BREAKING
Top Ad
ආලින්දයෙන් ඔබ්බට

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත

T

The Leader

April 2, 2021 • 11:14 PM

ආලින්දයෙන් ඔබ්බට 05 : දැකිය යුතු ම 'දැකපු නැති හීන'- ජයසිරි අලවත්ත 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයක් වන පළමු ගීතය සඳහා සංගීතය සහ තනුව සපයනු ලැබ ඇත්තේ විශාරද ගුණදාස කපුගේ විසිනි.
  •   සමස්ත ගීතයේ අරුත කැටි කර ගත් විට පිළිබිඹු වන ප්‍රධාන ලක්ෂණය නම්: ගැහැනියක් සහ පිරිමියෙක් නීත්‍යනුකූල ලියවිල්ක අත්සන් කර, පෝරුමස්තකයේ නංවා, සුලැඟිලි නූලකින් බැඳි පමණින් ඔවු දෙදෙනා බිරිඳක හෝ සැමියෙකු නොවන බවයි.
  • වඩාත් සරලව ම පවසන්නේ නම් ඔවුන් එකිනෙකාට එකිනෙකා ආදරය නොකරන බවයි; ඔවුන් දෙදෙනා ම ආදරය කරන්නේ වෙනත් දෙදෙනෙකුට බවයි.
  • නමුදු නීත්‍යනුකූල ලෙස විවාහ වන සියලු ගැහැනු සහ පිරිමි මේ ආකාරයෙන් බැඳී සිටින්නේ ද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
පි:   
බිරිඳ මගේ ඔබ
 
ගැ:  
නෑ මා ඔබගේ බිරිඳ නොවේ
 
දෑඟිලි හුයකින් බැඳි පමණින්
 
මා ඔබගේ බිරිඳ නොවේ
 
ඔබගේ බිරිඳ නොවේ
 
 
පි:         
ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත
 
මා පෙම් කළ අය මට ද ලැබී නැත//
 
ගැ:       
මවු පිය නෑ සිය ආසිරි ගී මැද
 
දෑඟිලි පමණක් එකට බැඳී ඇත//
 
 
 
පි:         
සිරුරෙන් එක තැන හදවත් දෙතැනක
 
දෙදෙනෙකු වෙමු අපි එක ම වහල යට//
 
 
ගැ:       
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
 
අපිට මියෙන තුරු හැඳිනිය හැකි වෙද//
 

  
 
02.        
රන් කෙන්දෙන් බැඳ
 
අතැඟිලි එක් කළ ආදරය යි
 
පෙම් රැහැනින් බැඳ
 
සිතුම් වසඟ කළ ආදරය යි//
 
 
 
කිරිලිය සේ දුර පියා සලාලා
 
අත්තටු රිදුණා පමණයි
 
දෑල විදාහල දැත මගේ
 
ඔබටත් ඔහුටත් උරුමයි
 
හිරු සඳු එකවර දෙපස නැගේ
 
කළුවර ඇයි විජිතය ම මගේ
 
 
 
කනාටු සුළඟේ දුහුල් මලකි අද
 
වල්මත් වී පාවී එන්නේ
 
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
 
මා හෙට දින සමුගන්නේ
 

 
 
මේ සතියේ ‘‘ආලින්දයෙන් ඔබ්බට’’ විශේෂාංගය ලියන්නට මත්තෙන් මෙම ගීත ද්වය සටහන් කළේ අද විමංසනයට බඳුන් කරන රුපවාහිනී නාට්‍යයේ පසුබිම ද යට සඳහන් කළ ගීත ද්වයෙන් විද්‍යමාන වන පසුබිම් කතාව සමග සහ සබඳතාවක් දක්වන බැවිනි.
 
මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද රචනයක් වන පළමු ගීතය සඳහා සංගීතය සහ තනුව සපයනු ලැබ ඇත්තේ විශාරද ගුණදාස කපුගේ විසිනි. ගායනා කරනු ලබන්නේ විශාරද නන්දා මාලනී සහ විශාරද ගුණදාස කපුගේ විසිනි.
 
