1200 x 80 DMirror
 
 

පුරුෂ ලෝකයේ තාඩන පීඩනවලට ලක්ව අන්ත අසරණත්වයට පත්වන කාන්තාවෝ මෙන් ම එකී පීඩනත්වයට එරෙහිව නැගී සිටි කාන්තාවෝ පිළිබඳව ද,
එම එරෙහිවීම හේතුවෙන් ම සිය ජීවිතයෙන් වන්දි ගෙවූ කාන්තා චරිත ද පාදක කරගත් සාහිත්‍ය කලා නිර්මාණ විදේශීය මෙන් ම දේශීය වශයෙන් ද සමාජගත වී තිබේ.
 
ඒ අතුරෙන් සැබැවින් ම ජීවත්ව සිට, පුරුෂ පීඩනයට එරෙහිව නැගී සිට එය හේතුවෙන් ම මිය ගිය චරිත ද සිටිය හ. 
 
ඒ අතුරෙන් නිරායාසයෙන් ම සිහියට නැගෙන චරිතයක් ලෙස පුලාන් දේවි හැඳින්විය හැකි ය. ඇගේ ජීවිත පවත අළලා ‘bandit queen’ යන මැයෙන් සිනමා පටයක් ද නිර්මාණය කෙරුණි.
 bandit queen. poolan devi
 
කායික සහ මානසික පීඩනය දරාගැනීමට කාන්තාවට තරම් ශක්තියක් පුරුෂයන් සතුව නොමැත. 
 
නමුදු කාන්තාව තමන් වෙත එල්ලවන පීඩනය දරාගත නොහි පුපරා යන මොහොත යනු ඉතා ඛේදනීය අවස්ථාවකි. 
 
මතු දැක්වෙන්නේ රුවන් බන්දුජීව කවියා එවන් අනුභූතියක් ප්‍රස්තුත කරගනිමින් සිය නිර්මාණ කෞෂල්ය ඉදිරිපත් කළ අවස්ථාවකි.
 
කෙස්ස උස් කරන් බැඳගෙන - රෙද්ද තද කරන් ඇඳගෙන
රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී
සත්තුක නිදි ඇද වටේට - තුන්වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩල කේසී
 
මාල කඩනවා සත්තුක - කංස බෙදනවා සත්තුක
රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී
බතක් මාළුවක් බැඳගෙන - පියාඹා ගිහින් වැලිකඩ
කසෙන් තැළුම් කෑ සත්තුක සනසපු දේවී
 
සුදු කෙළිනවා සත්තුක - මඩමෙ ලගිනවා සත්තුක 
මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවි
‘‘එපා තාත්තේ’’ කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණ දේවී
 
සත්තුක නිදි ඇද වටේට - තුන්වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩල කේසී
 
(මීළඟ මීවිත: රුවන් බන්දුජීව: පිටුව 31)
 
Meelanga meewitha
 
මෙම නිර්මාණය කාන්තාවකගේ දරාගැනීමේ ශක්තිය පුපුරා ගිය අන්දම කදිමට විවරණය කෙරෙණ කාව්‍ය නිර්මාණයකි. 
 
අදාළ නිර්මාණය පිළිබඳ බොහෝ විචාර සහ රසවින්දනාත්මක ලියවිලි ලියැවී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කාලය මිඩංගු කිරීම පසෙක ලා යළි මාතෘකාවට ප්‍රවේශ වෙමු.
 
පුරුෂ පීඩනයට ලක්වු කාන්තා චරිතයක් වූ පුලාන් දේවී නිර්මාණය මෙන් ම මෙරට ද එබඳු ප්‍රසිද්ධ නිර්මාණයක් බිහිවිය. 
 
ඒ, 1983 වසරේ දි තිරගත වූ, වසන්ත ඔබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘‘දඩයම’’ සිනමා කෘතිය යි. 
 

Dadayama.j Adlin Vitharana

මෙහි එන ප්‍රධාන චරිතය වන රත්මලී යනු ඇඩ්ලින් විතාරණ නම් සැබෑ චරිතය යි. 
 
අවසානයේ ඇඩ්ලින් මිය ගිය ද ඇය, ඇයට හැකි පමණින් තමා පීඩනයට ලක් කළ චරිතයට එරෙහිව සටන් වදින්නී ය. 
 
