* මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් කටයුතු කළ ආයතන රැසක දේපළ පැවරීම සහ විකිණීම වළක්වමින් මහ බැංකුව ගත් තීරණයට අධිකරණ අනුමැතිය.
* අනුමැතිය නොලත් මූල්‍ය ව්‍යාපාරවල මුදල් තැන්පත් නොකරන ලෙසත්, අමාරුවෙන් උපයාගත් ධනය අවදානමේ නොදමන ලෙසත් මහජනතාවට විශේෂ දැනුම්දීමක්.
නීත්‍යානුකූල අවසරයකින් තොරව මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබාගැනීම සහ මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සමාගම් හයක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් සියලුම දේපළ හා වත්කම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තියට අනුව මහ බැංකුවේ බැංකු නොවන මුදල් ආයතන පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් පනවන ලද මෙම වත්කම් තහනම් නියෝග, කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින්ද තහවුරු කර දීර්ඝ කර ඇත.
ඒ අනුව, අදාළ සමාගම්වලට හෝ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අයත් කිසිදු නිශ්චල හෝ චංචල දේපළක් විකිණීම, වෙනත් පාර්ශ්වයකට පැවරීම හෝ කිසියම් ආකාරයකින් ගනුදෙනු කිරීම මුළුමනින්ම තහනම් වේ.
වත්කම් අත්හිටුවීමට ලක්වූ සමාගම් 6
මහ බැංකුව විසින් නම් කර ඇති, දැනට මෙම තහනම් නියෝග ක්‍රියාත්මක වන ආයතන මෙසේය.
1- කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම (Kasagala Green Plantation (Pvt) Ltd)
2- සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම (Ceylon Green Life Plantation (Pvt) Ltd)
3- සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (Singhe Capital Investment Ltd)
4- ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩිංග්ස් (පුද්ගලික) සමාගම (Pro Shop Advertising Holdings (Pvt) Ltd)
5- ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (පුද්ගලික) සමාගම (Athens International Education Centre (Pvt) Ltd)
6- ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (පුද්ගලික) සමාගම (Eyon Lanka Investment & Film Production

විමර්ශන ක්‍රියාත්මක වන ආකාරය
මෙම ආයතන අතරින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් යන සමාගම් දෙක සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය ප්‍රකාරව තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව මහ බැංකුව සඳහන් කරයි.
අනෙක් අතට, සිංහ කැපිටල්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං, ඇතැන්ස් ඉන්ටර්නැෂනල් සහ ඊයොන් ලංකා ඉන්වෙස්ට්මන්ට් යන ආයතන හතර නීතියට පටහැනිව මුදල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බවට හෝ මහජන තැන්පතු ලබාගෙන ඇති බවට මහ බැංකු නිරීක්ෂණ මඟින් දැනටමත් නිගමනය කර අවසන්ය.
මීට අමතරව, විවිධ ප්‍රදේශවලින් ලද මහජන පැමිණිලි සැලකිල්ලට ගනිමින් තවත් පුද්ගලයන් සහ ආයතන කිහිපයක් සම්බන්ධයෙන්ද මෙවැනිම මූල්‍ය විමර්ශන ආරම්භ කර තිබේ.
මහජනතාවට කළ විශේෂ සිහිපත් කිරීම
මෙරට නීතියට අනුව මහජනතාවගෙන් මුදල් තැන්පතු බාරගත හැක්කේ 1988 අංක 30 දරන බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල බලපත්‍රයක් හිමි, නැතහොත් එම නීතිවලින් නිශ්චිතව නිදහස් කර ඇති ආයතනවලට පමණි.
විවිධ ආයෝජන ව්‍යාපෘති හෝ වැඩි පොලී ආකර්ෂණයන් පෙන්වමින් සිදුකරන මෙවැනි අනවසර මූල්‍ය ක්‍රියාකාරකම්වල මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙසත්, එසේ නොවුණහොත් තමන් මහන්සියෙන් උපයාගත් මුදල් මුළුමනින්ම අහිමිවීමේ බරපතළ අවදානමක් පවතින බවත් මහ බැංකුව මහජනතාවට අවධාරණය කරයි.
යම් පුද්ගලයකු හෝ ආයතනයක් නීතිවිරෝධී ලෙස තැන්පතු ලබාගන්නා බවට තොරතුරු වෙතොත් ඒ පිළිබඳව වහාම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දෙන ලෙසද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
(සටහන | ජේ. මුණසිංහ )
වැඩිදුර කියවීම සඳහා නිල මූලාශ්‍ර සබැඳි:
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල නිවේදන පිටුව (CBSL Official Notices & Press Releases)







