BREAKING
Top Ad
ඇට මැස්සා

This is 4 සමන් ( ඇටමැස්සා 101)

T

The Leader

August 14, 2022 • 12:42 PM

This is 4 සමන් ( ඇටමැස්සා 101)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1995 අවුරුද්දේ අන්තිම කොළ ටික ගෙවී යමින් පවතින කාලයකි.
  • නිවේදකයාගේ නම ඇසූ ප්‍රචාරක ආයතනයෙන් පැමිණි බටහිර පන්නයට හැඩ වැඩ වී සිටි යුවතිය කට උල් කර තොදොල් ලෙස මෙසේ ඇසුවා.
  • අතීත රස කතා සිදුවූවාටත් වඩා රසවත් ලෙස ඉදිරිපත් කරන්නට ඔහුට අපූරු හැකියාවක් ඇත.
  • රූපවාහිනීයේත් සමන් එක ලෙස පෙළහර පෑවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ලංකාවේ ප්‍රධාන පෙළේ දැන්වීම් ප්‍රචාරක ආයතනයක් විසින් පොපි දිනය වෙනුවෙන් දැන්වීමක් නිර්මාණය කර තිබුනා.

සිංහල පිටපත හඬ කැවීම සදහා එහි පිටපත් රචකයා තෝරාගෙන තිබුනේ එක් සුවිශේෂී හඬකි.

නිවේදකයාගේ නම ඇසූ ප්‍රචාරක ආයතනයෙන් පැමිණි බටහිර පන්නයට හැඩ වැඩ වී සිටි යුවතිය කට උල් කර තොදොල් ලෙස මෙසේ ඇසුවා.

" කවුද අනේ එයා.. ? එයාට වොයිස් කරන්න පුළුවන් ද...? "

ගැඹුරු ලයාන්විත හඬකින් ඒ පටිගත කිරීම නිමා වුණා.

එවිට පුදුමයට පත් අර තරුණිය කැඩිච්ච සිංහලෙන් මෙහෙම අහනවා.

" එයාගෙන් ඉන්ග්ලිෂ් වොයිස් එකත් ගන්න බැරිද ප්ලීස් ...? "

ඔහුගේ කට හඬේ ප්‍රාතිහාර්ය එයයි.

ඇටමැස්සා යලි උපදින්නේ අපේ මේ කතා නායකයා සමග.


ඔහු නමින් සමන් අතාවුදහෙට්ටි.

හැකියාවන් රැසක් සහිත තනි මිනිසෙක්.

රහට කාලා බඩ ගියත් කමක් නෑ කියා කතාවක් තිබේ.

සමන්ගේ ලියවිල්ල ද බොහොම රහ ය.

ඔහු හොඳ කතාකාරයෙකි.

අතීත රස කතා සිදුවූවාටත් වඩා රසවත් ලෙස ඉදිරිපත් කරන්නට ඔහුට අපූරු හැකියාවක් ඇත.

දිවයින පත්තරේට සමන් බොහෝ රස කතා ගොන්නක් ලියුවේය.

ඉනුත් සමන් රහටම ලියුවේ ' ටයි' මහත්තයා ගැනය.

රහට කාලා බඩ ගියත් කමක් නෑ කියා කතාවක් ද තිබේ.

සමන්ගේ කතා කලාවට එය හොඳට ගැලපේ.


ඇඟේ මයිල් කෙළින් කරගෙන රහස් පරීක්ෂක කතා ඇසූ යුගයක්

 

අප කුඩා කාලයේ රේඩියෝව ළග ඇන තියාගෙන රේඩියෝවට කණ තියාගෙන ඇඟේ මයිල් කෙළින් කරගෙන රහස් පරීක්ෂක කතා ඇසූ යුගයක් තිබුනා.

පසුවදා උදේට පාසල් ගිහින් වැඩ පටන් ගන්නේ පෙරදා රාත්‍රියේ ඇසූ ත්‍රාසය, භීතිය පිරි රහස් පරීක්ෂක කතාවේ සමාලෝචනයකින් පසුවයි.

