BREAKING
Top Ad
ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා

මල් මිටියක බැඳුණු මානව සබඳතා -(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

T

The Leader

May 31, 2023 • 6:10 AM

මල් මිටියක බැඳුණු මානව සබඳතා -(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය, මල් හා බැඳුණු මිනිසුන් ගැන කියවෙන අපූරු කතාවකි. කතරගම, මහියංගණය සහ රජරට තිරප්පනේ යා කරන මේ කතාව ජාති, ආගම්, කුල, ස්ත්‍රී පුරුෂ ආදී බේද පසෙක ලා මනුෂ්‍යත්වය ඔසවා තබන්නකි.
  • මල්දමේ මුල් කෙළවර මුලින් සඳහන් කළ අත්දැකීමට මුහුණ පෑ රජරට තිරප්පනේ ඒ.ජී.
  • ඒ අතරෙ මට කතරගම ඉදල ආපු වන්දනා නඩයක් හම්බවුණා.
  • පස්සේ ගොවි සමිතියට මගේ දුක කිව්වට පස්සේ සතියකට රුපියල් 2,000ක් ගෙවලා මල් 1000ක් කඩා ගන්න අවසර  දුන්නා.’’ ඇය පැවසුවාය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

“මම වැවේ බැහැලා මල් කඩනකොට පිරිමි කට්ටිය විරුද්ධ වුණා. ගැහැනියෙක් වැවට බැහැල මල් කැඩුවාම කිලි අහුවෙනවලු. මම අඬලා කිව්වා, මහත්තය අසනීපෙන්, මට මේක කරගන්න දෙන්න කියලා. ඒත් ඇහුවෙ නෑ. මම ඒගමන කිව්වා, ජය ශ්‍රී මහ බෝධීන්වහන්සෙ ගෙනාවෙත් ගෑනු එක්කෙනෙක්, එතකොට දළදාවහන්සෙ කොණ්ඩෙට තියල බැඳගෙන අරන් ආවෙත් ගෑනු එක්කෙනෙක්, තව සිද්ධාර්ථ කුමාරයා ඉපදුණෙත් ගෑනු කෙනෙක්ගෙ බඩෙන් තමයි, ඒවා හොඳනම් ඇයි මම බුදුන්ට පූජා කරන්න වැවක බැහැල මල් කැඩුවම මොකද නරක? කියලා. ඊට පස්සෙ ‘හා හා කඩා ගන්න’ කියල ඉඩ දුන්නා.’’

රජරට තිරප්පනේ ඒ.ජී. මල්ලිකා, සිය ජීවන යුද්ධය ජය ගන්නට ධර්ම යුද්ධයක් කරන්නට සිදු වූ අයුරු සිහිපත් කරමින් පැවසුවාය. ඇය, මේ කියන්නට යන කතාවේ එක් කතා නායකාවකි.


විශ්වාසයත්, අවංකකමත්, සහයෝගයත් මත එකිනෙකා දිනවන මේ තුන් ඈඳුතු කතාවට සම්බන්ධ වන්නේ කතරගමත්, මහියංගණයේත්, රජරට තිරප්පනේත් මලින් ජීවිකාව රැකගන්නා තිදෙනෙකි. ඔවුන්ගේ ජීවන ගමන දිග හැරෙන්නේ අහඹු සම්බන්ධතා මත ගොඩනැගුණු මල් වෙළෙඳාමක පසුබිමෙහි වන අතර මල් මිටියක් මෙන් එය විශ්වාසයේ බැමිවලින් බැඳී තිබේ.  
 
Mallika

දිවයිනේ විවිධ ප්‍රදේශවලට, ජාතීන්ට හා ආගම්වලට අයත් පිරිසක් අතර අන්‍යොන්‍ය විශ්වාසය පදනම් කරගත් අපූරු බහුත්වවාදී සංස්කෘතියක් මේ මල් වෙළෙඳාම වටා ගොඩනැගී තිබේ. මෙය බොහෝ දෙනෙකු නොදන්නා අපූරු සබඳතා ජාලයකි. අනුරාධපුරයේ, මහියංගණයේ මල් කඩන අය, ඒවා කතරගම සිටින මල් වෙළදුන් වෙත එවන්නේ මගී ප්‍රවාහන සේවා බස් රථවලිනි. ඔවුන් කිසිදාක දැක හඳුනාගත් පිරිසක් නොවුණද දහස් ගණනක මුදල් ගනුදෙනු අන්‍යොන්‍ය විශ්වාසය මත සිදු වේ.

