BREAKING
Top Ad
ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා

උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

T

The Leader

April 30, 2023 • 3:52 AM

උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වසර දෙසීයකට පෙර, උපන් පොළොවෙන් උදුරා දැමුණු ඇය, නිදහසේ මුල් අදින්නට තෙතමනය ඇති පොළොවක් සොයමින් නොනිමි ගමනක යෙදුණාය.
  • ආන්තික ප්‍රජාවක්, පරපුරින් පරපුරට දරා එන අවිනිශ්චිතබව ගැන කියැවෙන මෙහි කතානායිකාව අපට හමුවන්නේ වව්නියාව, පුදියවේල සින්නකුලම් ගමෙනි.
  • සෑහෙන පැහැදිලි බවකින් සිංහල බසෙහි කථන හැකියාව ඇත්තීය.
  • තාත්තගෙ නම සවරිමුත්තු.”     “ඒ කාලේ” යැයි මේරි අම්මා කියන්නී 1970 දශකයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තැනෙක, මුල් තන්තුවකින් පොළොව ස්පර්ශ කරන විටම, යළිත් උදුරා වෙනත් දෙසකට වීසි කොට දැමුණේ වරක් දෙවරක් නොවේ. මේ, ‘මේරිඅම්මා’ නමින් පෙනී සිටින ‘මේරිඅම්මලාගේ’ කතාවයි.


ආන්තික ප්‍රජාවක්, පරපුරින් පරපුරට දරා එන අවිනිශ්චිතබව ගැන කියැවෙන මෙහි කතානායිකාව අපට හමුවන්නේ වව්නියාව, පුදියවේල සින්නකුලම් ගමෙනි. ඈ, නමින් ‘මේරිඅම්මා’ය. මේ වන විට දිවිසැරියේ අසූ වියට ළංව සිටින්නීය. සංක්‍රමණික ඉන්දියානු කම්කරු සම්භවයකින් පැවත එන සාමාජිකාවකි. සෑහෙන පැහැදිලි බවකින් සිංහල බසෙහි කථන හැකියාව ඇත්තීය.

“ඒ කාලෙ අපි හිටියෙ කළුතර-පලාතොට ‘මවුන්ට්හිල්’ රබර් වත්තේ. මම කිරි කැපුවා. මගෙ මහත්තයා කංකානම. දරුවො පස්දෙනයි. මගෙ තාත්ත දෙමළ වුණාට අම්ම සිංහල. අම්මගෙ නම බස්නායක මුදියන්සේලාගේ මුතු මැණිකා. තාත්තගෙ නම සවරිමුත්තු.”
 
 
“ඒ කාලේ” යැයි මේරි අම්මා කියන්නී 1970 දශකයයි. සිංහල-දෙමළ සම්මිශ්‍රණයක් ඇති බැවින් මේ කතාව අපූරු බව ඔබ සිතනු ඇත. එය ලස්සන මුසුවීමකි. අපට ද සිතේ. එහෙත් ප්‍රතිඵලය එසේ නොවේ. ඇත්තෙන්ම ඔවුන් යම් සහන් එළියක් දකිමින් හිඳ ඇත. එක් නිශ්චිත බිම්කඩෙක තහවුරු වෙමින් සිට ඇත. එහෙත් නොසිතූ, ස්වභාවික නොවන, ඉහළ තැනෙකින් ඇවිළවූ  මහා ගින්නක වින්දිතයින් බවට ඔව්හු පත් වූහ. ඒ ගින්න නම් හැත්තෑව දශකයේ දකුණේ හටගත්, දෙමළ විරෝධී කලබල රැල්ලයි. පසු කලෙක හටගත් 1983 කළු ජූලියේ තරමටම නොවුණත්, දෙමළ ජනතාවගේ දේපළ විනාශ කරමින්, දෙමළ විරෝධී වෛරී මානසිකත්වයක් ඒ වන විට දකුණ තුළ මෝදු වෙමින් තිබිණ. ඉන් මේරි අම්මලා ශාරීරික පීඩාවක් නොලැබූ නමුත්, මානසික තුවාලයක වේදනාව ලද්දෝය. යම් බියක පීඩිතයෝ වූහ.  මේ නිසා දකුණේ වතු ආශ්‍රිත දෙමළ ජනයා, ඔවුනගේ නෑදෑ හිතවතුන් වෙසෙන වව්නියාව ආදී පෙදෙස්වලට සංක්‍රමණය වීම ප්‍රවණතාවක් විය.
kajhahs
 
