BREAKING
Top Ad
ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා

සංහිඳියාවේ අත්වලින් ගිලිහුණු උතුරේ ගෘහ මූලික කාන්තාවෝ -(මෙලනි මානෙල් පෙරේරා)

T

The Leader

May 14, 2023 • 1:08 AM

සංහිඳියාවේ අත්වලින් ගිලිහුණු උතුරේ ගෘහ මූලික කාන්තාවෝ -(මෙලනි මානෙල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එළඹෙන මැයි මස 19 වෙනිදාට, දශක තුනක් පුරා ශ්‍රී ලංකාව තුළ පැවති යුද්ධය නිමා වී වසර 14ක් සපිරේ.
  •   ගැහැණු පිරිමි භේදයකින් තොරව 65,000ක් පමණ දෙනා අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාවලට එක් වන අතර, තවත් දස දහස් ගණනක් පවුල් සිය පාරම්පරික ගේදොර ඉඩම්වලින් මහමගට ඇද දමා 'අවතැන්වූවන්' යන ලේබලය යටතට වැටුණි.
  • ඇතැමෙක් අදටත් යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 'අවතැන් කඳවුරුවල' සිය ජීවිත ගෙවා දමන්නේ දරුණු කලකිරීම, ගැඹුරු විඩාව සහ දරාගත නොහැකි අපේක්‍ෂාභංගත්වයෙනි.
  • හිස්බුල්ලා මාධ්‍යයට ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එහෙත්, යුද්ධය විසින් උපරිම දඬුවම් ලබාදෙමින් ගෘහමූලික කාන්තාවන් බවට පත් කළ, උතුරේ සහ නැගෙනහිර දෙමළ හා සිංහල මව්වරුන්ගේ ජීවිත තවමත් ගෙවෙන්නේ කම්පනය, දරිද්‍රතාව, සමාජ ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික හා ආගමික කෙනෙහිලිකම් සහ මානසික ආතතීන් අතර සිර වෙමිනි. වසර ගණනාවක ප්‍රයත්නයකින් පසුව පැමිණි සංක්‍රාන්තික යුක්තිය වෙතින්ද තාවකාලික පිළිසරණ මිස ඔවුන් වෙත ඉටුවුණු තිරසර යුක්තියක් හෝ සාධාරණයක් නොමැත. 

sri lanka 1200x550

 

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, 2009 මැයි 19 වන දා අවසන් කළ බවට ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකාවේ දිගුකාලීන සන්නද්ධ ගැටුමේ අවසාන මාසවලදී 40,000ත් 70,000ත් අතර උතුරු නැගෙනහිර සිවිල් වැසියන් සංඛ්‍යාවක් මිය ගිය අතර, තවත් 150,000ක් පමණ වැසියන්, 30 වසරක් පුරා ඇදුණු රජයේ සහ බෙදුම්වාදී දෙමළ කොටි සංවිධානයේ කුරිරුකම්වලින් ජීවිතයට සමු දී ඇත.

 

ගැහැණු පිරිමි භේදයකින් තොරව 65,000ක් පමණ දෙනා අතුරුදහන්වූවන්ගේ සංඛ්‍යාවලට එක් වන අතර, තවත් දස දහස් ගණනක් පවුල් සිය පාරම්පරික ගේදොර ඉඩම්වලින් මහමගට ඇද දමා 'අවතැන්වූවන්' යන ලේබලය යටතට වැටුණි. ඇතැමෙක් අදටත් යාපනය අර්ධද්වීපයේ ස්ථාපිත 'අවතැන් කඳවුරුවල' සිය ජීවිත ගෙවා දමන්නේ දරුණු කලකිරීම, ගැඹුරු විඩාව සහ දරාගත නොහැකි අපේක්‍ෂාභංගත්වයෙනි.