මල්දමේ මුල් කෙළවර

මුලින් සඳහන් කළ අත්දැකීමට මුහුණ පෑ රජරට තිරප්පනේ ඒ.ජී. මල්ලිකා, අපට අහම්බෙන් මෙන් මුණගැසුණු, මේ සබඳතා ජාලයේ මුල් කෙළවරයි.

 “මම මල් ටිකක් ගෙනැල්ලා තරප්පනේ හන්දියේ විකුණන්න තියාගෙන හිටියා. නමුත් එතන ඒ තරම් වෙළෙඳාමක් නෑ. ඒ අතරෙ මට කතරගම ඉදල ආපු වන්දනා නඩයක් හම්බවුණා. එකේ හිටපු රියදුරු මහත්තයට මම කිව්වා, මහත්තයෝ මට මල් ටිකක් විකුණා ගන්න මගේ ෆෝන් නොම්මරේ කතරගම මල් කඩේකට දෙන්න කියලා. ටික දවසකින් මට කතරගම වසන්ති කියල කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවා, මානෙල් මල් ඉල්ලලා. කවදාවත් දැකල නැති වුණත් මම මල් කඩලා වසන්ති අක්කට යැව්වා’’
 
mali
 
මල්ලිකා, සිය ගෙමිදුලේදී..
 
මේ අයුරින් අහඹු සම්බන්ධතාවක් මත ගොඩනැගුණු මල් වෙළඳාම අද මල්ලිකාගේ ජීවනෝපායයි. හුළං පිරවූ අනාරක්ෂිත ටියුබයක නැගී දිනපතාම තිරප්පනේ වැව තරණය කරන ඇය, තමන් නෙළන මල් බස් රථවලින් කතරගමට යවන්නේ, ගැහැනිය පිළිබඳ සාම්ප්‍රදායික සම්මතයට අභියෝග කරමිනි.
“මගේ මහත්තය වකුගඩු රෝගියෙක්. එයාට රැකියාවක් කරන්න බැරි නිසා ජීවිතයට මුහුණදෙන්න තමයි මම මේ රස්සාව කරන්න පෙළඹුණේ. දරුවෝ දෙන්නගෙන් කෙනක් සාමාන්‍ය පෙළ ලියනවා, අනෙක් දරුවා ශිෂ්‍යත්වය ලියනවා.  මුලින්ම මල් සීයක් කඩාගන්න දෙන්න කියල ඉල්ලන්න මම ගියේ. වැවේ මල් බදු අරගෙන ඉන්න එක්කෙනා කුණුහරුපෙන් බැණලා මාව එලවගත්තා. පස්සේ ගොවි සමිතියට මගේ දුක කිව්වට පස්සේ සතියකට රුපියල් 2,000ක් ගෙවලා මල් 1000ක් කඩා ගන්න අවසර  දුන්නා.’’ ඇය පැවසුවාය. ඇය පෙර කී අත්දැකීමට මුහුණ දුන්නේ, මෙම අවසරයෙන් පසුවය. එහෙත් ඒ ධර්ම යුද්ධයෙන් පසුව, ඇයගෙන් බණ අහගන්නට කිසිවකු යළි පැමිණියේ නැත.
 
