*පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් රජයත් නොදැන ව්‍යාපාරිකයකුගේ රන් කරඬුවකට දළදා සමිඳුන් වැඩම කළේ කුමන සිරිතකටද? හිටපු මහ දිසාපති සුනිල් කන්නන්ගරගෙන් ප්‍රබල අනාවරණයක්.
*1853 දී පැවරුණේ දළදා වහන්සේගේ භාරකාරත්වය පමණක් නම්, රාජ්‍ය අනුමැතියකින් තොරව ඓතිහාසික මහ කරඬුව වෙනස් කළේ කවර බලයක් මතදැයි ප්‍රශ්න කරයි.
දළදා මහ කරඬුව මාරු කිරීමට විරෝධය දක්වමින් රටේ උගතුන්ගෙන් විරෝධයක් එල්ල වන්නට පටන්ගත්තේ පසුගිය සතියේදී ය. මේ වන විට වසර විස්සක් දියවඩන නිලමේ ධුරය දැරූ නෙරන්ජන් විජේරත්න සහ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන සෙනරත් දිසානායක, අනුර මනතුංග හා මහාචාර්ය මණ්ඩාවල යන විද්වතුන් තිදෙනා එක්ව මේ පිළිබඳව සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යවරයාට මෙහි ඇති වරද පෙන්වා දෙමින් ලිඛිත පැමිණිල්ලක් ද සිදුකර තිබේ.
විද්වතුන්ගේ සහ හිටපු නිලමේවරුන්ගේ විරෝධය
වත්මන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ ද තමන්ට කිසිදු දැනුම් දීමක් නොකර, නීතියට අනුව පුරාවස්තුවක් සේ සැලකෙන දළදා මහ කරඬුව මාරු කිරීම සිදු කර ඇති බව ප්‍රකාශ කරයි. මේ පිළිබඳව තොරතුරු වැඩි වශයෙන් වාර්තා වන්නේ සමාජ මාධ්‍යයේ ය. විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව සිය විරෝධය පළ කළත්, මීට සම්බන්ධ පාර්ශ්වයන් ඒ පිළිබඳව කිසිවක් පවසා නැත. මීට සම්බන්ධිත පාර්ශ්වයන් තුනකි. ඒ, දළදා මාලිගාවේ නිශ්චල හා චංචල දේපළවල භාරකාරත්වය නීතියට අනුව දරන දියවඩන නිලමේ, දියවඩන නිලමේ සමග දළදා වහන්සේගේ සම භාරකාරත්වය දරන මල්වතු-අස්ගිරි උභය පාර්ශ්වීය මහ නාහිමිවරුන් දෙදෙනා සහ දියවඩන නිලමේගේ රාජකාරි අධීක්ෂණය පැවරී ඇති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද ඇතුළත් රජයයි.
වගකිවයුත්තන්ගේ නිහඬතාව සහ බලධාරීන්ගේ අභිරහස
මේ පාර්ශ්ව තුනෙන් රජය නියෝජනය කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආරම්භයේදීම මාධ්‍ය ප්‍රකාශයක් කරමින්, දියවඩන නිලමේ හා උභය පාර්ශ්වීය මහ නාහිමිවරුන් දෙපළ අත්සන් කළ සංදේශයක් මගින් දළදා වහන්සේ තැන්පත් කර ඇති කරඬු පද්ධතියේ පිටත මහ කරඬුව වෙනුවට ව්‍යාපාරිකයෙකු පරිත්‍යාග කළ රනින් නිමකළ කරඬුවක් යොදා ගන්නා බව තමන්ට දැන්වූ බවත්, එම අවස්ථාවට තමාත් සහභාගි වූ බවත් පමණක් ප්‍රකාශ කර නිහඬ විය. දැනට පුරාවිද්‍යා ප්‍රවීණයන්, දළදා මාලිගාවේ පාලන කටයුතු පිළිබඳව මෙන්ම සම්ප්‍රදායික සිරිත් විරිත් පිළිබඳව මනා දැනුමක් ඇත්තෙකු ලෙස ප්‍රකට හිටපු දියවඩන නිලමේවරයෙකු, දේවාලවල හිටපු බස්නායකවරුන් ආදී ක්ෂේත්‍ර ප්‍රවීණයින් මේ පිළිබඳව විරෝධය පළ කරමින් සිය නියෝජනයන් සමාජගත කරද්දී වගකිව යුතු පාර්ශ්ව නිහඬව ඉන්නේ; එක්කෝ තමන්ට දළදා කරඬුව මාරු කිරීම තම අභිමතය පරිදි කළ හැකි අතර ඒවා ප්‍රශ්න කිරීමට කිසිවෙකුට අයිතියක් නැත යන උද්ධච්ච මානසික හැඟීමෙන් හෝ මේ ගැන ප්‍රකාශ කරන්නට නොගොස් නිහඬව සිටීම නිසා මේ කළ වරද යටපත්වී සමාජය නිහඬ වනු ඇතැයි යන අදහසින් විය යුතු ය.
රජයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් නොකළේ තම අමාත්‍යවරයාගේ නිහඬතාව නිසා වන්නට පුළුවන. අමාත්‍යතුමා නිහඬව ඇත්තේ ජනාධිපතිතුමාගේ නිහඬතාව නිසා වන්නට ද බැරි නැත. මේ පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබා ගැනීමේ වගකීම ඇත්තේ ආගමික කටයුතු අමාත්‍යවරයාට ය. මේ අන්දමින් රටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළින්ම සංඥාවක් දීම අත්‍යවශ්‍යව තිබීම විධායක ජනාධිපති ක්‍රමයත් සමග බෝවුණු රෝගයකි. ඒ නිසා ඒ ගැන නම් මේ ආණ්ඩුවට පමණක් දොස් නැගීමට නොහැක.
දීර්ඝ ක්‍රියාවලියට පුරාවිද්‍යාව නොදැක්කේ ඇයි?
මේ අතර පසුගිය 20 වන ඉරිදා සති අග ‘අරුණ’ පුවත්පතේ ඇති ලිපියක සඳහන්ව ඇත්තේ දියවඩන නිලමේවරයා මේ ගැන පළ කළ ඉතා කෙටි අදහසකි. ඒ ලිපියට අනුව දියවඩන නිලමේවරයා පළ කරන අදහස මෙසේය: “දළදා කරඬුව වෙනස් කර රනින් නිමකළ අලුත් කරඬුවක තැන්පත් කර තැබීම සත්‍යයක්. අප එය කර තිබෙන්නේ ඊට නියමිත රාජකාරි සිරිත් විරිත්වලට අනුකූලවයි. දළදා තේවාව භාර මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා දෙනමගේ සහභාගිත්වයෙන් අදාළ සිරිත් විරිත් අනුව දළදා වහන්සේ වැඩ සිටින කරඬු සමූහයේ පිටත කරඬුව මාරු කරලා, බෞද්ධ බැතිමතෙකු වූ දානපති කමන්ත අමරසේකරයන් නිර්මාණය කර දුන් රනින් නිමවූ කරඬුවක තැන්පත් කර තියෙනවා.”
මේ කාර්යය දිනකින් දෙකකින් සිදුවූවක් නොවන බවත්, ඒ සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කිරීමට සිදුවූ බවත්, ඒ දීර්ඝ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස අලුත් කරඬුව තැන්පත් කිරීමට හැකිවූ බවත් දියවඩන නිලමේවරයා පෙන්වා දුන් බව එම වාර්තාවේ සඳහන් ය. නමුත් ඔහු ඒ අතරේ තමුනුත් අනුගමනය කළාය කියන දළදා කරඬුවක් මාරු කිරීමේ පුරාණ සිරිත් ගැන විස්තරයකුත් කළා නම් අපූරු ය. එසේම ඔය අනුගමනය කළාය කියන දීර්ඝ ක්‍රියාවලියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොකියා සිටියේ ඒකත් පුරාණ සිරිතට අකැප නිසාදැයි පැහැදිලි කළා නම් තවත් අපූරු ය. කෙසේ වෙතත් මෙතෙක් දළදා වහන්සේ වැඩ සිටි කරඬු, රජු හෝ රජයට සම්බන්ධ අධිකාරම්වරුන් වැන්නන් මිස ව්‍යාපාරිකයන් විසින් පූජා කළ බවක් හෝ ලෝහමය වටිනාකම ගැන සලකා දළදා කරඬු ඉවත් කිරීමක් හෝ අලුතින් යෙදවීමක් කළ බවක් අපට නම් දැනගන්නට නැත.
