෙයි. කෙසේ වෙතත්, පරීක්ෂණ කටයුතු සඳහා ඔහු දැක්වූ පූර්ණ සහයෝගය සැලකිල්ලට ගෙන නියම කළ දඩ මුදල යම් ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගත් බවද එම ආයතනය නිවේදනය කළේය.
ධවල මන්දිරයේ ප්‍රතිචාරය සහ අනාවැකි වෙළෙඳපොළ අවදානම

මෙම අසාමාන්‍ය ගනුදෙනු රටාව මුලින්ම හඳුනාගෙන ඇත්තේ 'Kalshi' ආයතනයේ විශ්ලේෂකයන් විසිනි. අදාළ පරිශීලකයා ධවල මන්දිරයේ සේවකයකු බව තහවුරු කරගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව වහාම නියාමන බලධාරීන් දැනුවත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණි.
මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ ගැබ්‍රියෙල් පෙරෙස්ගේ සේවය අත්හිටුවීමට ධවල මන්දිරය පියවර ගත් අතර, පසුව ඔහු රාජ්‍ය සේවයෙන් ඉවත් කර ඇති බව තහවුරු විය. එවකට ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ප්‍රකාශ කර තිබුණේ, ජනාධිපතිවරයා ද මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වූ බවත්, එය අතිශය අවාසනාවන්ත මෙන්ම අපකීර්තිමත් ක්‍රියාවක් ලෙස සැලකූ බවත්ය. මීට අමතරව, අනාවැකි වෙළෙඳපොළ හරහා ඔට්ටු ඇල්ලීමෙන් වළකින ලෙස ධවල මන්දිර පරිපාලන කාර්යාලය සිය කාර්ය මණ්ඩලයට විශේෂ උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබුණි.
රාජ්‍ය නායකයන් සහ මූල්‍ය ප්‍රධානීන් සිදුකරන ප්‍රකාශ හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළ, ඛනිජ තෙල් සහ විදේශ විනිමය වෙළෙඳපොළවල බිලියන ගණනක වෙනස්කම් සිදුවන පසුබිමක, මෙවැනි අභ්‍යන්තර තොරතුරු (Insider trading) භාවිත කරමින් සිදුවන අයථා ගනුදෙනු මැඩපැවැත්වීම සඳහා නියාමන ආයතන මෙන්ම අදාළ වේදිකා ද මේ වන විට දැඩි නීතිරීති පැනවීමට පියවර ගනිමින් සිටී.
වැඩිදුර තොරතුරු සඳහා මූලාශ්‍ර:
BBC News වාර්තාව
NewsNation වාර්තාව




