leader s

* මුදාහැරීම ගැන තීරණය 28 වැනිදා වෛද්‍ය මණ්ඩලයට; පරිගණක මුරපදය වෙනත් මඟකින් ගැනීමට පියවර

* පැමිණිල්ල සහ විත්තිය අතර කොටුව අධිකරණයේදී උණුසුම් තර්ක විතර්ක



2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කෙරෙන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ  රෝහලෙන් මුදාහැරීම පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතියේ රැස්වන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මඟින් තීරණය කිරීමට නියමිත බව අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණය විය.  

 

අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ අද කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු දැක්වූහ. එමෙන්ම, අධිකරණ නියෝගයකට අනුව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික පෙරේරා ද විවෘත අධිකරණයේ පෙනී සිටියේය.  

 

දින 100 ඉක්මවූ ප්‍රතිකාර සහ පැමිණිල්ලේ නිරීක්ෂණ


නඩුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, සැකකරු මේ වන විට දින සියයකට අධික කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.  

 

සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් 9 දෙනෙකු අත්සන් තැබූ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, හෘද රෝගී තත්ත්වයට අදාළව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඔහු මේ වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇති බවත් එහිදී සඳහන් විය. සැකකරුගේ සුවපත්භාවය මත පදනම්ව, ලබන 28 වනදා වන විට වෛද්‍ය මණ්ඩලය රැස්වී තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්, විමර්ශන කටයුතු සඳහා ඔහු යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත්කිරීම වැදගත් බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පෙන්වා දුන්නේය.  

 

ලැප්ටොප් පරිගණකයේ මුරපදය පිළිබඳ ගැටලුව  

මෙම විමර්ශනයට අදාළව සැකකාර සුරේෂ් සලේ සතුව තිබී අත්අඩංගුවට ගත් ලැප්ටොප් (Laptop) පරිගණකයේ මුරපදය ලබාදෙන ලෙස අධිකරණය නියෝග කර තිබුණද, ඔහු මෙතෙක් එය ලබා දී නොමැති බව පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.  

 

කෙසේ වෙතත්, එම මුරපදය සැකකරුගෙන් නොලැබුණහොත් වෙනත් විකල්ප තාක්ෂණික ක්‍රමවේද හරහා අදාළ දත්ත ලබාගැනීමට විමර්ශන නිලධාරීන් පියවර ගනු ඇති බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.  

 

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ පැහැදිලි කිරීම  

 

මහේස්ත්‍රාත්වරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික පෙරේරා කියා සිටියේ, සැකකරුට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ නහරගතව (IV) ලබාදීම ඉදිරියේදී අවශ්‍ය නොවන්නේ නම් සහ පෙති මාර්ගයෙන් ලබාගැනීමට නිර්දේශ කෙරෙන්නේ නම්, ඔහු රෝහලෙන් මුදාහැරීමට හැකියාව ලැබෙන බවයි. ඉදිරි දින කිහිපය තුළ වෛද්‍ය මණ්ඩලය මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.  

 

විත්තියේ ස්ථාවරය  

 

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අදාළ වෛද්‍ය වාර්තාව පරිශීලනය කිරීමට තමන්ට තවමත් ප්‍රමාණවත් අවස්ථාවක් නොලැබුණු බවයි. එමෙන්ම බුද්ධි නිලධාරීන්ගේ රාජකාරි ක්‍රමවේදයන්ට අනුව දත්ත ආරක්ෂාව සඳහා මුරපද නිරන්තරයෙන් යාවත්කාලීන වන බවත්, අත්අඩංගුවට පත්ව මාස ගණනාවකට පසුව මෙලෙස මුරපද ඉල්ලා සිටීම ප්‍රශ්න සහගත බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද මානසික සෞඛ්‍ය වාර්තාව සකස් වෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත්, ඉදිරි නඩු දිනයේදී මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව කරුණු දක්වන බවත් විත්තියේ නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.  

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන සැප්තැම්බර් 28 වනදා යළි කැඳවීමට නියම කළේය.

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්