*ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් ගිය මාවතට තවත් රාජ්‍යයක්
පැසිෆික් සාගරයේ පිහිටි ලොව තුන්වැනි කුඩාම රාජ්‍යය වන නාවුරු (Nauru), සිය නිල නාමය සහ උච්චාරණය වෙනස් කරමින් ලෝක ප්‍රජාව හමුවේ නව අනන්‍යතාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම රාජ්‍යය ජාත්‍යන්තරව හඳුන්වනු ලබන්නේ ‘නඔයිරෝ’ (Naoero) යන මුල් ඓතිහාසික නාමයෙනි.
නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් එරට ජනාධිපති ඩේවිඩ් අඩියෑන්ග් (David Adeang) මෙම ඓතිහාසික තීරණය නිල වශයෙන් නිවේදනය කළේය.
අපේ නම හරියට කියන්න
ජාතීන්ගේ සංවිධානය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ, මෙය හුදු නම වෙනස් කිරීමක් නොව සිය පාරම්පරික උරුමය සහ අභිමානය යළි තහවුරු කර ගැනීමක් බවයි.
"දීර්ඝ කාලයක් මුළුල්ලේ ලෝකය අපව හැඳින්වූයේ 'නාවුරු' නමින්. අපේ නම නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වූ පිරිස් එය 'නාවුරු' ලෙස භාවිත කළ අතර මුළු ලෝකයම එය පිළිගත්තා. නමුත් අපේ ජනතාව එකිනෙකා අතර කතාබහ කිරීමේදී කිසි විටෙකත් එම නම භාවිත කළේ නැහැ. ජාතියක ඉතිහාසයේ තමන් සැබවින්ම කවුරුන්දැයි ලෝකයට මතක් කර දිය යුතු මොහොතක් එළැඹෙනවා. අපට උදා වී ඇත්තේ එවැනි මොහොතක්," යනුවෙන් ජනාධිපති අඩියෑන්ග් ප්‍රකාශ කළේය.
සංකේත සහ ජාත්‍යන්තර කේත වෙනස් වෙයි
වර්ග සැතපුම් 8ක භූමි ප්‍රමාණයකින් සහ 12,000කට ආසන්න ජනගහනයකින් යුත් මෙම කුඩා දූපත් රාජ්‍යය, සිය පාර්ලිමේන්තුව හරහා අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් මෙම පියවර ගෙන ඇත. මීට පෙර එක්සත් රාජධානිය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය යන රටවල යටත්විජිත පාලනයට නතුව තිබූ නඔයිරෝ රාජ්‍යය නිදහස ලැබුවේ 1968 වසරේදීය.
මෙම වෙනසත් සමඟ එරට ජාත්‍යන්තර කෙටි කේතය (Country Code) මින් ඉදිරියට ‘NRU’ වෙනුවට ‘NRO’ ලෙස භාවිත වන අතර, එරට වැසියන් ‘නාවුරුවානුවන්’ (Nauruan) වෙනුවට ‘ඩෙයි-නඔයිරෝ’ (dei-Naoero) ලෙස හැඳින්වෙනු ඇත.
ලෝක ඉතිහාසය සහ ශ්‍රී ලංකාවේ අත්දැකීම
යටත්විජිතවාදයේ සෙවණැලිවලින් මිදීම හෝ ජාතික අනන්‍යතාව පෙරදැරි කරගනිමින් රාජ්‍යයන් සිය නම් සංශෝධනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.
1972 දී ‘සිලෝන්’ (Ceylon) යන යටත්විජිත නාමය ඉවත් කර ‘ශ්‍රී ලංකාව’ ලෙස මෙරට නිල නාමය ප්‍රකාශයට පත් කිරීම ද මෙවැනිම ඓතිහාසික හැරවුම් ලක්ෂ්‍යයකි. ඊට අමතරව සියම් දේශය ‘තායිලන්තය’ බවටත්, පර්සියාව ‘ඉරානය’ බවටත්, බුරුමය ‘මියන්මාරය’ බවටත්, රොඩේෂියාව ‘සිම්බාබ්වේ’ බවටත්, ස්වාසිලන්තය ‘එස්වාටිනි’ බවටත් මෑත ඉතිහාසයේදී වෙනස් විය. එසේම තුර්කිය ද මෑතකදී සිය ඉංග්‍රීසි නාමය ‘Turkiye’ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නිල වශයෙන් යාවත්කාලීන කර ගත්තේය.
නඔයිරෝ ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ සිය අතීතය මකා දැමීම වෙනුවට මුතුන්මිත්තන්ගේ භාෂාව සහ අනන්‍යතාවට නිසි ගෞරවය ලබා දීම වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍ර:
The Independent - The world’s third-smallest country debuts new name at the UN
United Nations - Member States Portal




