කොටින්ම ඔහුගේ මුස්ලිම් විරෝධී, හින්දු ජාතිවාදී ප්‍රතිපත්ති මම පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.
විශේෂයෙන්ම මෝදි කියන්නේ අරුන්දතී රෝයි වගේ ලක්ෂ සංඛ්‍යාත මානවවාදී ප්‍රගතිශීලී ඉන්දියානුවන්ගේ දැඩි විරෝධයට ලක්වෙච්ච දේශපාලකයෙක්.

ඒත් ඔහු තමන්ගේ නායකයා කියන එක ඉන්දියාවේ ජනතාවගේ තේරීම. ඉන්දියාවේ ජනතාව රටේ අගමැති පදවියට රහුල් ගාන්ධි, ප්‍රියංකා ගාන්ධි නැත්නම් වෙන ඕනෑම නායකයෙක් තෝරා ගත්තත් - අපි කැමති වුණත් අකමැති වුණත් - අසල්වැසි රටක් හැටියට අපිට ඒ තේරීම පිළිගන්න සිද්ද වෙනවා.
ඒ නිසා නරේන්ද්‍ර මෝදි කියන්නේ අපේ කලාපයේ බලගතුම - ඒ වගේම අපේ අසල්වැසි - රාජ්‍යයේ ජනතාව අතර අතිශය ජනප්‍රිය රාජ්‍ය නායකයා.
ඉතින් ඔහු සාදරයෙන් පිළිගැනීම හැර ලංකාවේ නායකයින්ට විකල්පයක් නෑ.
ඉන්දීය විරෝධය

ලංකාවේ දේශපාලන පක්ෂ ගත්තොත් මෑත ඉතිහාසයේ දැවැන්ත ඉන්දීය විරෝධයක් දක්වල තියෙන්නේ ජවිපෙ විතරක් නෙවෙයි.
කාලයක් ලංකාවේ ප්‍රධානම පක්ෂ දෙක විදියට තිබුණ එජාප සහ ශ්‍රීලනිප වගේම තවත් දේශපාලන පක්ෂත් වරින්වර මේ විරෝධයට එකතුවෙලා තියෙනව. ඒ වගේම ඒ පක්ෂ පසුකාලීනව ඒ ඉන්දීය විරෝධය අකුලාගෙනත් තියෙනව.
අනිත් අතට ජවිපෙ කියපු ඉන්දීය ව්‍යාප්තවාදය බොරුවකුත් නෙවෙයි. බූවල්ලෙක් වගේ කලාපය පුරා අඩු, දඩු විහිදුවගෙන සෘජුව හෝ වක්‍රව හැම රටක්ම පාලනය කිරීම තමා මොන ආණ්ඩුව තිබුණත් ඉන්දියාවේ ප්‍රතිපත්තිය. ප්‍රශ්නය තියෙන්නේ ඒ කතාව කොයි තරම් ඇත්ත වුණත් ගෝලීයකරණයත් එක්ක ලංකාව වගේ හාල්මැස්සෙකුට ඉන්දියාව වගේ මෝරෙක් එක්ක හැප්පෙන්න හිතන්නවත් පුලුවන්ද කියන එක.
ඒ නිසා ආරම්භයේ ඉඳලම දරුණු ඉන්දීය විරෝධයක් අරගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා ඉන්දියාවේ රාජ්‍ය නායකයා උණුසුම්ව පිළිඅරගෙන ද්විපාර්ශ්වික සම්බන්ධතා තරකරන්න කටයුතු කිරීම මම දකින්නේ බොහොම සාධනීය දෙයක් හැටියට. මොකද එහෙම නොකළා නම් සිද්දවෙන්න පුළුවන් දේ ගැන අපිට ඕන තරම් උදාහරණ තියෙනව. (ජේආර් ගේ ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියට ඉන්දියාවෙන් ලැබුණ ප්‍රතිචාරය එක උදාහරණයක් විතරයි)
ජවිපෙ පන්ති පහේදී මතුකරපු ඉන්දීය ව්‍යාප්තවාදයේ තර්ජනය කොයි තරම් ඇත්තක් වුණත් බලගතුම අසල්වැසි රටත් එක්ක හැප්පෙන්න ගිහින් කළු ගලේ ඔලුව ගහගන්න රාජ්‍ය නායකත්වයට පත්වුණ ජවිපෙ වත්මන් නායකයට හැකියාවක් නැහැ. ඒ නිසා මම කියන්නේ ජනාධිපති අනුර, මෝදි ගේ සංචාරයේ දී දැක්වුවේ බොහොම පරිණත රාජ්‍යතාන්ත්‍රිකභාවයක් කියල. ඒ වගේම pragmatist approach එකක්.
හැබැයි එහෙම කියල ඉන්දියාවේ යටත් විජිතයක් වගේ ඉන්දියාවෙ වාසියට ගේන හැම දෙයක්ම ද්විපාර්ශ්වික ගිවිසුම්වලට ඇතුළත් කළ යුතුත් නැහැ. එතෙන්දි ලංකාවේ interests සහ ස්වෛරීභාවය රැකගෙන ඒ ගිවිසුම්වලට එළඹෙන්න ආණ්ඩුවට කශේරුකාවක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මහ මැතිවරණයෙදි ජනතාව අනුරට ඒ හයිය දීල තියෙනව.
Persona Non Grata
ඇත්තටම මේ විදියේ යූ ටර්න් (strategical shifts) මීට කලින් ඉන්දියාවත් අරගෙන තියෙනව, බටහිර රටවලුත් අරගෙන තියෙනව.