මල් සූදානම් කරන මල්ලිකා
 
කතරගම යවන්නට මල් සකසන මල්ලිකා
 
තිරප්පනෙන් කතරගමට

තිරප්පනේ මල්ලිකාට ජීවිතය දිනන්නට හයිය දෙන්නේ කතරගම කිරිවෙහෙර පුදබිමට යන මාර්ගයේ මල් විකුණන වසන්ති අක්කාය. ජීවත්වන්නට වැදගත් වන්නේ උස් මිටිකම් නොව මනුස්සකම බව ඇය නිහඬවම පසක්කර තිබේ. කිසි දිනෙක මුහුණට මුහුණ හමුවීම් නොමැති ඔවුන්ගේ සම්බන්ධතාව නොකැළැල්ව පවතී. එය කටහඬ ඔස්සේ ගොඩනැගුණු විශ්වාසයකින් බැඳී ඇත.

“නංගි ඔයත් ගැහැනියක් මමත් ගැහැනියක් එ්ක නිසා මම කවදාවත් වංචාවක් කරන්නේ නෑ කියලා වසන්ති අක්කා මට කියලා තියෙනවා. ඒ වගේම මට කවදාවත් සල්ලි නොදී ඉඳලත් නෑ, සල්ලි දාන්න පරක්කු වෙලාවත් නෑ.’’ මල්ලිකා පැවසුවාය. අප කතරගම ගියේ, ඒ අපූරු චරිතය මුණගැසීමටය.

“මට දැන් අවුරුදු 63යි. මම අවුරුදු 16 ඉදල තමයි කතරගම කිරිවෙහෙරට යන මාර්ගයේ මල් විකුණන්නේ. මීට අවුරුදු දෙකකට විතර කලින් තමයි අනුරාධපුරේ මල්ලිකා නංගි වන්දනාවේ එන කෙනක් අත මල් විකුණන කෙනෙකුට දෙන්න කියලා එවූ නම්බර් එක මට ලැබුණේ. මම අද වෙනකල් එයා දැකලා නෑ. නමුත් එදා ඉදල අද දක්වා එයා බස් එකක මට නිල් මානෙල් මල් එවනවා. මම එයාට සල්ලි දානවා. එහෙම තමයි ඒ විශ්වාසය රැඳිලා තියෙන්නේ’’
 
වසන්ති
 
කතරගම වසන්ති
 
අපි, ඇගේ නොදුටු සොහොයුරිය අනාරක්ෂිත ටියුබයක් මත නැගී, වැවේ මල් කඩන- හැන්දෑවේ මල් මිටි කර තබාගෙන ගොස් බස්වලට පටවන සල රූ දසුන් ඇයට පෙන්වූයෙමු. ඇගේ නෙතග කඳුළක් නැගිණි.
 
මල්ලිකා හා වසන්ති, මේ අපූරු මල් දාමයේ සබැඳියාව පිළිබඳ එක් නිදර්ශනයක් පමණකි. එවැනි බැඳීම් සිය ගණනක් මත මේ මල් වෙළෙඳ දාමය ගෙතී තිබේ. මල් නෙළන, ප්‍රවාහනය කරන, අලෙවි කරන පිරිස් ගැහැනු- පිරිමි බේදයකින් තොරව, මල් නිසා නිවහල් ජීවිත ගෙවමින් තිබෙන්නේ ඔවුනොවුන් අතර කාලයක් තිස්සේ ගොඩ නැගී ඇති විශ්වාසය පදනම් කර ගෙනය.
මල් නෙලන මෙන්ම විකුණන පිරිස් අතර ඇති මෙම විශ්වාසය ගොඩනැගීමට පාලමක් වී ඇත්තේ බොහෝ තැන්වලදී හොඳ නාමයක් නොඅසන බස්රථ රියදුරන්ය. මේ කතාවේ අනුරාධපුරයේ මල්ලිකා හා කතරගම වසන්ති අතර ඒ විශ්වාසයේ පාලම තනනු ලබන්නේ බස් රථ රියදුරෙකු වන ප්‍රියන්ත විසිනි.

“මේ අයට උදව්වක් විදියට තමයි අපි මල් ටික කතරගමට අරන් යන්නේ. බස් එකේ කොච්චර සෙනග හිටියත් අපි මල් ටික පරිස්සමෙන් ගිහින් දෙනවා.’’ ඔහු කියයි.
 