සමස්ත ගීතයේ අරුත කැටි කර ගත් විට පිළිබිඹු වන ප්‍රධාන ලක්ෂණය නම්: ගැහැනියක් සහ පිරිමියෙක් නීත්‍යනුකූල ලියවිල්ක අත්සන් කර, පෝරුමස්තකයේ නංවා, සුලැඟිලි නූලකින් බැඳි පමණින් ඔවු දෙදෙනා බිරිඳක හෝ සැමියෙකු නොවන බවයි. වඩාත් සරලව ම පවසන්නේ නම් ඔවුන් එකිනෙකාට එකිනෙකා ආදරය නොකරන බවයි; ඔවුන් දෙදෙනා ම ආදරය කරන්නේ වෙනත් දෙදෙනෙකුට බවයි.
 විවාහය යනු: චාරිත්‍රානුකූල, සාම්ප්‍රදානුකූල කර්තව්‍යක් පමණක් නොව ගැහැනියක් සහ පිරිමියෙක් සිය ජීවිතාන්තය දක්වා පවත්වාගෙන යා යුතු ජීවන රටාවක සවිමත් බැම්මකි. එම බැම්ම සවිමත්ව පැවතීමට නම් දෙදෙනාගේ ශරීර මෙන් ම හදවත් ද, ඔවුනොවුන් තම තමන් කෙරෙහි ආත්මිය වශයෙන් ද බැඳී සිටිය යුතු ය. නමුදු නීත්‍යනුකූල ලෙස විවාහ වන සියලු ගැහැනු සහ පිරිමි මේ ආකාරයෙන් බැඳී සිටින්නේ ද? යථාර්ථය නම් ‘නැත’ යන්න ය. නමුදු ඒ බොහෝ ගැහැනු සහ පිරිමි සමාජ සම්මතයට ගරු කරනු වස් හෝ සමාජ සම්මතය කෙරෙහි පවත්නා බිය පදනම් කරගනිමින් සිය කුටුම්බය තුළ පවත්නා බොහෝ ගැටලු රබර් පන්දුවක් ආයාසයෙන් දිය යට සඟවාගෙන සිටින සේ මතුපිටට නොපෙන්වීමට වගබලාගනිති. එහෙත් කිසියම් නිශ්චිත මොහොතක එකී රබර් පන්දුව දියෙන් මතුපිටට පැමිණේ. එවිට සහ ඉන් ඉක්බිති බොහෝ දෑ සිදුවිය හැකි ය.
  
විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘දුහුලු මලක්’ චිත්‍රපටයේ අන්තර්ගත, ආචාර්ය අජන්ත රණසිංහගේ පද රචනයක් වන යට සඳහන් දෙවන ගීතය ගායනා කරනු ලබන්නේ  විශාරද නන්දා මාලනී විසින් වන අතර එහි තනුව සහ සංගීතය සරත් දසනායකගෙනි.
 
මෙම ගීතය තුළ සමස්ත සිනමා සිත්තම ම කැටිකර ඇතැයි පැවසුව ද අතිශයෝකිත්යක් නොවේ. එම නිර්මාණයේ දී ද ප්‍රේක්ෂක ප්‍රජාවට සම්මුඛ වන්නේ විවාහ දිවියේ දී සම්මුඛ නොවූ, අත් නොවිඳි ආදරයක් අබියස අසරණ භාවයට පත්වන බිරිඳක්, එම විවාහක කාන්තාව සමග පෙම්සබඳතාවක වෙළෙන තරුණයෙක් සහ විවාහක කතගේ සැමියා මුහුණ දෙන ඛේදවාචකය යි.
 
