නමුදු රට අභ්‍යන්තරයේ ජාතින් අතර හෝ විවිධ ආගම් ලබ්ධිකයන් අතර ගැටුමක් සිදුවී තිබේ නම් ඒ 1915 ඇතිවූ සිංහල- මුස්ලිම් ගැටුම පමණි.
(මෙය වැරැදි නම් නිවැරැදි කළ හැකි ය) එය ද හුදෙක් ජාති දෙකක්, වර්ග දෙකක් අතර හෝ එසේත් නොමැති නම් ආගමික් දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් අභිභවන දේශපාලනික කුමන්ත්‍රණයකි.
නිදහසට පෙර එසේ වුව ද 1948 දි ලැබුණා යැයි පවසන (ඊනියා) නිදහසෙන් පසු එදා සිට මේ දක්වා රට අභ්‍යන්තරයේ පැවති ජාතිවාදි හෝ ආගම්වාදී ගැටුම් බහුල ය. 1956 වසරේ දි ගල්ඔය ඇතිවූ සිංහල දෙමළ ගැටුමේ සිට අවසන 2019 වසරේ දී කුරුණෑගල දි ඇතිවූ ගැටුම දක්වා අවම වශයෙන් ගැටුම් 14ක්. සිදු වී තිබේ. ඒ මෙසේ ය.
1956 වසරේ දී ගල්ඔය සිදුවූ සිංහල-දෙමළ ගැටුම
1958 වසරේ දිවයින පුරා සිදුවූ සිංහල දෙමළ ගැටුම්
1976 වසරේ දී පුත්තලමේ සිංහල මුස්ලිම් ගැටුම
1977 වසරේ මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව සිදු කළ ජාතිවාදී පහර දීම්
1981වසරේ දී යාපනය පුස්තකාලය ගිනි තැබීම
1982 වසරේ දී ගාල්ලේ සිංහල මුස්ලිම් ගැටුම
1983 වසරේ දී සිදුකළ කළු ජූලිය
1987 වසරේ දී ත්‍රිකුණාමලය ප්‍ර දේශයේ සිදු කළ සිංහල විරෝධී ප්‍රහාර
2001 වසරේ දී මාවනැල්දේ දී සිදු වූ සිංහල මුස්ලිම් ගැටුම
2002 වසරේ දී බේරුවල ප්‍රදේශයේ සිදු වූ සුන්නි-වහාබි ගැටුම
2014 වසරේ දී අලුත්ගම ඇති වූ මුස්ලිම් විරෝධී ගැටුම
2017 වසරේ දී ගිංතොට ප්‍ර දේශයේ ඇති වූ මුස්ලිම් විරෝධී ගැටුම
2018 වසරේ දී: අම්පාර, දිගන සහ තෙල්දෙණිය ප්‍ර දේශවල සිදුවු මුස්ලිම් විරෝධි ගැටුම
2019 වසරේ දී කුරුණැගල ප්‍රෙද්ශයේ සිදු වූ මුස්ලිම් විරෝධී ගැටුම්
මේ සියලු ගැටුම් දෙස මතුපිටින් බැලූ බැල්මට පෙනෙන්නේ ජාතින් දෙකක්, ආගමිකයන් දෙපිරිසක් හෝ භාෂා දෙකක් කතාකරන දෙපිරිසක් අතර එකිනෙකාට එරෙහිව නැගී සිටීම හේතුවෙන් සිදු වූ ගැටුම් ලෙස ය. නමුදු සැබැවින් ම නම් මේ සියල්ල ‘‘සිදු වූ ගැටුම්’’ නොව ‘‘සිදු කළ’’ ගැටුම් ය.
තිස් වසරක් පුරා පැවති යුද්ධයට හේතුපාදක වන්නේ ද සිංහල සහ දෙමළ යැයි නම් කර සිටින, එහෙත් එකම රටක වෙසෙන මිනිස්සු දෙපිරිසක් අතර පැවති විරසකය යි.
නමුදු මේ සියලු විරසක ඇතිකරන ලද්දේ එදා මෙදාතුර රට පාලනය කළ සහ එකී පාලකයන්ට මුක්කු ගැසූ වාමාංශික යැයි කියාගන්නා ඇතැම් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් ය.