අවසන ඇය පීඩනයට පත් කළ, ඇය ඝාතනය කළ පුද්ගලයා නීතියේ රැහැනට කොටු වන්නේ ද ඇගේ ජීවිත පරිත්‍යාගය හේතුවෙනි.  
 

Kadapathaka chaya

 
1989 වසරේ තිරගත වූ, වසන්ත ඔබේසේකරගේ ම අධ්‍යක්ෂණයක් වූ ‘‘කැඩපතක ඡායා’’ සිනමා නිර්මාණයේ ප්‍රධාන කාන්තා චරිතය ද ජීවත්ව සිටි චරිතයකි. ඇය ද තමාව පීඩනයට පත් කළ පුරුෂයා වෙත ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර හෙතෙම ඝාතනය කළ කාන්තාවකි. 
 
මෙවන් නිර්මාණවල මෙන් ම සැබෑ ජීවිතයේ ද සිය සැමියාගෙන් හෝ වෙනත් පුරුෂයකුගෙන් හෝ පුරුෂයන් කිහිප දෙනෙකුගෙන් එල්ල වූ පීඩනයට එරෙහිව නැගී සිටි, එය හේතුවෙන් සිර දඬුවම් විඳි සහ මරණයට පත්වු කාන්තාවන් පිළිබඳ අපි අනන්තවත් අසා ඇත්තෙමු. 
 
එවන් තවත් කාන්තා චරිතයක් පාදක කරගත් නිර්මාණයක් ලෙස: 2001 වසරේ තිරගත වූ, මොහොමඩ් මොහාන් නියාස් අධ්‍යක්ෂණය කළ ‘‘සඳ යහනට’’ සිනමා නිර්මාණය හැඳින්විය හැකි ය.
 

Palagetiyo Dorakadamarawa

වසන්ත ඔබේසේකරගේ බොහෝ නිර්මාණවලට සැබෑ සිද්ධි සහ චරිත පාදක කරගත්ත ද (පළගැටියෝ සහ දොරකඩ මාරාව ද එබඳු නිර්මාණ ද්විත්වයකි) ‘‘සඳ යහනට’’ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන විවේකා (සබිතා පෙරේරා) සහ ජගත් (සනත් ගුණතිලක) සැබෑ චරිත ද යන්න නිශ්චිත ලෙස පැවසුව නොහැකි වුව ද එකී සිනමාපටය ද පුරුෂ පීඩනයට එරෙහිව නැගී සිටි දිරිය කතකගේ ඛේදනීය ඉරණම ප්‍රකට කෙරෙන නිර්මාණයකි. 
 
 
 Sandayahanata
 මොහොමඩ් මොහාන් නියාස් 
 
දඩයම සිනමා නිර්මාණයේ මෙන් නොවූව ද ‘‘සඳ යහනට’’ නිර්මාණයේ ද එහි ප්‍රධාන චරිත ද්විත්වය වන ජගත් සහ විවේකා යන දෙදෙනා ම මිය යති. 
 
සැබැවින් ම නම් මේ දෙදෙනා ම දෙපාර්ශ්වයක් විසින් ඝාතනය කරනු ලබයි. 
 
ඒ, විවේකා සිය සැමියා වන ජගත් පුළුස්සා ඝාතනය කිරීම සහ ඉක්බිති ජගත්ගේ පවුලේ පිරිස සහ සහචරයන් විසින් විවේකා ඝාතනය කිරීම ය. 
 
තනි පුද්ගල ඝාතකයෙක් සහ පිරිසක් විසින් මෙකී ඝාතන ද්විත්වය සිදුකරනු ලබන්නේ අරමුණු දෙකක පිහිටා ය. 
 
එහි විශේෂත්වය වන්නේ ඒ එක් පාර්ශවයක් පීඩකයා වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වයක් වීම ය. 
 
අනෙකා දේශපාලනඥයකුගේ පිහිටෙන් ධනවතෙකු වී තම අදහස් මුදුන් පමුනුවාගැනීම වෙනුවෙන් ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවක නිරතවන්නෙකු වීම ය.
 
පදික වේදිකාවේ ලොතරැයි අලෙවිකරුවකු ලෙස සමාජයට අවතීර්ණ වන ජගත් පළාතේ ධනවතෙකු වන්නේ එම පළාතේ දේශපාලකයකු වෙනුවෙන් දර දිය ඇදීමේ ප්‍රතිඵලයක් ලෙස ය. 
 
ඔහු දිගින් දිගට ම ක්‍රියා කරන්නේ තමන්ගේ මුදල් ප්‍රමාණය වර්ධනය කරගැනීම වෙනුවෙනි. 
 