Sabhapathi IDP Camp

අදටත් පවතින ''සභාපති'' අවතැන් කඳවුර

 

උතුරේ හා නැගෙනහිර අසූනව දහසක්

hisbullaඑම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාපාරම්පරික රැකියා බිම්, ගෙවල් දොරවල් උන්හිටිතැන් සියල්ලද අහිමිව, තම ස්වාමිපුරුෂයා, පියා හෝ සහෝදරයා ජීවිතක්‍ෂයට පත් ව, යුද්ධයේ උපරිම දඬුවමට යටත් වෙමින් 'ගෘහ මූලික කාන්තාවන්' යන මුද්‍රාව හිමි කරගත්, කාන්තාවන් 89,000ක ලැයිස්තුවක් තමන් සතු බව එවකට කාන්තා කටයුතු හා ළමා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මාධ්‍යයට ප්‍රකාශ කළේය. (2010 සැප්තැම්බර් 29)

එම පිරිසෙන් කාන්තාවන් 40,000ක් උතුරු පළාතෙන්ද 49,000ක් නැගෙනහිර පළාතෙන්ද වූ අතර, වයස අවුරුදු 40ට අඩු 12,000ක් සහ අවම වශයෙන් දරුවන් තිදෙනෙකු සිටි කාන්තාවන් 8,000ක් වූ බව එම සංඛ්‍යාලේඛන සඳහන් කළේය.

එහෙත් යාවත්කාලීන නොවන, 2020 වසරේදී ගණනය කළ උතුරු නැගෙනහිර ප්‍රා.ලේ. කාර්යාල දත්තවලට අනුව උතුරේ ගෘහමූලික කාන්තාවන් 67,000ක්ද, නැගෙනහිර 127,000ක්ද වෙති. (යාපනය 35,000ක්, මන්නාරම 5,000ක්, වව්නියාව 14,000ක්, මුලතිව් 6,000ක්, කිළිනොච්වි 7,000ක්, මඩකළපුව 51,000ක්, අම්පාර 45,000ක් සහ ත්‍රිකුණාමලය 28,000ක් වශයෙනි- දත්ත ලබාගැනීම 2023 මැයි 07)

 

2015 දී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට එවක පැවති ආණ්ඩුව දුන් නිර්භීත පොරොන්දු වන සත්‍ය සෙවීමේ කොමිසමක්, විශේෂ අධිකරණයක් සහ අතුරුදහන්වූවන් පිළිබඳ විමර්ශනය කිරීමට සහ වන්දි ලබාදීමට කාර්යාලයක් පිහිටුවීම ඇතුළුව ගැටුම්වලින් පීඩාවට පත්වූ සියලු දෙනාගේ හදිසි ආර්ථීක හා මනෝ සමාජීය අවශ්‍යතා ඉටුකරලීමට පවා රජය මේ වනතුරු අසමත් වී ඇත.

 

ජීවත්වීමේ අභියෝගය

Sabhapathi camp vi

''සභාපති'' අවතැන් කඳවුර

 

මන්නාරම, මුලතිව්, කිලිනොච්චි, ත්‍රිකුණාමලය සහ කල්මුණේ යන ප්‍රදේශවල ජීවත්වන දෙමළ, සිංහල සහ මුස්ලිම් ගෘහමූලික කාන්තාවන් පනස් දෙනෙකු සමග පැවැත්වූ සංවාදයේදී රජයෙන් ලැබෙන සහන පිළිබඳ අප ඉදිරිපත් කළ ප්‍රශ්නයට ඔවුන්ගේ පිළිතුර වූයේ, සමෘද්ධි ආධාරය මාසිකව ලැබෙන නමුත් එය අතීතයේ මෙන්ම වර්තමානයේද පවතින භාණ්ඩ මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිසිසේත් ප්‍රමාණවත් නොමැති බවයි. කෝවිඩ් වසංගතය හමුවේ සහ වෙනත් ව්‍යසන අවස්ථාවකදී ලබාදෙන සහන මල්ලක් හැරුණු කොට නිත්‍ය වශයෙන් රජයෙන් ලබාදෙන වෙනත් කිසිදු අතදීමක් හෝ දිරිදීමක් නොමැති බවයි.

