ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම ස්වකීය වියදමින් සවුදියට; මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්ගේ සහයෝගයත් ගනී
ජනාධිපති සමාව ඉල්ලා සවුදි රජුට ලිපියක්; නියෝජ්‍ය කථානායක ප්‍රමුඛ මන්ත්‍රී දූත පිරිසකුත් පිටත්වීමට සූදානම්
සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ මතභේදාත්මක සටහනක් හේතුවෙන් සවුදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝජන් සිවරාසා බේරාගැනීම සඳහා අධිකරණමය සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කර ඇති බව රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරමින් කියා සිටියේ, අදාළ තරුණයා වෙනුවෙන් උපරිම නීතිමය සහ මානුෂීය මැදිහත්වීමක් සිදුකිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.
නීති කණ්ඩායම සවුදියට; මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීම
මෙම නීතිමය ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති නීතිඥවරුන් දෙපළක් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම තම පෞද්ගලික වියදමින් සවුදි අරාබිය බලා පිටත්ව යාමට එකඟතාව පළ කර ඇත. එහිදී සවුදි නීතිඥ ආයතනය සහ අදාළ බලධාරීන් සමඟ සෘජුව සම්බන්ධීකරණය කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සඳහා සහාය වීම ඔවුන්ගේ මූලික අරමුණයි.
ඊට අමතරව, මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ද මෙම සිදුවීම සම්බන්ධයෙන් මැදිහත් වීමට එකඟතාව පළ කර ඇති අතර, සවුදි නායකත්වය වෙත මානුෂීය ඉල්ලීමක් යොමු කිරීම සම්බන්ධයෙන් ඔහු ජනාධිපති නීතිඥවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. අතීතයේදී මාලදිවයිනේ සිරගතව සිටි ලාංකික තරුණයෙකු මුදාගැනීමේ මෙහෙයුමකදී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා දැක්වූ සාර්ථක නීතිමය අත්දැකීම් ද මෙම ක්‍රියාවලියේදී ඉවහල් කරගැනීමට නියමිතය.
බන්ධනාගාර දඬුවම මරණ දඬුවමක් දක්වා වෙනස් වූ හැටි
අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අනෝජන් සිවරාසා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී 2025 සැප්තැම්බර් මාසයේදී සවුදි අරාබියට ගොස් ඇත්තේ රැකියාවක් සඳහාය. ඉස්ලාම් දහමට සහ එරට නීතියට පටහැනි අදහසක් සමාජ මාධ්‍යයේ පළ කිරීමේ චෝදනාව මත 2026 ජූලි 02 වැනිදා ඔහු එරට පොලිස් අත්අඩංගුවට පත්විය.
ඉන් අනතුරුව එරට අපරාධ අධිකරණය විසින් සයිබර් අපරාධ වැළැක්වීමේ නීතිය යටතේ අනෝජන්ට වසර 5ක සිරදඬුවමක් සහ සවුදි රියාල් මිලියන 3ක දඩයක් නියම කළේය. කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව සවුදි රජයේ නීතිපති දෙපාර්තමේන්තුව ෂරියා නීතිය යටතේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර, අභියාචනාධිකරණය මඟින් පසුගිය සැප්තැම්බර් 17 වැනිදා පෙර ලබාදුන් දඩ මුදල අත්හිටුවා ඔහුට මරණ දඬුවම නියම කිරීමට තීරණය කර ඇත.
රාජ්‍ය තාන්ත්‍රික මාවත සහ ජනාධිපති සමාව අයැදීම
මෙම තීන්දුවට එරෙහිව සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට මසක සහන කාලයක් පවතින අතර, ඒ සඳහා වැයවන සම්පූර්ණ නීතිමය වියදම රජය විසින් දැරීමට පියවර ගෙන ඇත.
මීට සමගාමීව පුළුල් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග කිහිපයක්ද ක්‍රියාත්මක වේ:
* පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් සවුදියට:
නියෝජ්‍ය කථානායක මොහොමඩ් රිස්වි සාලිහ්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විශේෂ නියෝජිත කණ්ඩායමක් සහ ජනාධිපති විශේෂ නියෝජිත පිරිසක් සවුදි අරාබියට යැවීමට තීරණය කර ඇත. සවුදි රජු වෙත යොමු කරන ජනාධිපතිවරයාගේ නිල සමාව අයැදීමේ ලිපිය (Royal Clemency appeal) ඔවුන් විසින් භාරදීමට නියමිතය.
* ජාත්‍යන්තර මට්ටමේ සාකච්ඡා:
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් සවුදි විදේශ අමාත්‍යවරයා හමුවී මෙම මානුෂීය සහන ඉල්ලීම සෘජුවම ඉදිරිපත් කිරීමට සූදානම් වේ.
රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනෝජන් සිවරාසා සහ ඔහුගේ පවුලේ ඥාතීන් සමඟ නිරන්තර සම්බන්ධතාවයෙන් පසුවන අතර, මෙම නීතිමය හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට බාධා නොවන පරිදි සියලු පාර්ශ්වයන් වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.