‘‘ත්‍රෛලෝකා’’
මෙකී යථාර්ථය ඉතා මැනවින් ප්‍රකට කෙරෙන ටෙලි නිර්මාණයක් අන්තර්ජාලයේ තිබී මගේ නෙත ගැටුණේ අහම්බයෙනි. ඒ, වෙනත් ලියවිල්ලක් සඳහා ත්‍රෛලෝක විජයපත්‍ර හෙවත් කංසා පිළිබඳ Google පිරික්සුමක දී ය.
කලණ ගුණසේකර, දසුන් පතිරණ, පූජන දංදෙණිය, දයාදේව එදිරිසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, කොරළගේ සමන්, උමයාංගනා වික්‍රමසිංහ, නිරංගනී ශම්මුගරාජා, ආනන්ද කුමාර උන්නැහේ, වසන්ති රන්වල, මයුර කාංචන, හරිඳු රංගජිත් අබේසූරිය, සරත් කරුණාරත්න, ජෙහාන් අප්පුහාමි, කසුනි කාවින්දි ප්‍රනාන්දු, සංජිව දිසානායක සහ ගාමිණී ජයරත්න රංගනයෙන් දායක වන මෙම ටෙලි නිර්මාණයේ තිර රචනය චාලක රණසුරිය සහ නිලන්ත පෙරේරාගෙනි.
සංගීතය සපයනු ලැබ ඇත්තේ විශ්ව සංකල්ප ඇල්දෙණිය විසිනි. කොමන් ග්‍රවුන්ඩ් නිෂ්පාදනයක් වන මෙම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රදීප් ධර්මදාස ය. ටෙලි නිර්මාණයේ නම ‘‘ත්‍රෛලෝකා’’ ය.
කතා සාරාංශය:
සුනාමි ව්‍යසනයෙන් ඉක්බිති ගොඩනැගූ වෙරළාශ්‍රිත ගමකි. එ’ගමේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන තෙවර්ගයේ ම ජනතාව ඉතා සාමකාමීව ජීවත් වෙති. රැකියාව ලෙස ත්‍රී රෝද රථයක් පදවන, ගමේ පාපන්දු කණ්ඩායමේ ද නායකත්වය දරන තරුණයෙකි. ඔහුගේ කණ්ඩායම පාපන්දු ජයග්‍රහණය ලැබූ දවසේ අහම්බෙන් මෙන් ජනතාව අතුරෙන් කෙනෙක් එම තරුණයා ඉදිරි ප්‍රාදේශිය සභා මැතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි යෝජනා කරයි. අනෙක් පිරිස ද එය අනුමත කරයි.
මේ මොහොතේ එම ස්ථානයට පැමිණ සිටි ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වන සිංහල පුද්ගලයා සහ ඉදිරි ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින මුස්ලිම් පුද්ගලයා පෙර කී තරුණයා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් බියට පත්වෙති. නමුදු ඔවුන් එය මතු පිටට නොපෙන්වන අතර සියලු ගැටුම් සහ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන්නේ මෙතැන් සිට ය.
කාලයෙන් කාලයට සමාජගතකරන ව්‍යසන:
සිංහලයා වඳ බවට පත්කරන වඳ පෙති වර්ග ඇතුළු නොයෙක් උපක්‍රම පවතින බව පසුගිය සමයේ සමාජගතව පැවතුණි. අම්පාරේ ගැටුමට හේතු වූයේ ද ඊනියා වඳ පෙත්තකි. ඊට අමතරව කාන්තා තනපටවල ද කිසියම් රසායනික ද්‍රව්‍යයක් පවතින බවටත්, යතුරුපැදිවල ආසනයට යොදන කවරයේ ද පිරිමින් වඳ කරන යම් රසායනික ද්‍රව්‍යයක් පවතින බවටත් කලක සිට රාවයක් පැවතුණි.
මේ සියල්ලේ කුටප්‍රාප්තිය වූයේ ‘‘කාන්තාවන් වඳ බවට පත්කරන වෛද්‍යවරයා’’ සම්බන්ධ නාටකය යි. නමුදු මේ වන විට ඒ සියල්ල කුණාටුවකට ගසාගෙන ගොසිනි.
යළි කුමන හෝ මැතිවරණයක් ආසන්නයේ දී මේ සියලු උපාය උපක්‍රම සහ කුමන්ත්‍රණ කල එළි බසින බව සක් සුදක් සේ පැහැදිලි ය.