මේ රහස් පරීක්ෂක කතා පෙළේ අපේ ඇඟවල් කිළිපොලා යැවූ ප්‍රධාන හඬ පෞරුෂයක් අයිති වූයේ සමන් ආතාවුදහෙට්ටිටයි.

'මකරාගේ තානායම ' අපව සන්ත්‍රාසයට පත් කළ එවැනි එක් රේඩියෝ අන්දරයකි.

'ලන්දේසි දූපත' තුලින් ඔහු වැන්දබෝනා හා ජිල්ජෝන් වැනි චරිත නිර්මාණය කළේ කරුණාතිලක හඳුවල හා එක්වෙමින්.

අප කුඩා කාලයේ රේඩියෝව ළග ඇන තියාගෙන රේඩියෝවට කණ තියාගෙන ඇඟේ මයිල් කෙළින් කරගෙන රහස් පරීක්ෂක කතා ඇසූ යුගයක් තිබුනා.

පසුවදා උදේට පාසල් ගිහින් වැඩ පටන් ගන්නේ පෙරදා රාත්‍රියේ ඇසූ ත්‍රාසය, භීතිය පිරි රහස් පරීක්ෂක කතාවේ සමාලෝචනයකින් පසුවයි.

මේ රහස් පරීක්ෂක කතා පෙළේ අපේ ඇඟවල් කිළිපොලා යැවූ ප්‍රධාන හඬ පෞරුෂයක් අයිති වූයේ සමන් ආතාවුදහෙට්ටිටයි.

'මකරාගේ තානායම ' අපව සන්ත්‍රාසයට පත් කළ එවැනි එක් රේඩියෝ අන්දරයකි.

'ලන්දේසි දූපත' තුලින් ඔහු මතු වූයේ වැන්දබෝනා ගේ චරිතයට පණ උපද්දවමිනි.

අපේ ළමා කාලය සුන්දර වූයේත්, රසවත් වූයේත් මෙවැනි රේඩියෝ නාට්‍යය මාළාවන් ගෙනි.


රූපවාහිනීයේත් සමන් එක ලෙස පෙළහර පෑවා.

දොස්තර හොදහිත , ගලිවරගේ සුවිසැරිය ඉන් ප්‍රධානයි.

ඔෂින් හි රූසෝ ගේ හඬට පණ දුන්නේත් ඔහු.

 
ඇටමැස්සා ගේ තක්සේරුවට අනුව විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය තුල සංගීත වැඩ සටහන් ඉදිරිපත් කළ හොඳම නිවේදකයා වූයේ සමන් ආතාවුදහෙට්ටි යි.



ඔහු හොඳ ගීත පද රචකයෙක්....

සමන් 'ගේය පද'රචකයෙක් නෙවෙයි, හැබැයි ඔහු හොඳ ගීත පද රචකයෙක්.

කප්පරකට ගීත නොලිව්වත් ඔහු ලියූ ගීත ස්වල්පය ඇති ඔහු ගැන දවස් ගානක් කතා කරන්න.

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මල් පෙති ඉහිරුණු මල් පාරේ ( ගුණදාස කපුගේ)

මලක් වුණේ ඇයි නුඹ මට ( අමරසිරි පීරිස්)

සිලිලාර සිත නයනා (අතුල අධිකාරි )

කවුරුන්ද ඔබ මගේ ( සුනිල් එදිරිසිංහ )

අකීකරු හිමියනේ ( මාලිනි බුලත්සිංහල )

මේ සමන්ගේ ගීත නාමාවලියේ ඉහළින් වැජඹෙන ගීත කිහිපයක්.
 

 

 

 
 

 

 
2015 න් පස්සේ සරසවිය පත්තරේ කර්තෘ අරුණ ගුණරත්නව ඉවත් කරන්න මහා මෙහෙයුමක් දියත් කෙරුණා.

ඒ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චිගේ හිතවතෙකු වූ මෙළෝ රහක් නැති පත්තර කඩමාල්ලක් වූ ආනන්ද පද්මසිරිව සරසවිය කර්තෘ පුටුවේ වාඩිකරවීම සදහායි.