එදා ජීවනෝපාය සඳහා යැයි හරකෙකු, එළුවෙකු, කුකුළන් කිහිපදෙනෙකු ලබාදුන්නද එම ජීවනෝපායන් සාර්ථක කර ගැනීමට සමත් වී ඇත්තේ කිහිපදෙනෙකු පමණි. ඇතැමෙක් පැවසුවේ කුඩා දරුවන් කිහිප දෙනෙකු සමග හිස තබාගැනීමටවත් නිසි තැනක් නොමැතිව දිවි ගෙවීමට සිදුවීම තුළ එකී ජීවනෝපායන් අසාර්ථක වූ බවයි. විශාල මානසීක කම්පනයක් සමඟ පොරබදමින් ජීවිත ආරම්භ කළ ඔවුනට ඊට වඩා මානුෂීය ආකාරයේ අත්වැලක් සැපයි යුතුව තිබුණු බව ඔවුන් බොහෝ දෙනෙකුගේ ආකල්පයයි.

රාජ්‍ය නොවන සංවිධාන, දේවස්ථාන හෝ ඒ හා සම්බන්ධ ආයතනවලින් ලබාදූන් සහ දැනටත් ඉඳහිට හෝ ලබාදෙන ආර්ථීක අතදීම් යාන්තම් හෝ හිස ඔසවාගෙන ජීවත්වීමට උපකාරී වූ බවත්, පැවති හෝ පවතින ආණ්ඩුවකින් නිසි ආකාරයේ ආර්ථීක වැඩපිළිවෙළක් හෝ අධ්‍යාපනය හදාරන දරුවන් වෙත තිරසර අතදීමක් සිදු නොවූ බවත් ඔවුහු පැවසූහ.

 

එදා යුද්ධය විසින් සිය සැමියා පියා හෝ සහෝදරයා පැහැරගැනීම නිසා ගෘහමූලිකත්වයට පත් ඇතැම් කාන්තාවෝ අද වයෝවෘද්ධ තත්ත්වයෙන් පසුවෙති. ඇතැමෙක් මිය ගොසිනි. ඇතැමෙක් ආබාධිත තත්ත්වයටද මානසික රෝගී තත්ත්වයටද බවට පත්ව සිටිති. තවත් අය දරුවන් මෙන්ම මුණුපුරු මිනිපිරියන්ද රකින්නට දැවැන්ත ජීවිත සටනක යෙදෙන, වයසට වඩා දුර්වල මානසික හා ශාරරීක ආතතියකින් පෙළෙන්නියන්ය. “බලහත්කාරයෙන් අපේ කරමත පැටවුණු මේ පීඩාවෙන් විනාශයට පත් අපට සැනසීමක් ලබන්නේ කවදාදැයි අපි දන්නේ නැහැ” යන්න ගෘහමූලික කාන්තාවන් බොහෝ දෙනෙකුගේ හිත අද්දර මුද්‍රණය වී ඇත. 

 

රීටා නම් සයදරු මව

Vincent De Paul Anne Rita

වින්සන් ද පෝල් ඈන් රීටා

පූනගරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වලෛයිප්පාඩූ ග්‍රාමයේ ජීවත්වන වයස අවුරුදු 49ක් වන වින්සන් ද පෝල් ඈන් රීටා දරුවන් හයදෙනෙකුගේ මවකි. ඇය ගෘහමූලික කාන්තාවක් බවට පත් වන්නේ, 2008 සිට බොහෝවර අවතැන්වීමෙන් පසුව, 2009 වසරේ පෙබරවාරි 02 මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඔවුන් ජීවත් වෙමින් සිටි බංකරය තුළටම එල්ල වුණු ෂෙල් ප්‍රහාරයක් හේතුවෙනි. වේදනා පිරි දැඩි තුවාල සමඟින් රෝහල්ගත කළ සැමියා ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව පෙබරවාරි 05 වෙනිදා දෑස් පියාගෙන ඇති අතර, ගෙයක් දොරක් හිමිව සිටියද ඔවුන්ගේ නොවන යුද්ධයක් නිසා උපන් ගෙදර අහිමි වූ ඇයට, සිය සැමියාගේ නිසල දේහය රෝහල භාරයේ මිහිදන් කරන්නට සිදු විය. 

