ග්‍රේටර් මැන්චෙස්ටර් හිටපු නගරාධිපතිවරයා ‘උතුරේ රජු’ භූමිකාවෙන් වෙස්ට්මිනිස්ටර් දේශපාලනයේ ඉහළම පුටුවට ආ ගමන
එක්සත් රාජධානියේ කම්කරු පක්ෂයේ (Labour Party) නව නායකයා ලෙස තේරී පත් වූ ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) අද (ජූලි 20) බ්‍රිතාන්‍යයේ 59 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස නිල වශයෙන් ධූරයේ වගකීම් භාර ගැනීමට නියමිතය. තුන්වන චාල්ස් රජු සමඟ බකිංහැම් මාළිගයේ පැවැත්වෙන නිල හමුවකින් අනතුරුව ඔහු ශ්‍රීමත් කියර් ස්ටාමර් ගේ අනුප්‍රාප්තිකයා ලෙස 10 ඩවුනින් ස්ට්‍රීට් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ප්‍රවේශ වනු ඇත.
මෙම පත්වීමත් සමඟ බර්න්හැම් වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට පත්වන 5 වැනි පුද්ගලයා මෙන්ම පසුගිය වසර 10 තුළ පත්වන 7 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ද ඉතිහාසයට එක්වේ.
වෙස්ට්මිනිස්ටර් වෙත නැවත පැමිණීම සහ බලය අත්පත් කර ගැනීම

ශ්‍රීමත් කියර් ස්ටාමර්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව කම්කරු පක්ෂය තුළ හටගත් දේශපාලන පරිවර්තනයත් සමඟ බර්න්හැම් ට මෙම අවස්ථාව හිමිවිය. පසුගිය සිකුරාදා (ජූලි 17) පැවැති කෙටි පක්ෂ නායකත්ව තරඟයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 379 දෙනෙකුගේ අතිමහත් බහුතර සහයෝගය ලබා ගනිමින් එකම අපේක්ෂකයා ලෙස ඔහු කම්කරු පක්ෂ නායකත්වයට පත් කෙරිණි.
බර්න්හැම් ට අග්‍රාමාත්‍ය ධූරය දක්වා පැමිණීමට තිබූ ප්‍රධානතම බාධාව ඉවත් වූයේ මේකර්ෆීල්ඩ් (Makerfield) අතුරු මැතිවරණය ජයග්‍රහණය කරමින් නැවත පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමඟය. එහිදී දෙවැනි ස්ථානයට පත් වූ Reform UK පක්ෂයෙන් එල්ල වූ දරුණු අභියෝගය ඡන්ද 9,000ක බහුතරයකින් පරාජය කිරීමට ඔහු සමත් විය. 2024 මහ මැතිවරණයේදී කම්කරු පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 45% සිට 55% දක්වා වර්ධනය කිරීමට සමත් වූ බර්න්හැම්, අද (සඳුදා) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නිල වශයෙන් දිවුරුම් දුන්නේය.
කැබිනට් අමාත්‍ය ධූරවල සිට ‘උතුරේ රජු’ දක්වා

1970 වසරේ ලිවර්පූල්හි උපත ලැබූ ඇන්ඩි බර්න්හැම්, බීබීසී රූපවාහිනී නාට්‍යයක් බලපෑමෙන් වයස අවුරුදු 14 දී කම්කරු පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු, පසුව ටෝනි බ්ලෙයාර් සහ ගෝර්ඩ්න් බ්‍රවුන් රජයන් යටතේ භාණ්ධාගාරයේ ප්‍රධාන ලේකම්, සංස්කෘතික ලේකම් සහ සෞඛ්‍ය ලේකම් වැනි කැබිනට් අමාත්‍ය ධූර ගණනාවක් හෙබවීය. විශේෂයෙන්ම 1989 හිල්ස්බරෝ ක්‍රීඩාංගණ ව්‍යසනය (Hillsborough disaster) පිළිබඳ දෙවැනි නිල පරීක්ෂණයක් දියත් කිරීමට ඔහු කැබිනට් මණ්ඩලය තුළ ප්‍රබල මැදිහත්වීමක් සිදු කළේය.
2010 සහ 2015 වසරවලදී කම්කරු පක්ෂ නායකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී එඩ් මිලිබෑන්ඩ් සහ ජෙරමි කෝබින් හමුවේ පරාජය ලැබූ බර්න්හැම්, 2017 වසරේදී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඉවත්ව ග්‍රේටර් මැන්චෙස්ටර් (Greater Manchester) කලාපයේ ප්‍රථම විධායක නගරාධිපතිවරයා ලෙස තේරී පත් විය.
නගරාධිපතිවරයා ලෙස කලාපීය බස් සේවා නැවත මහජන පාලනයට නතු කරමින් "Bee Network" ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතිය හඳුන්වා දීමට ඔහු කටයුතු කළේය.

කොවිඩ් වසංගත සමයේදී එවකට පැවැති කොන්සර්වේටිව් (Conservative) මධ්‍යම රජයේ ලොක්ඩවුන් සීමාවන්ට එරෙහිව එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඔහුව "උතුරේ රජු" (King of the North) ලෙස නම් කරනු ලැබීය.

කම්කරු පක්ෂයේ මධ්‍යස්ථ-දක්ෂිණාංශික (Blairite) පසුබිමකින් දේශපාලනයට පිවිසියද, පසුකාලීනව ජලය සහ බලශක්ති පද්ධතීන් ජනසතු කිරීමට (Nationalisation) සහය දක්වමින් ඔහුගේ දේශපාලන ස්ථාවරයන් වඩාත් වාමාංශික මුහුණුවරක් ගත්තේය. බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලියට එරෙහිව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු බවට පෙනී සිටි බර්න්හැම්, දිගුකාලීනව බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමය සමඟ බද්ධ විය යුතු බව විශ්වාස කරයි.
පසුගිය මැයි මාසයේ පැවැති ප්‍රාදේශීය මැතිවරණවලදී කම්කරු පක්ෂය යම් පසුබෑමකට ලක් වුවද මැන්චෙස්ටර් කලාපයේ බර්න්හැම් ලැබූ ඉහළ දේශපාලන ප්‍රගතිය හේතුවෙන් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ජෝෂ් සයිමන්ස් මන්ත්‍රීවරයා මේකර්ෆීල්ඩ් ආසනය ඔහු වෙනුවෙන් නිදහස් කළේය. ඒ අනුව නැවත සක්‍රීය පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි ඇන්ඩි බර්න්හැම් බ්‍රිතාන්‍යයේ විධායකයේ ඉහළම ධූරය වන අග්‍රාමාත්‍ය ධූරයට මෙලෙස පත්ව සිටී.