එහෙත් සමන් ඒ අසාධාරණය කරන්න ඉඩ දුන්නේ නෑ.

අන්‍යයන් ගෙන් ලද කුණු හරුප වරුසා මැද ඒ සියල්ලම ඉවසමින් ඔහු සරසවි කර්තෘ වෙනුවෙන් හිට ගත්තා.


ජැක්සන් ගේ රුව සහිත සරසවිය මුල් කවරය


යහපාලන ආණ්ඩුව සමයේ ජැක්සන් ඇන්තනි ' මහරජ ගැමුණු ' චිත්‍රපටියේ හොඳම නළුවා වූ අවස්ථාවේ ජැක්සන් ඇන්තනි ගේ කවරයේ ජායාරූපය සරසවියෙන් ගලවන්න සමන් වගආරච්චිගේ නියෝග දුන්නා.

එයට එරෙහිව එනම්, සමන් වගආරච්චිට එරෙහිව නැගී සිටියේ සමන් ආතාවුදහෙට්ටි පමණයි.

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් ගැලවූ ජැක්සන් ගේ රුව සහිත මුල් කවරය සතියකට පසු යලි සරසවිය මුල් පිටුවේ පළ කෙරුණේ මාධ්‍ය ලේකම් සමන් නිසයි.

 කිසියම් කලාකරුවකු ගේ දේශපාලන මතිමතාන්තර ඔහුව කපා දමන මිනුම් දණ්ඩක් කරගැනීමට සමන් කිසි විටෙක ඉඩ දුන්නේ නෑ.

 
සමන් කාලයක් ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරය ඉසිලුවා.

එම මණ්ඩලයේ සභාපති ධූරයට පත් වූ මහත්වරුන් කිහිපදෙනා අතුරින් සමන් එක් අයෙක්.

ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය තුල නිසි ක්‍රම වේදයක් ස්ථාපිත කිරීම උදෙසා සමන් නායකත්වය දුන්නා.

දේශපාලනික වශයෙන් තමන් අයත් කඳවුර නියෝජනය නොකරන මාලින්ද සෙනෙවිරත්න වැන්නවුන් ගේ පවා අදහස්වලට ඔහු හිස නැමුවා.

ඒ සමන් තුල වෙසෙන ප්‍රජාතන්ත්‍රවාදීයාව හොදින් ප්‍රදර්ශනය කරමින්.

සමන් අතින් සුවිශේෂී ටෙලිනාට්‍යයක් නිර්මාණය වෙනවා.

එහි නම ' අඳුකොළ'

ඇටමැස්සා එය සුවිශේෂී එකක් ලෙස හඳුන්වන්නේ හේතු කිහිපයක් නිසා.

මේ ටෙලිනාට්‍යය තුලින් කාර්මීකරණය හා සාම්ප්‍රදායිකත්වය අතර ඝට්ටනය මැනැවින් සාකච්ඡා කෙරුණා.

අද අප බලන කාළකණ්නි රසයෙන් හෙබි ටෙලිනාට්‍යවලට වඩා බොහෝ එහා ගිය සැබෑ නිර්මාණයක් එය.

මේ ' අඳුකොළ ' ටෙලිනාට්‍ය තවත් අතකින් විශේෂ වෙනවා.

ඒ ඔහු මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන නිළියගේ චරිතය වෙනුවෙන් තෝරාගන්නා නවක මුහුණ නිසයි. Aruni wijewardhana 2022
ඇය අරුණි දේවරාජා.

අරුණි, මේ රටේ බිහිවූ කෘතහස්ත ඉතිහාසඥයකු වූ මහාචාර්ය ලෝර්නා දේවරාජා ගේ දියණිය යි.
 
 
තවත් විශේෂයක් නම් අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධූරය හොබවන අරුණි විජේවර්ධන ( විවාහයෙන් පසු ) යනු එදා සමන් සොයාගත් නවක නිළිය වීමයි.



කන බොන යාළුවෝ සෙට් එකක් ...