ප් රියන්ත
 
රියදුරු ප්‍රියන්ත- මල් දමේ නූල
 
මහියංගණයේ නිලන්ත ගැන අප දැනගත්තේ, කතරගම වසන්ති අක්කාගෙනි. වසර 21කටත් වැඩි කලක සිට, ඇයට නෙළුම් මල් සපයන්නේ මහියංගණයේ නිලන්තය. ඒ ආරංචිය ඔස්සේ අපි මේ මල් දාමයේ තවත් කෙළවරක් සොයා ගමන් ඇරඹුවෙමු. දිගු ගමනක් අවසන අපට ඒ කෙළවර මුණගැසිණි.

“මගේ නම සුනිල් පියතිලක. හැබැයි ගොඩක් අය මාව දන්නේ මහියංගණේ මල් නිලන්ත කිවුවහම තමයි. මම මේ රස්සාව අවුරුදු 25ක ඉඳල කරනවා, කතරගම කිරිවෙහෙර පාරේ මල් කඩවල අය එහෙ මල් නැති වුණාම මෙහෙන් මල් ගෙනියන්න එනවා. ඒ ආවම තමයි සම්බන්ධතා ඇති වුණේ. දැන් ඒ අය එන්නේ නෑ, අපි මල් කඩලා බස්වල දාලා එහෙට යවනවා. ඒ අය මල් විකුණලා අපිට මුදල් එවනවා. කවදාවත් වංචාවක් කරලා නෑ. මේ මල් රස්සාව, විශ්වාසය මතම තමයි සිද්ධවෙන්නෙ. කතරගම වසන්ති අක්කත් එක්ක තියෙන්නෙත් එහෙම විශ්වාසයක්.’’ 
 
මල් නිලන්ත
 
සුනිල් පියතිලක හෙවත්, මහියංගණේ මල් නිලන්ත
 
 
මහියංගණයේ  නිලන්තගේ මල් යවන්නේ කතරගමට පමණක් නොවේ. බදුල්ල, නුවර ආදී ප්‍රදේශ රාශියකට පන්සල් හා කෝවිල් අශ්‍රිතව මල් විකුණන පිරිස් වෙත ඔහුගේ මල් බෙදාහැරේ. ජාති කුල ආගම් බේදයකින් තොරව ගොඩ නැගී ඇති මෙම විශ්වාසයේ සම්බන්ධතාවය මල් මෙන්ම වර්ණවත්ය.
නිලන්තගේ ගනුදෙනුකාර ජාලයේ සිංහල, දෙමළ, බෞද්ධ, හින්දු කියා වෙනසක් නැත. ඒ ජාලයේ පදනම විශ්වාසය පමණි. මේ අපුරු මානව සබඳතා ජාලය ඔස්සේ දඹුල්ලට ගිය අපට එහිදී හමු වූයේ දඹුලු විහාරයට යන මාර්ගයේ බුදු පුදට මල් විකුණන අපූරු දමිළ- සිංහල සහෝදරත්වයකි.
 
ජාති කුල ආගම් වෙනුවෙන් එකිනෙකා ඇනකොටා ගනිමින්, වෛරය පතුරමින් සිටින සමාජයක, මනුෂ්‍යත්වයේ දහම අදහන මේ මිනිසුන් කෙතරම් කෙතරම් පොහොසත් ද?
වසර 25ක පමණ කාලයක් තිස්සේ දඹුලු විහාරයට යන මාර්ගයේ මල් විකුණන ආර්. නාගවන් (65) අප සමඟ මෙසේ පැවසුවාය.

“මම අවුරුදු 25ක විතර කාලයක ඉඳලා දඹුලු විහාරයට යන පාරේ මල් විකුණනවා සිංහල දෙමළ කියල බේදයක් අපි ළඟ නෑහැ. හැමෝම අපෙන් මල් ගන්නවා, අපිත් මල් පූජා කරනවා. මම විතරක් නෙවෙයි, තවත් දෙමළ අය මෙහේ මල් විකුණනවා.’’
 
nagawan
 
අපූරු අක්ක නගෝ- ආර් නාගවන් සහ බණ්ඩාර මැණිකේ
 
නාගවන් සමඟ එකට සිට මල් විකුණන, බණ්ඩාර මැණිකේ (66) සිංහල කන්තාවකි. අප දුටු ඔවුන්ගේ බැඳීම  අක්කා- නගෝ මෙනි.