පළමු මුල් ඉදිරීම


“ඔය පැත්තෙ ඉන්න එපා. කරදර විඳින්න වෙයි. මෙහෙ එන්න”

ඒ වන විට වව්නියාව රම්පෙකුලමේ පදිංචිව හුන්, මේරිඅම්මාගේ සොහොයුරා ඔවුනට කියන්නේ එහෙයිනි.
 
 
වව්නියාවේ රබර් වතු නැත. ඉතින් මේරිඅම්මාගේ හා සැමියාගේ සුපුරුදු ජීවිකාව ද නැත. ඒ මූල මණ්ඩල ගැලැවුණ කල, නුපුරුදු බිමෙක ඔවුන් පැළවෙන්නේ කෙසේද? සුපුරුදු ජීවිකා වෘත්තියෙන් මිදුණු නමුත් ඔව්හු සංක්‍රමණය වූ වව්නියා පොළොව මත පසුව ගොවිතැනින් දිවි ගෙවීම ඇරඹූහ.
 
 
“ටික කාලයක් අපි ඇවිත් මල්ලිගෙ ගෙදර පදිංචිවෙලා හිටියා. ඒ වගේ තවත් පැතිවල වතුවල හිටපු අය මේ පැත්තට ඇවිත් හිටියා.  පස්සෙ අපි කැලේ එළි කරලා මෙතන පදිංචි වුණා. උඳු, කව්පි, රටකජු, පොඩ්ඩ පොඩ්ඩ වැව්වා මගෙ මහත්තයත් එක්ක. ආසයිනෙ ඉතින් අපි. ඔය අතරෙ මහත්තය මැරුණා. මට චණ්ඩිකං කොරන්ඩ බැරි වුණා ඒ හන්දා”

එසේ කියන අතරේ මේරි අම්මාගේ වයස්ගත මුහුණේ තරුණු හිනාවක් ඇඳී මැකෙයි. එසේ කීව ද ඈ සැමියාගේ මරණයෙන් පසු ජීවිතය අත් නොහරින්නීය. පොළොව සමග දිරියෙන් පොර බදන්නීය. යම් පමණකට අතනොපා ගලා යන දිවියක් අත්-පත් කරගන්නීය.


යළි අලුත් පොළොවක..


“පස්සෙ මට එළුවො අනූඑකක් හිටියා. දුවගෙ මංගල්ලෙ ගත්තෙ උන් විකුණලා, ඒ කාලෙ එළුවෙක් රුපියල් අසූවක් විතර ඇති. දැං වාගෙ හැම දේම ගණං නෑ. මගුලක් ගන්න රුපියල් දාහක් විතර ඇති.” ඈ කියන්නීය.

“මට හරක් එකොළහක් හිටියා” එසේ කියන්නී පසෙකින් සිටි දියණියයි. එහෙත් ඇගේ ගව සම්පතට අයත්වන්නේ වෙනත් ඉරණමකි. එය තරමක් පසුවට තබා, කළුතරින් වව්නියාවට සංක්‍රමණය වූ මේරි අම්මාගේ වැඩිමහල් පුත්‍රයා වන බස්තියන් දෙසට හැරෙමු:

කළුතරදී සිංහල සමාජය හා සහම්බන්ධව හුන් බැවින් බස්තියන් සිංහල කතාකිරීමෙහිද, කියවීමෙහි හා ලිවීමෙහි සමතෙකුව සිටියේය. එහෙත් ඒ හැකියාව වව්නියාවේ ළමයින් අතර දී ‘සිංහලයා’ යැයි කොන් කිරීමට ලක්වීමේ නිමිත්තක් විය. ඉන් ලද කලකිරීම නිසා ඉගෙනීම අතහැර දැමූ ඔහු මේසන් වැඩට එකතු විය. මේ වන විට යාපනයේ දිවි ගෙවයි.