 Lady Chatterleys Lover
 
විශ්ව සාහිත්‍ය තුළ ද අපට මෙවැනි චරිත අනන්තවත් හමු වී තිබේ. ඒ අතුරෙන් එච්. ඩී. ලෝරන්ස් ගේ චැටර්ලි ආර්යාව, ගුස්ටාෆ් ප්ලේබෙයාගේ මැඩම් බෝවාරී සහ චාලට් බ්‍රොන්ටේගේ ජේන් අයර් සුවිශේෂ ය. මෙම කාන්තා චරිත ත්‍රිත්වය ම ‘අසම්මත යැයි සම්මත’ එසේත් නොවේ නම් ‘අනියම් යැයි සම්මත’ පෙම් රැහැන්වල පැටලුණු කාන්තා චරිතයෝ වෙති.
 
 නමුදු එම කාන්තාවෝ එබඳු පෙම් සබඳතා කෙරෙහි යොමු වූයේ ඇයි ද යන්න පිළිබඳ සාකාච්ඡා කරන්නට පෙලඹෙන්නෝ අවම ය.
 
විවාහක බිරිඳක් සහ සැමියෙක් එම විවාහක කුටුම්බය තුළ රැඳී සිටිය දී ම වෙනත් පිරිමියෙකු සහ ගැහැනියක සමග ආදර සබඳතාවක් පැවැත්වීම නීත්‍යානුකූල පාර්ශ්වයෙන් වරදක් වුව ද එය එසේම ද යන්න තවමත් විසඳුමක් නොලද පැනයකි. 
 
කුටුම්බයක් තුළ රැඳී සිටින බිරිඳකට හෝ සැමියෙකුට සිය බිරිඳගෙන් හෝ සැමියාගෙන් ඔවුනොවුන් තෘප්තිමත් වන ආකාරයේ ආදරයක්, ලිංගික තෘප්තියක් ලැබෙනවා ද නැද්ද යන්න පිළිබඳ නිවැරැදි අවබෝධයක් පවතින්නේ බාහිර සමාජයේ වෙසන පුද්ගලයන්ට නොවේ; එහි රස-නීරස බව හඳුනන්නේ ඔවුන් ම මිස බාහිර සමාජය නොවේ. 
 
 
එබඳු තත්ත්වයක් මත යම් ආකාරයකින් යට සඳහන් කළ ආකාරයට අසීරුවෙන් දිය යට සඟවාගෙන සිටි රබර් පන්දුව දියෙන් ඉහළට මතු වු සැණින් ඒ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා සමාජ ගතවන්නේ විදුලි වේගයෙනි. එහි දී අදාළ පුද්ගලයන්ගේ පවුල් කුටුම්බ තුළ පැවති අටෝ රාසියක් වූ ගැටලු කිසිවක් කෙරෙහි අවධානය යොමු නොකරන සමාජය සැමියා හැර වෙනත් පුරුෂයෙකු සමග හෝ බිරිඳ හැර වෙනත් කාන්තාවක් සමග පැවති ඇසුර පිළිබද පමණක් ම සාකච්ඡා කරන තත්ත්වයට සමාජය පත්ව තිබීම කනගාටුවට කරුණකි.
 
 

Hansavilak
මේ දිනවල ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තිරගත කෙරෙන, ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා නිර්මාණයක් වන ‘‘හංස විලක්’’ තුළ සාකච්ඡා කෙරෙන්නේ ද මෙබඳු ම ගැටලුවකි. 

 
සැබැවින් ම මෙය ‘සමාජ ප්‍රශ්නයක්’’ ලෙස හඳුනාගන්නට සමාජ විද්‍යාඥයෝ පවා පසුබට වන බවක් දක්නට තිබේ.
 