විවේකා නමැති ග්‍රාම නිලධාරිනිය නිරන්තරයෙන් ම පීඩිත ජනතාව වෙනුවෙන් ඇප කැප වී සිටින්නියකි. ගැටුම ඇරඹෙන්නේ වර්තමානයේ මහා ධනවතකුව සිටින ජගත් විවේකා කෙරෙහි ආසක්ත වීමෙනි.
 
විවේකාගේ පාර්ශවය නියෝජනය කෙරෙන්නේ උගත් පහළ මධ්‍යම පාන්තික ගති සොබා ය.
 
 ජගත්ගේ පාර්ශවය නියෝජනය කරන්නේ පාදඩ දේශපාලන සංස්කෘතිය සහ එමගින් බිහිවූ පාදඩ ධනපති පංතියේ ගති සොබා ය. සරලව ම පවසන්නේ නම් මෙය ද පංතිමය ගැටලුවකි.  
 
විවේකා වුව ද ජගත් ප්‍රතික්ෂේප කරන්නේ අන් කිසිදු හේතුවක් පාදක කරගනිමින් නොව ඔහු සමාජයේ පහළම පංතියේ සිට පාදඩ පංතියේ ධනපතියකු වීම හේතුවෙනි. 
 
ජගත් විවවේකා කෙරෙහි බැදෙන්නේ ආදරයෙන් යැයි පැවසුව ද එහි සැබෑ මුහුණුවර වන්නේ රාග තන්හාව ය. ‘‘මම එක දවසකට හරි ඕකිව ගන්නවා’’ යැයි ඔහු පවසන්නේ එබැවිනි.
 
 ඔහුගේ එක ම අරමුණ වන්නේ කෙසේ හෝ විවේකා සිය ග්‍රහණයට නතුකර ගැනීම ය. ඔහු එය ඉටු කරගන්නේ ඔහු සතු ධන බලය, මැර බලය සහ දේශපාලන බලය උපයෝගි කරගනිමිනි. 
 
එහෙත් එය සැබෑ ජයග්‍රහණයක් නොවන බව හෙතෙම නිසියාකාරව ම අවබෝධ කරගන්නේ ය. එක් වතාවක ජගත් ජයග්‍රහණයෙන් උදම් අනන්නේ ය.
 
‘‘අපි දිනුං ආසිරි... අපි දිනුං... උඹලට කොයි විදියට ද පාටි ඕන... මං ඕන විදියකට ලෑස්තියි.’’ 
 
විවේකා හට දින හතක් බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමෙන් ඉකිබිතිව ඇය ජගත් විවාහ කරගැනීමට සුදානම් වන්නේ ඇගේ අත ගැනීමට සිටි තරුණයා ද ඇය මගහැර ගිය බැවිනි. 
 
ජගත් මෙසේ උදම් අනන්නේ කිසිවක් කර කියාගත නොහැකිව අසරණ වු විවේකා ජගත් සමග විවාහ වීමට කැමැත්ත පළ කිරීමෙන් ඉකිබිතිව ය. 
 
එහෙත් ඇය සැබෑ ජීවිතයේ දී ඔහුගේ සැබෑ බිරිඳ ලෙස ජීවත් නොවන්නී ය. ඇය නිරන්තරයෙන් ම ජගත් ඉදිරියේ කියාපාන්නේ ඔහු කළ අධම ක්‍රියාව ය.
 
‘‘ගෑනියෙක් මිනිහෙක් එක්ක රැයක් ගත කරන්නෙ මොන තරං වැදගත් විදියට ද? තමුසෙ මොකක්ද මට කෙරුවෙ? සල්ලිවලට යන වේස ගෑනියෙක්කත් මිනිස්සුන්ට පේන්න බුදියගන්නෑ.’’
 
විවේකා මෙසේ පවසන්නේ ජගත් ඇයට බලහත්කාරකම් කරන්නේ ඔහුගේ සහචරයන් ද ඉදිරියේ දී ම වූ බැවිනි.
 
ජගත්, විවේකා සිය බිරිඳ ලෙස බාරගැනීමෙන් ඉක්බිතිව ද ඇයට එරෙහිව සිය පාදඩ පිළිවෙත් ක්‍රියාත්මක කරවන්නේ ඇය ඔහුට රිසි පරිදි පාලනය කල නොහැකි බැවිනි. 
 