අනතුරුව, සිය කුඩා දරුවන් සය දෙනා සමග පුදුමාතලන් හරහා රැකවරණ පතා ඉදිරියට යන ගමනේදී ඒ ගමන් කළ පිරිසට එල්ල වූ වෙඩි ප්‍රාහාරවලින් ඇයගේ පපු ප්‍රදේශයටද තුවාල සිදුව තිබුණි.

පසුව ආනන්ද කුමාරස්වාමි කඳවුරේ ජීවත්වූ ඔවුන් 2009 දෙසැම්බර් 22 දා නැවතත් සිය වලෛයිපාඩු ගමට ගොස් බෝම්බ අවි ප්‍රහාරවලින් විනාශ වූ නිවසේ කූඩාරමක් අටවා ගෙන ජීවිත ආරම්භ කර ඇත. කතෝලික සභාවේ යාපනය කරිටාස් හියුඩෙක් ආයතනය විසින් තමන්ගේ නිවස මෙන්ම අන් අයගේ නිවාසද යළි ගොඩනගා දී තිබුණු අතර එවක පැවති ආණ්ඩුවෙන් ප්‍රා.ලේ. කාර්යාලය හරහා රුපියල් 35,000 බැගින් ජීවනාධාර ලබා දී තිබුණි. මුලදී වතාවන් කිහිපයක් මුදල් ආධාර සිදු කර තිබුණි.
 
 
කරිටාස් හියුඩෙක් ආයතනයෙන් නිවෙස මෙන්ම බෝට්ටුවක් හා ඇන්ජිමක්ද, සෝවා ආයාතනයෙන් එළුවන් සහ නැෆ්සෝ ආයතනයෙන් කරවල වෙළදාම සඳහා රුපියල් 25,000ක මුදල් ආධාරයක්ද ලද ඇය ඒවා සකසුරුවමින් මෙහෙයවා දරුවන් හයදෙනෙක් උස මහත් කළාය. එහෙත් වර්තමානයේදී ඇය මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ වත්මන් ආර්ථීක අර්බුදයක් සමඟ අධ්‍යාපනය හදාරන දරුවන් සිව්දෙනා නඩත්තු කිරිමයි. ඉඳහිට පාසැලෙන් ආධාර ලැබෙන මුත්, දහය වසර, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්තිවල අධ්‍යාපනය ලබන දරුවන් හතරදෙනා අධ්‍යාපනයෙන් එතෙර කර ගැනීම කිලිනොච්චියේ දිවි ගෙවන ගෘහමූලික ඈන් රීටාගේ අභියෝගයයි; එකම සිහිනයයි. 
 
 
නජීමාගේ කතාව
 
M.Najeema
එම්. නජීමා
 
 
නැගෙනහිර පළාතේ කල්මුණේ ජීවත්වන එම්. නජීමා (49) සිවිල් යුද්ධය නිසා ඉතාම අවාසනාවන්ත ඉරණමකට සිය ජීවිතය පූජා කළ කාන්තාවකි. නැගෙනහිර පළාත තුළ එල්ටීටීය සහ ඉන්දියන් හමුදාව අතර දරුණු සටන් ඇවිළ ගිය අවධියේදී එළුවන් විකිණීමට ගොස් ආපසු නොපැමිණි සිය පියාගේ අතුරුදහන් වීම අදටත් අභිරහසකි. සෙවීම නිෂ්ඵල වූ අතර ඇගේ පියාද අතුරුදහන්වූවන්ගේ නාම ලේඛනයට එක් වූ තවත් එක් පුද්ගලයකු පමණක් විය. පියාගේ අතුරුදහන්වීම දරාගත නොහැකිව දැඩි කම්පාවට පත් වූ නජීමාගේ මව දැඩිව රෝගාතුරව, පවුලේ දරුවන් හදාවඩා ගන්නට නොහැකිව මානසික රෝගියකු බවට පත්ව ඇත. නජීමාට පවුලේ බර කරට ගන්නට සිදු වූ අතර කාලයාගේ ඇවෑමෙන් මවද මියගිය පසුව, යුද්ධයේ අකාරුණික බලපෑම නිසා තමන්ට වඩා වසර 30කින් වැඩිමහල් පුද්ගලයෙක් සමග විවාහ වන්නට ඇයට සිදු විය.
 