ගුජරාටයේ මුස්ලිම් සංහාරයෙන් පස්සේ එල්ලවුණ චෝදනා නිසා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් 2005 දී නරේන්ද්‍ර මෝදිට ඒ රටවල් තහනම් කළා (persona non grata). නමුත් මෝදි මීළඟ අගමැති වෙන්න නියමිත බව තේරුම් ගත්තම බටහිර රටවල් 2014 දී ඒ තහනම් ඉවත්කරලා බොහොම උණුසුම් විදියට ඔහු පිළිගත්තා.
කාලයක් ප්‍රසිද්ධියේ සමිප සම්බන්ධයක් නොතිබුණ ජවිපෙ එක්ක සම්බන්ධතා තර කර ගන්න මුලින්ම ප්‍රසිද්ධ ආරාධනාව ආවේ ඉන්දියාවෙන්. (රහසිගතව සම්බන්ධතා තිබුණ ද කියල මම දන්නේ නැහැ.) ඒ වෙනකොට මන්ත්‍රීවරු තුන් දෙනෙක් විතරක් හිටපු පක්ෂයක නායකයට ඉන්දියාව නිල ආරාධනයක් කළේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ. ඒ, අනුර ලංකාවේ මීළඟ ජනපති වෙනවා කියල ඉන්දියාව විශ්වාස කළ නිසා.

මෝදි ගේ සංචාරයේදී අත්සන් කරපු ගිවිසුම්වල අන්තර්ගතය මම තවමත් දන්නේ නැහැ. නමුත් ඒ අන්තර්ගතය දැනගන්න මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තියෙනව විතරක් නෙවෙයි ඒ ගිවිසුම් ලංකාවට හානිකර නම් ඒ ගැන විරෝධය දක්වන්නත් පුරවැසියන්ට අයිතියක් තියෙනව. ඒ වගේම මේ ගිවිසුම්වල අන්තර්ගතය රහසිගතව තියාගන්නේ නැතුව ප්‍රසිද්ධ කිරීම ආණ්ඩුවේ වගකීමක්.
හොරෙන් ගිවිසුම් ගැහුවත්, නැතත් මෝදි ට පෙසපේ කරපු හූ සංග්‍රහය නම් මම කොහෙත්තම අනුමත කරන්නේ නැහැ.
රුසියානු - යුක්රේන ගැටුම