 “අපි හැමදාම හරිම එකමුතුවෙන් තමයි මල් විකුණන්නේ. මම නැති වුණොත් මගේ මල් ටික මෙයා විකුණලා මට සල්ලි දෙනවා මම එයාටත් ඒ වගේ විකුණලා දෙනවා. අපි වසර ගණනාවක් තිස්සේ ඉන්නේ මෙතනම තමයි’’ බණ්ඩාර මැණිකේ පැවසුවාය.

ආර්ථික අර්බුදයේ අභියෝගය
 
කොරෝනා වසංගත සමය, සමස්ත සමාජයට මෙන්ම මේ මල් දාමයට සම්බන්ධ සියලුම දෙනාට බිහිසුණු වාරකන් සමයක්ම විය. එය මඳක් ලිහිල් වූ පසුව, උත්සන්න වූ ආර්ථික අර්බුදය ඔවුන්ට යථා තත්ත්වයට පත් වීමට ඉඩ දුන්නේම නැත. ආර්ථික අර්බුදයෙන් පීඩාවට ලක් වූ සමාජයේ වන්දනා ගමන්ද සීමා වූ අතර බුදුන්- දෙවියන් පුදට මලක් මිලදී ගැනීම ගැන පවා දෙවරක් සිතා බලන තැනට සමාජය පත් කර තිබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස මල් සඳහා ඇති ඉල්ලුම පහත වැටුණු අතර එය මල් වෙළඳාමේ යෙදී සිටින අයගේ ජීවනෝපායට සෘජුවම බලපෑවේය. ඒ සියලු තත්ත්වයන් මැද ජීවන වියදම ඉහළ යෑමේ පොදු අර්බුදයද ඔවුන් පීඩනයට පත් කළේය.
 
wasanth
 
වසන්ති, කතරගම මල් කඩ පේළිය..
 
“කොරෝනා කාලෙ අපිට කිසිම වෙළෙඳාමක් තිබුණෙ නෑ. අපි ඒ දවස්වල ජීවත්වුණේ බොහොම අමාරුවෙන් එකෙන් අපිට විතරක් නොවේ මල් කඩන අයටත් ලොකු බලපෑමක් සිදුවුණා.’’ කතරගම වසන්ති පැවසුවාය.

“ආර්ථික අර්බුදයත් එක්ක මල් කර්මාන්තය නැත්තටම නැති වුණා. බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වුණේ. දැන් ටිකක් ඒ තත්ත්වය හරියාගෙන එනවා. නමුත් වෙනදා තරම්ම නෑ.’’ මහියංගණයේ නිලන්ත පැවසුවේය. එවැනි දැඩි අර්බුදයන් හමුවේ වුවද මොවුන් අතර පැවති සබඳතා කැඩී නොගොස් අදටත් එලෙසින්ම පැවතීම සැබවින්ම අගය කළ යුත්තකි.
 
ආයෙමත් දවසක කතරගම යන ඔබ, බුදුන්- දෙවියන් වඳින්නට මිලදී ගන්නා මලකින් හයියක් ලැබෙන්නේ මේ අපූරු ජීවිතවලටය. ඔවුන්ගේ සහයෝගයේ අදිසි බැඳීම ‘විශ්වාසය’ බව අමතක නොකළ යුතුය. ආගමේ නාමයෙන් වෛරය වපුරන කාලයක, මේ මානුෂීය සබැඳියාව මලින් මල ඇමිණූ මල්මාලයක් තරම්ම ලස්සනය.
 

රාහුල් සමන්නරාහුල් සමන්ත හෙට්ටිආරච්චි
rahulnews.srilanka@gmail.com

උපදේශකත්වය හා අනුග්‍රහය ඉන්ටර්නිව්ස්



 
'ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා' වෙනත් ලිපි මෙතනින්


JW


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...