යට සඳහන් ගීත ද්වය ඇසුරෙන් කිසියම් විග්‍රයක් කළා මිස අද සාකච්ඡා කෙරෙන රුපවාහිනී නාට්‍ය කුමක් ද යන්න පිළිබඳ තවමත් සඳහනක් නැතැයි දැන් ඔබට සිතෙන්නට පිළිවන. එබැවින් දැන් ඉහත ගීත ද්වය සහ අද විමංසනයට ලක් කෙරෙන රුපවාහිනී නාට්‍ය අතර පවත්නා සම්බන්ධය පිළිබද විමසා බලමු.
 
 Drama 1
  
 සිරස රුපවාහිනී නාලිකාව ඔස්සේ මෑතක දී විකාශනය වූ ‘‘දැකපු නැති හීන’’ නම් වූ මෙම රුපවාහිනි නාට්‍ය විනාඩි පනහක් වන සේ කොටස් තුනක් ඇතුළත විකාශනය වූවකි. එහි අන්තර්ගත කතා සාරාංශය මෙලෙස කැටි කර දැක්විය හැකිය.
 
වසර පහළොවක් එක වහලක් යට ජීවත්වන දරුවන් ද නොමැති විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් (යසස් සහ නෙතාරා) සහ පුද්ගලික ආයතනයක විධායක නිලධාරිනියක්. නිරන්තරයෙන් ම තරුණියන් වසඟයට පත් කරගන්නා සංගීත ශිල්පියෙක් (රුක්ෂාන් පෙරේරා). එම සංගීත ශිල්පියා සමග පෙම්සබඳතාවක් ගොඩනගා ගන්නා යට කී විධායක නිලධාරිනිය සේවය කරන ස්ථානයේ ම සේවය කරන, ඇගේ යෙහෙළියක (මින්කි) ද වන තරුණියක්.
 
යසස් සහ නෙතාරා විවාහක යුවළක් වුව ද වසර පහළොවක් පුරා ම යසස් නෙතාරා පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ඇති බව නාට්‍ය ආරම්භයේ දී ම නෙතාරා පවසන්නී ය. ඇය ප්‍රේක්ෂක ප්‍රජාවට එසේ පැවසුව ද මේ වන විට යසස් ඔහුගේ අතීතය දෙස ආපසු  හැරී බැලීමේ දී තමන්ට අතින් විශාල වගකීම් කොටස් අතපසු වූ බව වටහා ගන්නේ ය; ඒ පිළිබඳව සිය බිරිඳ වන නෙතාරාට ද පවසන්නේ ය. 
 
නමුදු මේ වන විට අස්වයා පැන ගොසිනි. එනම් නෙතාරා සිය යෙහෙළියගේ ද පෙම්වතිය වන සංගීත ශිල්පියා (රුක්ෂාන්) සමග පෙම් සබඳතාවක පැටලී හමාර ය.
 
නෙතාරා විවාහක කාන්තාවක් බවත්, ඒ විශ්වවිද්‍යාල මාහාචාර්යවරයෙක් සමග බවත්, ඇය මේ වන විට සිය පෙම්වතිය ලෙස සිටින මින්කිගේ ද සමීතම යෙහෙළිය බවත් රුක්ෂාන් දන්නා අතර නෙතාරා ද තමා පෙම්වතකු ලෙස ඇසුරු කරන්නී සිය යෙහෙළියගේ ද පෙම්වතිය බව හොඳින් ම දැන සිටින්නී ය.
 
Drama 2
 
මෙම රුපවාහිනි නාට්‍ය නරඹන බොහෝ දෙනෙකු නෙතාරා නරක ගැහැනියක යැයි අදහස් කරන්නට පිළිවන. මතුපිටින් බැලූ විට එය එසේ වුව ද නෙතාරා සොයන්නේ හුදු ලිංගික ආශ්වාදය නොවේ. ඇයට අවශ්‍ය වන්නී ඇය සමග සම සමව බෙදාගන්නා ආදරයකි. ඇගේ සිත පිනවන වදන් හුවමාරු කරගන්නා, එයට අනුබල සපයන ආදරණීයයෙකි.
 