සමන්ට හොඳ කන බොන යාළුවෝ සෙට් එකක් දැනටත් ඉන්නවා.

ඉස්සරත් හිටියා.

හැබැයි ඒ කීදෙනෙක් සමන්ගේ සැබෑ වටිනාකම දන්නවාද කියා ඇටමැස්සාට ඇත්තේ සැකයක්.

වරෙක ආමර් ස්ට්‍රීට් එකේ අවන්හලක සමන් හා පුවත්පතේ කර්තෘ ‍රට ගොස් සිටි නිසා වැඩ බලන්න කතුවරයකු ලෙස සතියකට පත්වූ මිතුරකු හා හමුවක් පැවැත්වුනා.

" අද මං අරූගේ කොළම දාන්නේ නෑ..."

වීදුරුවට සෝඩා වත්කරන ගමන් සතියකට පත් වූ වැඩ බලන කර්තෘ සමන්ට කිව්වා.

ඒ සැණින් කොළම ලියූ නහරයාටත් ඒ ආරංචිය ආවා.

සතියේ වැඩ බලන කර්තෘ සෙන්ටි මීටර් 10 ක් උස සිංගල් කොළම් එකක් දුන්නා ලිපිය අතුරන්න.

ඒක හරියට කිව්වොත් මරණ දැන්වීමක් දාන ප්‍රමාණයේ ඉඩක්.

ලේඛකයා තම කොළම ඉවත් කරගත්තා.

ඒ විතරක් නෙවෙයි, ඔහු ඊළඟ සතියේ කොළම ලියුවේ නෑ.

පත්තරේ ඉහළ කළමනාකාරිත්වය මේ පිළිබද විමසීමක් කළා.

ලේඛකයා සිද්ධිය පැවසුවා.

එපමණක් නොව සතියේ වැඩ බලන කර්තෘ නතර කළ කොළම යලි ඔහු ලවාම පළ කරන තුරු ඔහු නොලියන බවත් දැන්වුවා.

අවසානයේ නැට්ට අකුළාගෙන කොළම යලි පළ කරන්න සමන් ඉදිරියේ මධුවිතින් සප්පායම් වී වහසි බස් දෙඩූ අර කර්තෘට සිදුවුණා.

මේ කතාව මෙතැන ලිව්වෙ සමන්ට ඉන්න ‍යාළුවන් අතර මෙවන් හාල්පාරුවන් ද සිටි හා සිටින බව මතක් කර දෙන්නයි.

ඔවුන් නිසා බොහෝ විට සිදුවූයේ සමන්ගේ වටනාකම ක්ෂය වී යෑමයි.
 
 
සමන්ගේ නිහතමානීකම නිසාම සමන්ට සෙට් වෙන සමහරුන් සමන්ගේ වටිනාකම නොදැක්කත් සමන් ගැන දැනගත යුතු සියලු දෙනා සමන්ගේ වටිනාකම හොදින්ම දන්නා බව ඇටමැස්සා ගේ තක්සේරුව යි.


ත්‍රිවිධ අංශයේම හපන්කම් පෑ කලාකරුවෙක්... 
 
සමන් ගැන බොහෝ දේ ලිවීමට ඇතත් ඇටමැස්සා මෙහි සටහන් කළේ අන්‍යයන් සමන් ගැන කතා නොකරන දේ යි.

සාමාන්‍යයෙන් ගුවන්විදුලිය, පුවත්පත්, රූපවාහිනීය යන ක්ෂේත්‍රය තුනේම පෙළහරපාන්නන් අප රටේ විරලය.

සමන් අතාවුදහෙට්‍ටි යනු මේ ත්‍රිවිධ අංශයේම හපන්කම් පෑ කලාකරුවෙකි.

සමන් සිය ජීවිත කාලය තුලදී තමන්ට නොගැලපෙන රස්සාවකට කියා කර ඇත්තේ එකක් පමණි.

එනම්, අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රස්සාවයි.


(ඇටමැස්සා)


ඇටමැස්සා පසුගිය ලිපි 100 මෙතනින්
 
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...