කෙසේ හෝ ඔවුන්ගේ දිවියට පිළිවෙළක් හැදුණා නොවේද, දිවිය දැන් යම් ගලා යෑමක් සහිත නොවේදැයි දැන් ඔබ සිතනු ඇත. ඇත්තය. සැබවින්ම කළුතර සිට පැමිණි පසු මේරිඅම්මලා ගොවිතැනින් දරුවන්ගේ කටයුතුද කරමින්, දරුවන්ද විවාහ වෙමින් නොවිධිමත් ආර්ථික තත්ත්වයක නමුත් යම් ජීවන රිද්මයකට අනුගත වූ අයුරක් මේ වන විට තීරණය වී තිබිණ. දුප්පත් පොහොසත්කම් කෙලෙස වුවද ඒ ජීවිත දළු ලමින්, මල් පිපෙමින් තිබිණ. ගීයක කියැවෙන්නා සේ “පුංචි පැලත් මේ කාලේ මාලිගා - රජ මාලිගා” සේ විය.


දෙවැනි මුල් ඉදිරීම
 
 
එහෙත් වව්නියා දිවියට අකුණු පිපුරුණේ නොසිතූ කලෙකය. උතුරේ යුද්ධය ඇවිලිණ. ඒ ගැටුම් අතරේ මේරිඅම්මලාගේ ජීවින රිද්මය යළි දෙදරිණ. කළ වගාබිම්, ඇති කළ සතා-සතුන්, පදිංචිව හුන් නිවෙස් සියල්ල අතැර යන්නට බල කෙරිණ. හාත්පස වෙඩිහඬ ඇසේ. අහසින් බෝම්බ වැටේ. එල්ටීටීඊ කේඩරුන් යැයි සිතා, නිරන්තරයෙන් ශ්‍රී ලංකා හමුදාවෙන් ලුහුබැඳේ. මේරි අම්මාගේ දියණිය කී පරිදි, යුද හමුදාවේ වැරදි වැටහීම් සහිත පහරදීම් ඉලක්කයකින් ඈ බේරී ඇත්තේ අනූනවයෙනි. කලින් සඳහන් කළ පරිදි ඇගේ ගවයින් එකොළොස් දෙනාගේ ඉරණම මතු නොව නිවෙස, වගාබිම් ඇතුළු ඒ වන විට යහපත් ලෙස උපයා සපයා ගත් සියලු දෑ හැරපියා, හැඳිවත පමණක් ඇතිව, මේරිඅම්මලාට සිදුවන්නේ මඩු පෙදෙසේ අවතැන් කඳවුරක ගාල් වන්නටය.
 
 
“අපි කියන්ඩ බැරි තරම් දුක් වින්ද අප්පා..!”


එකී සමය පිළිබඳ මතක ඇවිස්සුණු කල මේරි අම්මාගේ දෑත අහසට එසවුණේ ආයාසයෙන් නොවේ. මිනිස් සිරුර හා මනස ප්‍රබල එක්තැන් බවකින් නිරායාස ප්‍රතිචාර දැක්වීමක් ලෙසිනි. ඒ වචන කිහිපය තුළ බොහෝ දිගු කතා සංක්ෂිප්තව ඇතැයි සිතේ.