උගත් තරුණ තරුණියන්ගේ ඛේදවාචකය:
ත්‍රෛලෝකා ටෙලි නිර්මාණය තුළ යට කී කුමන්ත්‍රණකාරී දේශපාලන ව්‍යසනය පිළිබඳ යථාර්ථය පිළිබිඹු කරන අතර ම මෙරට උසස් අධ්‍යාපනය සමත්ව දෙවනුව විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලැබුව ද අධ්‍යාපන සුදුසුකම්වලට සාපේක්ෂ රැකියා නොලද තරුණ පිරිස් මුහුණ පා සිටින ඛේදනීය තත්ත්වය ද සියුම් හුයක් සේ මතු කරන්නට තිර රචක දෙපළ සමත් වී ඇත.
වෙසෙසින් ම උගත් තරුණ පිරිස් සමාජයේ පවත්නා වැරදි දුටු විට ඊට එරෙහිව හඬනැගීම පිස්සුවක් ලෙස සලකන සමාජය එබඳු තරුණ කොටස් තල්ලු කරන්නේ කුමන අන්තයකට ද යන්න මෙහි දී දැකගත හැකි ය. කපටි අවස්ථාවාදි දේශපාළුවෝ ඔවුන් කෙරෙහි දක්වන මුග්ධ ආකල්ප හේතුවෙන් ම එම පිරිස් සාමාන්‍ය ජන සමාජයෙන් වෙන් කර තැබීමට ගන්නා උත්සාහය ද මෙම නිර්මාණය තුළ සාකච්ඡාවට බඳුන් කෙරේ.
ඡායා මාලෙලා සහ චේලා:
යහපත් ලෝකයක් වෙනුවෙන් සිය දිවිය කැප කළ විවිධ පුද්ගලයන් අතර: චේ ගවේරා, බොබ් මාලේ සහ වික්ටර් හාරා යන ත්‍රෛ නාමය දේශපාලන ක්ෂේත්‍ර යේ මතු නොව කලා ක්ෂේත්‍ර යේ ද නිතර අසන්නට දකින්නට ලැබේ. මේ තිදෙනා අතුරෙන් වික්ටර් හාරා මඳක් පිටුපසින් සිටිය ද චේ සහ මාලේ යනු දැඩි ලෙස වෙළෙඳපළකරණයට ලක්වූ චරිත ද්වයකි.
ඇතැම් පුද්ගලයෝ ‘‘චේ වගේ’’ සහ ‘‘මාලෙ වගේ’’ වී සිටිති. නමුදු ඒ බාහිර ස්වරුපයෙන් ම පමණි. විකල්ප ගායකයෙකු වන චින්තක ගීතදේව ගයන ‘‘මාලෙ ගෙලේ චේ පපුවේ’’ ගීතය ඊට කදිම නිදසුනකි.
‘‘ත්‍රෛ ලෝකා’’ ටෙලි නිර්මාණයේ ඡායා බොබ් මාලේ ද එවන් චරිතයකි. මෙම චරිතය තුළින් පිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා මතුකරන පුද්ගල ව්‍යාජත්වය නුතන සහ අනාගත පරපුරට ද කදිම ඉගැන්වීමකි.
මන්ද බොබ් මාලේ යනු ලොව සියලු ජාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිය හඬ අවදි කළ ගායකයෙකි; ඒ වෙනුවෙන් පෙනී සිටි මිනිසෙකි.
මෙම ටෙලි නිර්මාණයේ සිටින ඡායා මාලේ අන්ත ජාතිවාදියෙකි; ආගම්වාදියෙකි. නමුදු ඔහු මතු නොව ඔහු බඳු ම බොහෝ තරුණ පිරිස් එවන් තත්ත්වයකට පත්කර ඇත්තේ වර්තමානයේ පවතින: අධම, තුච්ඡ, අවස්ථාවාදී සහ බල ලෝබි දේශපාළුවෝ බව ටෙලි නිර්මාණය ‘‘කියවීමේ දී’’ වැටහෙන්නේ ය.
සමාජයේ වෙසෙන සාමාන්‍ය පුද්ගලයාගේ සිට උගත්, බුද්ධිමත්, දුප්පත්, පොහොසත් යනාදි සියලු ම පුද්ගලයෝ යට කී දේශපාලුවන්ගේ අතකොළු බවට පත්ව තිබෙන ආකාරය සමස්ත ටෙලි නිර්මාණය පුරා ම දක්නට ලැබේ.