භාරකරුවා හිමිකරුවා වීමේ අනතුර

මේ අනුව දළදා මහ කරඬුව මාරු කර ඇති බව දැන් ස්ථිරවම ප්‍රකාශ කර ඇත. මෙසේ මාරු කර ඇත්තේ 1853 දී දියවඩන නිලමේට භාර දුන් යතුර සහිත කරඬුවයි. එදා ඉංග්‍රීසි ආණ්ඩුව දළදා වහන්සේගේ අයිතිය දියවඩන නිලමේ හා මහ නායක දෙපළට ලබා දුන්නේ නැත. දළදා වහන්සේ අරබයා ඒ අයට එසේ පැවරුවේ භාරකාරත්වය පමණි. දළදා වහන්සේට පූජාවක් ලෙස ඇසළ පෙරහැර පවත්වා අවසානයේ සතර දේවාල බස්නායක නිලමේවරුන් සමග දියවඩන නිලමේවරයා මහනුවර රජ ගෙදරට ගොස් රාජ්‍ය නායකයාට දළදා පෙරහැර සාර්ථකව පැවැත්වූ බව දැනුම් දෙන්නේ දළදා වහන්සේගේ අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය සතුව නිසා ය. දළදා වහන්සේගේ හිමිකරු වන රජය, දියවඩන නිලමේට භාර දුන් යතුර සහිත කරඬුව රජයේ අනුමැතියක්, එකඟතාවයක් නැතිව වෙනස් කළේ කවර බලයක් මතදැයි ජනතාව දියවඩන නිලමේවරයාගෙන් ප්‍රශ්න කරති. මෙය භාරකරුවා හිමිකරුවා බවට පත් වීමේ බරපතල ප්‍රශ්නයකි.
මේ සඳහා රජයේ කවර හෝ බලධාරියෙක් අනුමැතියක් හෝ එකඟතාවයක් දී ඇත්නම් එය ප්‍රකාශ කර තමන් නිදොස් වීමට දියවඩන නිලමේට තවමත් හැකියාව ඇත. ආගමික කටයුතු ඇමතිවරයා, රජය වෙනුවෙන් කවරෙකු හෝ මේ සඳහා අනුමැතියක් දුන්නේද නැතිද යන්න අප්‍රමාදව රටට හෙළි කළ යුතු ය. දළදා මාලිගාවට ලැබෙන ආදායමෙන් මුදල් වියදම් කිරීමේදී පවා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය මත මිස තම අභිමතය පරිදි තීරණ ගැනීමටවත් බලයක් ලැබී නැති දියවඩන නිලමේවරයාට, රජයෙන් තමාට යතුර භාර දුන් දළදා මහ කරඬුව, මහ නාහිමිවරුන් දෙපළ හා බෞද්ධ කටයුතු කොමසාරිස් පමණක් සාක්ෂියට තබාගෙන වෙනස් කිරීමට බලයක් ලැබී ඇත්තේ කෙසේදැයි සොයා බැලීම අත්‍යවශ්‍ය ය. නැත්නම් දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවත් පරණයි කියා කාගේ හෝ දානපතියෙකුගේ මුදලින් ඉදිකළ ස්වර්ණාලේපිත මාලිගාවකට වැඩම කරවීමට වුව ද බැරිකමක් නැත.
(සටහන | සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
(vinivida.lk)
සබැඳි ලිපියක් :
දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා? | සුනිල් කන්නන්ගර