 
එම විවාහය, පියාගේද අතුරුදහන් වීම තුළ මෙතෙක් තමන් වෙළාගෙන පැවති මානසික පීඩාව තව තවත් තීව්‍ර කළා මිස සිදු වූ සෙතක් නොමැති බව තවමත් තෙත් වන දෑස් ඇගේ හෘදසාක්‍ෂිය කියාපායි. ඔහුට දාව නජීමාට එක් දියණියක් සිටින අතර, ඇය ලබන වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටී. ඇගේ පාසැල් ගමන සරල සෞම්‍ය ගමනක් නොව දැඩි ආර්ථීක අපහසුතා මැද අසීරුවෙන් ඔසවාගෙන යන්නකි. නජීමාගේ මහළු සැමියා මෑතකදී මියගොස් ඇති අතර, ඇඳුම් මැසීමෙන් උපයාගන්නා සොච්චමින් දියණිය සමඟ දිවි ගැටගසා ගන්නීය.

කොවිඩ් වසංගතය සමයේදී ලද ආධාර හැරුණුකොට ඔවුන්ට වෙනත් යමක් ලැබී නැත. විටින් විට ලබාදෙන ආධාරවලට වඩා, අවම වශයෙන් ගෘහමූලික කාන්තාවන්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට ක්‍රමවත් වැඩපිළිවෙළක් ඉදිරිපත් වන්නේ නම් එය බොහෝ සේ වටින බව නජීමාගේ අදහසයි.  

නිහඬවීමට බල කිරීම!

සිය අනන්‍යතාවය පළනොකර සිටින්නැයි ඉල්ලාසිටි, නැගෙනහිර පළාතේ අසාධාරණයට පත් කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධානයක උප සභාපතිනිය කියා සිටියේ මුස්ලිම් ආගම ප්‍රමුඛව සිය ජන සමාජය තුළ ඇති ආකල්ප මත, ගෘහමූලික බවට පත් මුස්ලිම් කාන්තාවන්ගේ පීඩනය, දරිද්‍රතාව හා ඔවුන් මුහුණදෙන අසාධාරණයන් පිළිබඳව සාකච්ඡා කරන්නට හෝ විසඳුම් සඳහා බලපෑමක් කරන්නට එකී කාන්තාවන්ට සමාජමය අවකාශයක් සැලසී නොමැති බවයි. 
 
එමෙන්ම ඔවුන්ගේ පවුල්වල පුද්ගලයින් විසින්ද මෙවැනි ප්‍රශ්න පසුපස හඹා යෑමට වඩා නිශ්ශබ්දව දෙවන විවාහයක් සිදුකර ගැනීමට බලපෑම් කරනු ලබන බව‍ත් ඔවුන්ගේ සමාජය තුළ මෙවැනි අසාධාරණයකට, කණ්ඩායමක් වශයෙන් ඒකරාශීව කටයුතු කළ යුතු යැයි පෙළඹුමක් නොතිබුණු බවත් ඇය පැවසුවාය.
 
 
අතුරුදහන්වූවන් සොයන්නට යෑමේදී ජීවත්ව සිටින අයටද බලපෑම් එල්ලවේය යන ආකල්පය මත හැකිතාක් එවැනි අවස්ථාවලින් ඉවත්ව සිටීමට ඔවුන් හුරුව ඇත.
 
