leader s

* ජාතික ආරක්ෂාව සහ මානව හිමිකම් අතර සමබරතාව රැකගැනීමේ අරමුණින් නව නීති

* දශක හතරක පැරණි නීතිය වෙනස් කරමින් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත එළිදකියි

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත (PTA) සම්පූර්ණයෙන්ම අහෝසි කර, ඒ වෙනුවට "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" රජය විසින් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

 

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කර ඇති මෙම කෙටුම්පත මඟින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා වන නීතිමය රාමුව නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ.

නව පනත් කෙටුම්පතේ මූලික අරමුණු

 

මෙම පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව සිදුවන ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලින් රටත්, ජනතාවත් ආරක්ෂා කරගැනීමට පියවර ගැනේ.

 

විශේෂයෙන්ම ශ්‍රී ලංකා භූමිය හෝ මෙරට පුරවැසියන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා යොදාගැනීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණකි.

 

එමෙන්ම ත්‍රස්තවාදී සැකකරුවන් හඳුනා ගැනීම, අත්අඩංගුවට ගැනීම, විමර්ශන පැවැත්වීම, රඳවා තබා ගැනීම සහ අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි හා විධිමත් පටිපාටියක් හඳුන්වා දීමට ද මෙමඟින් යෝජනා කර ඇත.

 

දශක හතරක නීතිය අහෝසි කිරීම

1979 දී තාවකාලික විධිවිධාන ලෙස හඳුන්වා දුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) මෙරට නීති පද්ධතිය තුළ දීර්ඝ කාලයක් තිස්සේ සංවාදයට ලක්වූවකි. සැකකරුවන් දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ඇතුළු කරුණු හේතුවෙන් දේශීය සිවිල් සමාජයෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර සංවිධානවලින් ද ඊට විවිධ යෝජනා සහ ප්‍රතිසංස්කරණ නිර්දේශ ඉදිරිපත් වී තිබිණි.

 

නව කෙටුම්පත මඟින් 1979 අංක 48 දරන එම මුල් පනත සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිත අතර, නවීන ලෝකයේ මතුවන සංකීර්ණ ආරක්ෂක අභියෝගවලට මුහුණ දිය හැකි වන පරිදි නීතිමය පදනම සකස් කිරීම රජයේ බලාපොරොත්තුව වී තිබේ.

 

ආර්ථික සහ ජාත්‍යන්තර සබඳතා කෙරෙහි බලපෑම

 

මෙම නීතිමය වෙනස ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳ සබඳතාවලට ද සෘජුවම සම්බන්ධ වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන සඳහා ලබාදෙන තීරුබදු සහනය (GSP+ සහනය) අඛණ්ඩව පවත්වාගෙන යාමේදී, මෙරට මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

 

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ මානව හිමිකම් එකඟතාවලට අනුකූල වන පරිදි මෙරට නීති පද්ධතිය යාවත්කාලීන වීම, විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට මෙන්ම ගෝලීය වෙළඳපොළ තුළ විශ්වාසය තහවුරු කරගැනීමට ද මනා පිටුවහලක් වනු ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මතයවී තිබේ.

 

ඉදිරි ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග

 

ගැසට් මඟින් ප්‍රකාශයට පත් කළ මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන් අනතුරුව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට පුරවැසියන්ට නීතිමය අවස්ථාව හිමිවන අතර, පාර්ලිමේන්තු විවාදයෙන් හා කාරක සභා අවස්ථාවේදී සිදුකෙරෙන සංශෝධනවලින් පසු එය සම්මත කරගැනීමට නියමිතව තිබේ.

 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්