රුක්ෂාන් යනු එක් තරුණියක් දෙදෙනෙක් මතු නොව තිදෙනෙකුගේ හෝ ඊටත් වැඩි තරුණියන් පිරිසක් ඇසුරු කළ ද සෑහීමකට පත් නොවන චරිතයකි. ඔහුට අවංකව ම ආදරය කරන්නී මින්කි ද නොබෝ දිනකින් ම එය දැනගන්නී ය. 
 
එහෙත් ඇය රුක්ෂාන්ට දිගින් දිගට ම ආදරය කරන්නී ය; ඔහු පසුපස ම ඇදෙන්නී ය. ඒ සියල්ල ම දන්නා නෙතාරා ද විවටින් වට රුක්ෂාන් හමුවන්නී ය; ඔහු සමග දුරකතනයෙන් ආදර බස් හුවමාරු කරගන්නී ය.
 
මේ වන විට පහළොස් වසරක් තමා සමග සිටි බිරිඳගේ වෙනස පිළිබඳ යසස්ට ද ඉව වැටෙන්නේ ය. ඔහු නිරන්තරයෙන් ම ඇය පිළිබඳ විමසිලිමත්වන්නේ ය. ඒ, ඔහු මේ වන විට සැබැවින් ම නෙතාරා කෙරෙහි අවධානය යොමු කරන්නට පෙලඹී ඇති බැවිනි; ඇයට ආදරය කරන්නට පෙලඹී ඇති බැවිනි. 
 
එය වඩ වඩාත් සාක්ෂාත් කෙරෙන්නේ නාට්‍යය අවසානයේ දී ය. නෙතාරා ද යසස් බඳු පුද්ගලයෙක් හමුවීම පිළිබඳ සැබැවින් ම තුටු වන්නී ඔහු මේ වන විට තමාට සැබැවින් ම ආදරය කරන, තමා අත්හැර නොයන සැමියෙකු බව ප්‍රත්‍යක්ෂ වීමෙන් ඉක්බිති ය.
 
රුක්ෂාන් නිරන්තරයෙන් ම යත්න දරන්නේ නෙතාරා සමග ලිංගික සබඳතාවයක් පැවැත්වීම සඳහා ඇය පොලඹාවාගැනීමට වුව ද ඇය බලාපොරොත්තුවන්නී හුදු ලිංගික සබඳතාව ඉක්මවා ගිය අධ්‍යාත්මික බැඳීමකි. ඒ, අන් කිසිවක් නිසා නොව පහළොස් වසරක් පුරා ඇයට සිය සැමියා වෙතින් ඊට ප්‍රතිචාරයක් නොලද බැවිනි. 
 
කෙසේ වුව ද අවසන රුක්ෂාන් යත්න දරන්නේ සිය පෙම්වතියන් අතුරෙන් වඩාත් සමීප ම පෙම්වතිය වන මින්කි ද මගහැර වඩ වඩාත් නෙතාරා වෙත ආසන්න වීමට ය. ඔහු තමාගෙන් වෙනස් දුරස්වීමට හේතුව නෙතාරා බව නොදැන ම මින්කි සිය දිවි නසාගන්නී ය.
 
Drama 3
 
එතෙක් රුක්ෂාන් කෙරෙහි ආසක්තභාවයක් දැක්වූ නෙතාරා ද එතැන් සිට වෙනස් ම තීරණයක් ගන්නී ය. ඒ තිරණය හේතුවෙන් අගාධයට යාමට නියමිතව තිබූ නෙතාරාගේ ජීවිතය එම තත්ත්වයෙන් මුදවාගන්නා යසස් සිය අවංක ආදරය ප්‍රත්‍යක්ෂ කරන්නේ ය. 
 
එය කෙසේ ද, කුමක් ද, ඇයි ද යන්න මෙහි සටහන් කිරීමෙන් වැළකෙන්නේ මෙම නාට්‍ය නොනැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාව එය නැරඹීමට පෙලඹවිය යුතු බැවිනි. 
 