 
කාර්මලිට්ට්‍රා- නොනිමි ගිනි මැද
 
A. Carmalittra
අරුමනායගම් කාර්මලිට්ට්‍රා
 
වර්තමානයේදී මන්නාරමේ ජීවත්වන අරුමනායගම් කාර්මලිට්ට්‍රා (53) දරුවන් 05දෙනෙකුගේ මවකි. යුද්ධයෙහි ප්‍රතිඵලයක් ලෙස ඇයට ස්වාමිපුරුෂයාත් එක් පිරිමි දරුවෙකුත් අහිමි වී ඇත. යුද්ධය පැවති සමයේදී පිටස්තර සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වීමත්, සෞඛ්‍ය සේවා හා රෝහල් පද්ධති අකර්මණ්‍ය වීමත් හේතුවෙන් ගුරු සේවයෙහි නිරතව සිටි කාර්මලිට්ට්‍රාගේ සැමියා, උණ රෝගය වැළඳී වෛද්‍ය ආධාර ලබාගැනීමට නොහැකිව දින තුනකට පසුව මියගොස් ඇත. එම අවස්ථාවේදී සැමියාගේ වයස 45ක්ද කාර්මලිට්ට්‍රාගේ වයස 33ක්ද වූ අතර, අවුරුදු 14, 12, 10, 8, සහ 6 යන වයස්වල ගැහැනු දරුවන් දෙදෙනෙකු සහ පිරිමි දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර ගැනීමේ ගෘහමූලික වගකීම ඇය මත පැවරිණි.

කුඩා දරුවන් පස්දෙනෙකු නඩත්තු කිරීම සුළුපටු කාර්යයක් නොවන බැවින් නොයෙකුත් කුලී වැඩ කරමින් හිඳ, එයද ප්‍රමාණවත් නොවූ නිසා ඇය ඉස්සන් නිෂ්පාදනාගාරයක රැකියාවක් තෝරාගත්තාය. එම රැකියා ස්ථානයේ සේවය කළ බහුතරය පුරුෂයින් වූ අතර විවිධ හිංසනයන්ට මුහුණ දෙන්නට ඇයට සිදුව ඇත. 
 
ස්වාමිපුරුෂයා අහිමි කාන්තාවන් වෙත සමාජයෙන් එල්ලවන කොන් කිරීම්, නොසලකා හැරීම් සහ විවිධ දෝෂාරෝපනවලට ලක් කිරීම් යනාදියටද ඇය මුහුණ පෑවාය. වසර 10ක් සේවය කළ ගුරුවරයෙකු වූ සැමියාගේ විශ්‍රාම වැටුප ඇයට ලැබීම හේතුවෙන් රජයෙන් ලබාදුන් කිසිදු ආධාරයක් ඇයට හිමි නොවූ අතර එම වැටුප ප්‍රමාණවත් නොවීම නිසා, දරුවන් පස්දෙනකු සමග දිවි ගැටගසාගැනීමට ඇයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.   
 
2008 වසරේදී කාර්මලිට්ට්‍රාගේ එක් පිරිමි දරුවෙක්, සිය ආච්චි අම්මා ඇතුළු ඥාතීන් බැහැදැකීමට පේසාලේ සිට මුලන්කාවිල් වෙත ගිය ගමනේදී අවසානාවන්ත ලෙස අතුරුදන් විය. පොලීසියටද මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළ නමුත් අද වන තුරු කිසිදු තොරතුරක් ලැබී නැත.
 
 
එකම යුද්ධයක්- ඉරණම් දෙකක්

යුද්ධය, වැන්දඹුවන් බවට පත් කළේ උතුරේ සහ නැගෙනහිර දෙමළ, මුස්ලිම් හා සිංහල කාන්තාවන් පමණක් නොවේ. සටන් පෙරමුණේ සිටි සිංහල සොල්දාදුවන් දහස් ගණනකගේ බිරින්දෑවරුන්ද වැන්දඹුවන් බවට පත් කළේය.
 