සිංහල බෞද්ධයාගේ සහ මුසල්මානුවාගේ දෙබිඩි බව:
මෙම ටෙලි නිර්මාණයේ එන එක් චරිතයක් තුළින් සිංහල බෞද්ධයාගේ නිරුවත හෙළි කරන අතර ම තවත් චරිතයක් තුළින් මුසල්මානුවාගේ නිරුවත ද කදිමට හෙළි කෙරේ.
සිංහල බෞද්ධ පුද්ගලයා දෙමළ තරුණියකට ආදරය කරන අතර ම මුසල්මානුවෝ ඝාතනය කළ යුතුය යන මත දරයි.
මුසල්මානුවා මතුපිටින් සිංහල සමාජයේ ආදරය දිනාගෙන සිටින අතර ම සිංහල දේශපාලකයා සමග එක්ව සිංහල මුසල්මානු සාමය, සමගිය සහ එකමුතු බව කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරයි.
මේ තෙපළ ම නියෝජනය කරන්නේ සමාජයේ වෙසෙන එවන් පුද්ගලයෝ මිස හුදු තනි තනි චරිත නොවන බව දේශපාලනයේ බියකරු, නිහීන යථාර්ථය පිළිබඳ අවදියෙන් සිටිනා පිරිස් අවබෝධ කරගනු නියත ය.
ජාතිය, ආගම බේරාගැනීමේ ඊනියා සටන්වල නිරතව සිටින පුද්ගලයෝ සහ කණ්ඩායම් විදෙස්ගත ශ්‍රමිකයන් රවටා මුදග් ගරාගන්නා ආකාර ය ද, නවින තාක්ෂණය උපයෝගි කරගනිමින් විවිවිධ ගැටුම් නිර්මාණය කරන ආකාරය ද ඒ සියල්ල වෙනුවෙන් එකී බඩගෝස්තරවාදින්ගේ බැංකු ගිණුම් තර වෙන ආකාරය ද මෙම ටෙලි නිර්මාණය තුළින් ඉතා සූක්ෂමව ඉදිරිපත් කෙරේ.
ඉතා දීර්ඝ නොවන, කොටස් දාහතරකින් සමන්විත ත්‍රෛලෝකා ටෙලි නිර්මාණය තුළින් ලාංකීය දේශපාලනයේ තවත් එක් නිරුවත් පැතිකඩක් විදහා දැක්වේ.
දැනට 2019 වසරේ කුරුණැගල දී සිදුකළ මුස්ලිම් විරෝධී ප්‍රහාරයෙන් කොමාවක් තබා ඇති මේ අන්තවාදී ගැටුම් අනාගතයේ දී සිදු නොවනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.
එබැවින් රට කරවන දේශපාළුවෝ රටේ ජනතාව මුළා කරමින්, අන්‍ය ජාතිකයෝ සහ අන්‍ය ආගමිකයෝ මත පීඩනය පටවමින් තමන්ගේ මඩි තරකරගන්නේ කෙසේ ද යන්න පිළිබඳව වත්මන් තරුණ පරපුර සහ අනාගත පරපුර දැනුවත් කළ යුතු ය.
මෙතෙක් රටේ සිදුවූ මෙවන් ව්‍යසන අනාගතයේ දී සිදුවීම වැළැක්වීම අපහසු වුව ද එබඳු ව්‍යසන අවම කිරීමට හෝ යත්න දැරිය යුතු ය.
‘‘ත්‍රෛ ලෝකා’’ යනු එවන් අවබෝධයක් රටේ ජනතාව වෙත ලබා දිය හැකි අගනා නිර්මාණයකි. එම නිර්මාණය මෙතෙක් නරඹා නොමැති කිසිවකු සිටී නම් කඩිනමින් ම එම නිර්මාණය නරඹන මෙන් ඉල්ලා සිටීම ද අපගේ වගකීමක් ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
කියවන්න :
##############
තවත් ඇන්දිල්ලක් : ෆේල් වියත්මග වෙනුවට වියතුන්ගේ හඬ එයි
විත්තිකාරයෝ නිදහස් කරන අරුම පුදුම කැකිල්ලේ කොමිසම