ඒ සඳහා ඔහු දියත් කරන්නේ දේශපාලන බලය යොදා ඇගේ රැකියාව තහනම් කිරීම සහ ඇයට එරෙහිව ‘‘ග්‍රාමසේවක බඩුව’’ යැයි පෝස්ටර් ගැසීම යනාදි තුච්ඡ ක්‍රියා ය.
 

Sandayahanata DVD

 
විවේකා ද කිසිදු අයුරකින් කිසිවකුට හිස නමන්නියක නොවේ. ඇය අවසන ජගත් විවාහ කරගන්නේ ද ඔහුගෙන් පළිගැනීමේ චේතනාව පෙරදැරිව ය. 
 
මන්ද ඇයගේ හදවතේ කුඩා හෝ ඉඩක් ජගත් වෙනුවෙන් වෙන් කර නොමැත. 
 
ජගත්ගේ මරණයෙන් ඉක්බිතිව ද ඇය යත්න දරන්නේ සිය ස්වාධීනත්වය රැකගෙන ජීවත් වීම උදෙසා ගත හැකි සෑම පියවරක් ම ගැනීමට ය. ඇය එක් තැනෙක මෙසේ පවසන්නී ය.
 
‘‘සමහරු ඇස් දෙක පියාගන්නකොට අපි ඇස් ඇරගෙන ඉන්න ඕන.’’
 
මේ ඇගේ නොපසුබට උත්සාහයේ මං සලකුණු ය. 
 
නමුදු පවතින සමාජ ක්රමය සහ සම්මතය මෙන් ම දේපළ හිමිකම ද ඇයට එදිරිව නැගි සිටින්නේ ය. 
 
ජගත්ගේ ඝාතනයෙනන් ඉක්බිති ඔහුගේ දෙමාපියන්, නෑ මිතුරන් මතු නොව ජගත්ගේ සහචරයන් ද යත්න දරන්නේ ජගත්ගේ මල්ලි වන නිලේන්ද්‍ර (සේනක විජේසිංහ) හට විවේකා විවාහ කර දීම සඳහා ය. 
 
ඒ අන් කිසිවක් නොව සැමියාගේ මරණයෙන් ඉකිබිති බිරිඳට හිමිවන දේපළ යළි ජගත්ගේ ම පවුලට ලබාගැනීමේ අරමුණෙනි. 
 
‘‘තමුන්ගෙ මිනිහ නැතිවුණා ම මොන මොන දේවල් කරනව ද නැතිවෙච්ච මිනිහ වෙනුවෙන්.’’
 
ජගත්ගේ මව කරන මෙම ප්‍රකාශයෙන් ප්‍රකට කෙරන්නේ සම්මත සමාජ ක්‍රියාවලිය දඩමීමා කරගන්නට ඇය යත්න දරන ආකාරය යි; එමගින් ජගත් සතු දේපළ යළි සිය පවුල වෙත හිමි කරගැනීමේ අරමුණ යි.
 
දේශපාලන බලයට, මුදල් බලයට මෙන් ම මැර බලයට මෙරට නීතිය යටත් කරගත හැකි බව මෙම සිනමාපටයේ ද ඉතා සියුම් ආකාරයට මතු කර ඇත. 
 
විවේකා බලෙන් පැහැරගෙන ගොස් දින හතක් බලහත්කාරි ලෙස දූෂණය කිරීමෙන් ඉක්බිති ඔහුගේ පියා විවේකාගේ පියා වෙත කරන ප්‍රකාශය තුළින් එය මැනවින් ප්‍රකට කෙරේ.
 
‘‘පොලීසියටයි නඩු-හබවලටයි පැටලෙන්න ඕන කියල හිතෙනව නම් එහෙම කරත් අපිට කමක් නැහැ. මේ වගේ දේවල් රටේ තොටේ මිනිස්සු දැනගත්තහම මොකද වෙන්නෙ කියල දන්නවනෙ.’’ 
 
ජගත්ගේ පියාගේ අනියම් බලපෑමට අකමැත්තෙන් වුව ද යටත්වන්නට සිදුවන්නේ ද සමාජ අවමානය නමැති බාධකය විවේකාගේ නැගණියන් තිදෙනා කෙරෙහි බලපාන බැවිනි.
 
 දේශපාලන, මැර සහ මුල්‍ය බලාධිකාරිය යටතේ දිණියන් සිටින පියෙකුට අනාගතයට මුහුණ දීමට සිදුවන්නේ එකී බලාධිකාරයට යටත් වීමෙන් බව මෙම ප්‍රකාශයෙන් ප්‍රකට කෙරෙන්නේ ය.
 