 
හමුදා වැන්දඹුවන්ට සිය සැමියාගේ අවසන් වැටුපට සමාන විශ්‍රාම වැටුපක් සහ තවත් ප්‍රතිලාභ හිමි වන බැවින් සාමාන්‍ය කාන්තා වැන්දඹුවන්ට සාපේක්ෂව යහපත් ජීවිත ගත කිරීමේ අවස්ථාව හිමිව ඇත. විශේෂයෙන් ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යෑමට හැකියාව ලැබී තිබේ. මෙබඳු යුක්තියක්, සෙසු කාන්තාවන් හා දරුවන් වෙනුවෙනුත් ඉටු විය යුතු නොවේ ද?
 
දශක තුනක සිවිල් යුද්ධය රටපුරා පැතිර ගිය කාලයේදී උතුරු නැගෙනහිරවත්, දකුණේවත් කිසිදු කාන්තාවක් සිය කැමැත්තෙන් ගෘහමූලික කාන්තාවක් බවට පත්වූයේ නැත. ඔවුනට තබා කිසිම පුරවැසියෙකුට අවැසි නොවූ, යුද වැදුණු පාර්ශ්වවල අවශ්‍යතාවට ඇති කරගත් අවි ගැටුම් හේතුවෙන් ජාති, ආගම්, වයස්, වර්ග භේදයකින් තොරව පුරවැසියන්ට සිය ජීවිතවලින් මෙසේ වන්දි ගෙවන්නට සිදුවීම ඛේදජනකය. 
 
ආණ්ඩුවක යුක්තිසහගත ක්‍රියාව විය යුත්තේ කෙටිකාලීන ව්‍යාපෘති හරහා පැලැස්තර දැමීම නොව, හානි පූර්ණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වගවීමයි.
 
 
යුද්ධය අවසන් වී වසර 14ක් සපුරන මේ මොහොතේදීවත්, යුද්ධයෙන් වැඩිපුරම බැට කා සිටින උතුරු නැගෙනහිර ගෘහමූලික කාන්තාවන් වෙත අර්ථාන්විත සංක්‍රාන්තික යුක්තියක් ඉටු විය යුතු නොවේ ද?

 
සටහන සහ ඡායාරූප -

melani manel
 
(මෙලනි මානෙල් පෙරේරා)

melani.journalist@gmail.com





පරිවර්තන සහාය - ඇන්තනි ජේසුදාසන්

විශේෂ ස්තුතිය - ඉන්ටර්නිවුස් ආයතනය


 

'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි :


09- මිනිස්කම ඉල්ලා කෑගසන සකායමාතා පුරම් - (හර්ෂා සුගතදාස)


08-නව ලොවකට පාර සොයන නොච්චිකුලමේ තෙළිඟු වංශිකයෝ -(මංගලනාත් ලියනආරච්චි)

07- උදුරා දැමුණු ජීවිත අතරින් ඇසෙන මේරිඅම්මාගේ කතාව - (විකුම් ජිතේන්ද්‍ර)

06- මුල් අදින්නට පොළොවක් සොයන වතුකරයෙන් පිටමංවූවෝ - (සඳරැසී සුදුසිංහ)

05- සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

04- දොස්තර කෙනෙකුත් ඉංජිනේරුවෙකුත් හැදූ තෙළිඟු පරපුරේ හෙට දවස - (ලක්මාල් කේ. බදුගේ)

03- ආර්ථික යුද්ධයෙන් බැටකන නැගෙනහිර යුද වැන්දඹුවෝ

02- ආබාධිත ළමා සොල්දාදුවන්ගේ නොනිමි ජීවන අරගලය! - (වසන්ත චන්ද්‍රපාල)

01- එමලියනා, ෂෙරීන් සහ දිනිති! - මව්බසත් අමතක වී යන කැෆර්වරුන්ගේ කලදවස - (හර්ෂා සුගතදාස)


 

JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...