ඉක්බිති හන්දියක් හන්දියක් ගානේ ඊනියා දේශප්‍රේමීන් කිරිබත් කෑ නන්දිකඩාල් උත්කර්ෂ මොහොතින් පසු කලෙක, මේරි අම්මලා දිවි ගෙවූ පුවරසන්කුලමේ සිය බිම් පෙදෙස් සොයා යළි පැමිණියෝය. එහෙත් ඔවුන් නෙතට හමුවනුයේ සුපුරුදු අතීත දිවිය නොවේ: භූමිය පමණි. කිසිවක් නැත. අන් කිසිවක්ම නැත. මඩු කරා යත්දී හැර ගිය, මේරිඅම්මාගේ දියණියගේ පශු සම්පත, ගවයින් එකොළොස්දෙනා? නැත! මේරි අම්මලා තනා ගත් නිවෙස? එයද නැත! වගාවෝ..? ඒ කිසිත් නැත!


යළිත් මුල සිට


“ආපහු එද්දි, අපිට කිසිම දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. ආණ්ඩුවෙන් කියල කිසිම දෙයක් හම්බවුණෙත් නෑ. පොඩි සීට් එකක් දුන්න කවුරු හරි. (ඈ සීට් එකක් ලෙස හඳුන්වන්නේ කූඩාරම් ටෙන්ට් රෙද්දකි). ලණු ඇදල ඒක හදාගෙන ඇතුළෙ හිටියා ඉතිං අපි”

එසේ රාජ්‍ය නොවන සංවිධානයකින් ප්‍රදානය කළ තාවකාලික කූඩාරමක් තුළ හිඳ මේරි අම්මලා පශ්චාත් යුද දිවිය අරඹන්නෝය. බියකරුම කරුණ එය නොවේ. අද දවසේ මේරිඅම්මා දකින සිහිනය තුළ එන බලාපොරොත්තුව ඉටු වීමේ අවිනිශ්චිත බවයි.
 
 
“අපිට මේ ඉඩම්වල අයිතිය ලැබෙන ඔප්පු නෑ. අපිට නෙවෙයි අපේ දරුවො, දරුවන්ගේ දරුවො, ඒ ගොල්ලො වෙනුවෙන් අපි ඉල්ලන දෙයක් ඒක. ඡන්දෙ ඉල්ලන්න එන අය හැමෝම දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඒ වුණාට තවම නම් අපිට හම්බ වෙලා නෑ”
 
 
අද මේරිඅම්මාගේ කතාව නතර වී ඇත්තේ එතැනය. ජීවත්වන බිම්කඩට හිමිකම් කිවහැකි නීතිමය ලියැවිල්ලක් නැති තැන, යම් විටෙක බලධාරීන් ඔවුන්ව පිටමං කළ හොත් යා යුතු වනු ඇත. අප හා සුහදව සිනාසෙමින් සිය දිවි පවත අවලෝකනය කළද ඇගේ දෑසෙහි ඇඳී ඇත්තේ හෙට දවස පිළිබඳ ඒ අවිනිශ්චිත බවය.
 
01. Doll

මේ කතා බහ නිම කොට අප ආපසු එන්නට සැරැසෙන ඇසිල්ලේ, මේරිඅම්මාගේ කුඩා මිනිබිරිය බෝනික්කියක හා සෙල්ලම් කරන අන්දම නෙත ගැටිණ. මම ඇගේ ඡායාරූපයක් ගනු පිණිස දුරකථනය මෑනුවෙමි. කෝල බවක් පෑ දැරිය සැණෙකින් බෝනික්කිය දමා මව සමීපයට දිව ගියාය. තනි වූ දුප්පත් බෝනික්කිය පමණක් කැමරාවේ සටහන් විය. ඒ මෙලන්කෝලික සේයාරුව, මේරිඅම්මා සහ ඇගේ දරු පරපුරේ හෙට දවසේ නොපහන් බව සංකේතීයව පවසනවා වැන්න.

 

wikum jithendra(විකුම් ජිතේන්ද්‍ර)
නිදහස් මාධ්‍යවේදී
jithendradesign@gmail.com


(උපදේශනය සහ අනුග්‍රාහක දායකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි.)

 
'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :

මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)

ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)


JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...