ලංකාවයි ඉන්දියාවයි අතර තියන සම්බන්ධය ගොඩක් වෙලාවට මම සංසන්දනය කරන්නේ රුසියාවයි, යුක්‍රේනයයි එක්ක.
යුක්‍රේනය කියන්නේ ස්වාධීන රාජ්‍යයක්. ඒ නිසා තමන්ගේ දේශීය, විදේශීය ප්‍රතිපත්ති නිදහසේ සම්පාදනය කරගන්න යුක්‍රේනයට අනුල්ලංඝනීය අයිතියක් තියෙනව. theoritically යුක්‍රේනය ඒ ගැන වෙන කාගෙන්වත් අහන්න අවශ්‍ය නැහැ. නමුත් ප්‍රායෝගිකව ගත්තොත් ඇත්තටම යුක්රේනයට එහෙම අයිතියක් තියෙනවද?
පහුගිය දශක ගණනාව තිස්සේ ලංකාව ඉන්දියාවයි චීනයයි අතරේ පාපන්දුවක් බවට පත්වෙලා තිබුණ වගේම යුක්‍රේනය බටහිර රටවලුයි රුසියාවයි අතරේ ෆුට්බෝල් එකක් වෙලා තිබුණ. ඒ ගේම් එකේ අන්තිම ප්‍රතිඵලය ව්ලදිමීර් පූතින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම. ඒක සම්පූර්ණ නීති විරෝධී ආක්‍රමණයක් වුණත්, අවුරුදු තුනකට පස්සේ අදත් යුක්‍රේනය යුද්ධයෙන් පීඩා විඳින්නේ වැරදි ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් හැටියට.
බලයට ආවට පස්සේ හරි අනුර ඇතුළු මාලිමාව පුහු ඉන්දීය විරෝධය පැත්තක තියල - යුක්‍රේනය වගේ වෙන්නේ නැතුව - රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි දැක්මක් ඇතුව කටයුතු කරනව දකින්න ලැබීම සතුටක්. නමුත් ඒකෙන් කියන්නේ මාලිමාව ආවට පස්සේ ලංකාවේ සියල්ල යහපත් කියල නම් නෙවෙයි.
පොලිස් ඝාතන

තව බොහෝ දේ කළ යුතුව තියෙනව වගේම තව බොහෝ දේ නිවැරදි විය යුතුවත් තියෙනව.
පොලිසියේ තිරිසන් වැඩවලට නැවතීමේ තිත තැබීම වගේම පොලිසිය මෙතෙක් කරපු අපරාධවලට දඩුවම් දීම ආණ්ඩුව වහාම කළ යුතුව තියන එක දෙයක්.
එතෙන්දි ජනාධිපති අනුර යි, ආනන්ද විජේපාලයි එකතුවෙලා තාජුදීන් ඝාතනය ගැන තොරතුරු වසං කරපු, ජවිපෙ තරුණයින්ට වධ දීම ගැන චෝදනා තියන රණවීර කියන විශ්‍රාමික අළුගෝසු පොලිස්කාරයෙක් තාමත් ඔඩොක්කුවේ තියාගෙන ඉඳීම අතිශය බරපතල ප්‍රශ්නයක්. මාලිමාව බලයට ආවට පස්සේ පොලිසියේ ඝාතන ගැන අනුර ඇතුළු මාලිමාව ආණ්ඩුවේ නිහඬ බව කන් බිහිරි කරවන තරම් දරුණුයි! (deafning silence)
ඒ වගේම ඉන්දියාව ගැන ගහපු යූ ටර්න් එකට සම්පූර්ණයෙන්ම එකඟ වුණත් ත්‍රස්ත විරෝධී පනත, Online Safety Act එක වගේ දේවල් ගැන ආණ්ඩුවේ යූ ටර්න් නම් කොහෙත්තම අනුමත කරන්නත් බැහැ. ඉන්දියාව ගැන යූ ටර්න් ලංකාවට යහපතක් වුණත් මේ වගේ යූ ටර්න් වලින් කරන්නේ ලංකාව ආයෙත් මහ ප්‍රපාතයකට ඇදල දැමීමක්.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 අප්‍රේල් 07