‘‘ලොකු දුව ඇරුණහ ම මට දීග දෙන්න තව දූල තුන් දෙනෙක් ඉන්නව.’’
 
ජගත් ඝාතනය කිරීමට සැලසුම් කිරීමෙන් ඉක්බිති විවේකා ඔහුට ව්‍යාජ ආදරයක් පාන්නී ය. එය වටහා නොගන්නා ජගත් ඇගේ ආදරය ලැබුණා යැයි සිතා උදම් අනන්නේ යථාර්ථය අවබෝධ කරගත් ආකාරයෙනි. 
 
‘‘ගැනියෙක් එක්ක කී පාරක් බලෙන් හිටියත් වැඩක් නෑ. ආදරෙන් කැමැත්තෙන් ඉන්න පුළුවන් නම්’’
 
නමුත් ජගත් මේ යථාර්ථය අවබෝධ කරගන්නා විට සිදුව තිබෙන්නේ අස්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමුවාට පළක් නොවන බඳු තත්ත්වයකි.
 
බලහත්කාරයෙන් ලිංගික තෘප්තියක් ලබාගත්ත ද ආදරය බලහත්කාරයෙන් ලබාගත නොහැකි ය. 
 
එමෙන් ම අධි පීඩන දරා සිටින කාන්තාව ඊට එරෙහිවන පළමු මොහොත යනු ම එහි කුටප්‍රාප්තිය යි. 
 
පාදඩ දේශපාලනය යනු මිනිසත්කම තුට්ටුවකට මායිම් නොකරන මිනිසා ම්ලේච්ඡයකු බට පත් කරන ක්‍රියාවලියකි. 
 
එකිනෙකාට එරෙහි සටන් යනු පැටලුම් ලිහාගත නොහැකි නුල් පන්දුවක් බඳු ය. 
 
සියලු ගැටුම් යනු ම අවසන කිසිවක්ම ඉතිරි නොවන ශුන්‍යත්වයකි. මෙකී සියලු කාරණා පසක් වන්නේ විවේකා සුමිත්‍ර  නමැති සිය පෙම්වතාට ලියු ලිපියේ අවසන් කොටසෙනි.
 
‘‘ජගත් ඇති කරපු බලපෑම්වල ප්‍රතිඵල ජගත් එක්ක ම මැරිල ගියෙ නෑ. මං හොයාගෙන ගිය නිදහස මට හම්බුනේ නෑ. මම තවත් ප්‍රපාතයට ඇද වැටුණ විතරයි. අන්තිමට මට ගැලවිල්ලක් නැති විදියට මං හැම පැත්තෙන් ම හිරවුණා.  ගහල, බයගන්නල, ගිනි තියල, පුච්චල, මරල අපිට ජයගන්න පුළුවං උණෙ මොනවද?’’
 
සම්භාව්‍ය ගනයේ සිනමාපටයක් ලෙස නාමකරණය නොවුව ද මෙම සිනමාපටය තුළින් විදාරණය කෙරෙන සමාජ, දේශපාලන යථාර්ථය එදා මෙන් ම අදටත්, අද මෙන් ම අනාගතයටත් වලංගු බව පමණක් අපි සැවොම සිහි තබාගත යුතු ය. 
 
සිනමා නිර්මාණයට දායක වූවෝ:-
 
සබීතා පෙරේරා - විවේකා (ග්‍රාම නිලධාරිනිය)
සනත් ගුණතිලක - ජගත් හතුරසිංහ
ක්ලීටස් මෙන්ඩිස් - රත්නපාල ගජසිංහ (මන්ත්‍රී)
පාලිත සිල්වා - ආසිරි (ජගත්ගේ සහචරයා)
රොෂාන් පිලපිටිය - සුමිත්‍ර (ජගත් ඝාතනය කිරීමෙන් පසු විවේකාගේ පෙම්වතා)
සේනක විජේසිංහ - නිලේන්ද්‍ර (ජගත්ගේ සොයුරා)
සංගීතය - සරත් වික්‍රම 
නිෂ්පාදනය - අනිල් ජයසුරිය
කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - මොහොමඩ් මොහාන් නියාස්
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 

 
ජයසිරි අලවත්තගේ වෙනත් ලිපි  :
 
 
 

subscribeYT

subscribeYT

නවතම පුවත්