මන් ද මෙය බැලු බැල්මට ළද බොළඳ නාට්‍යක් සේ දිස් වුව ද මෙහි යටි පෙළ කියවාගත හැකි නම් බොහෝ විවාහක යුවළ අතර මෙන් ම පෙම්වතුන් පෙම්වතියන් අතර පවත්නා නොගැළපීම් සහ ඔවුනොවුන්ගේ මානසික පීඩාවලට හේතු පාදක වන්නේ කුමන කරුණු ද යන්න අවබෝධ කරගත හැකි ය. 
 
එමෙන් ම තරුණියන්ගේ සහ විවාහක කාන්තාවන්නේ ජීවිත සමග සෙල්ලම් කරන, ආදරය නොහඳුනන, හුදෙක් ආදරය යනු ලිංගික තෘප්තිය පමණක් ය යන මතයේ සිට කටයුතු කරන පුරුෂ පාර්ශ්වය කෙරෙහි ද එල්ල කර ඇති අතුල් පහරකි.
 
නාට්‍ය සඳහා රඟපෑමෙන් දායකත්වය සපයන: උපේක්ෂා ස්වර්ණමාලී (නෙතාරා), සම්පත් ජයවීර (යසස්), ශනුදි ප්‍රියසාද් (මින්කි), පාලිත අබේරත්න (රුක්ෂාන්) ප්‍රමුඛ සියලු නළු නිළියෝ ද සිය වගකීම මැනවින් ඉටු කර ඇති බව සඳහන් කළ යුතු ය. තිරපිටපතේ අන්තර්ගත වදනක් වදනක් පාසා අදාළ හැඟීම උත්පාදනය කරන්නට (සතර අභිනයෙන් ම) ඔහුවු සමත්ව ඇත.
 
මෙම නිර්මාණයේ පිටපත ද අධ්‍යක්ෂකවරයා වන සුපුන් රත්නායකගේ ම ය. ඔහු සිය පිටපත සඳහා උපස්තම්භක කරගෙන ඇත්තේ සාමාන්‍ය වාග් මාලාවකි. නාට්‍ය යේ සාර්ථකත්වය වඩාත් ඉස්මතුවන්නට එම වාග්මාලාව මනා පිටිවහලක් වී ඇති බව ද පැවසිය යුතුම ය.
 
සිය බිරිඳ, සැමියා, පෙම්වතා හෝ පෙම්වතිය සන්තෘප්ත කිරීම යනු හුදෙක් මුදල්, දේපළ, සමාජ තත්ත්ව වර්ධනය කරගැනීම පමණක් ම නොව ඔවුන් එකිනෙකාට ආදරය ද කළ යුතු ය සහ ඔවුනොවන් අනෙකා කෙරෙහි ගරු කළ යුතු ය යන්න මෙම නාට්‍ය තුළින් ගම්‍යමාන කෙරේ. 
 
අවසන් වරට යළි ආරාධනා කර සිටින්නේ මෙම නාට්‍ය නොනැරඹූ ප්‍රේක්ෂක ප්‍රජාවක් සිටී නම් අන්තර්ජාලයට ගොස් එය නරඹන ලෙසයි; එය නරඹා යළිත් ඉහත සඳහන් ගීත හොඳින් ශ්‍රවණය කරන ලෙසයි.       
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
 
 
 
 
 
 
 
ආලින්දයෙන් ඔබ්බට අනෙකුත් ලිපි :
 
 
  
 
 

 

 


THE LEADER TV 
 
 

 

'ස' ගොනාට අන්දන්න අම්බලන්ගොඩින් මර්වින් කෙනෙක් ?

 

 

 රට හදන්න එන දේශපාලකයෝ දැන් නෑ - 2025 කැම්පේන් එක පරිසරය? -චන්දන ප්‍රසන්න

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...