සැප්තැම්බර් 15 ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් පුරාණ ග්‍රීසියේ සිට ශ්‍රී ලංකාවේ 1931 සර්වජන ඡන්ද බලය දක්වා ඉතිහාසය සහ AI තාක්ෂණය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදෙන නව්‍ය අභියෝග පිළිබඳ විමසුමක්.
ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණයකට පමණක් සීමා නොවූවකි; මානව හිමිකම්, වගවීම සහ නීතියේ ආධිපත්‍යය පෙරදැරිව නූතන සමාජයේ පුරවැසි භූමිකාව ප්‍රතිනිර්මාණය විය යුතු ආකාරය.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සෑම වසරකදීම සැප්තැම්බර් මස 15 දිනට යෙදී ඇති අතර ලොව පුරා සමරනු ලබයි. මෙම දිනය ලොකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීමට, මනව හිමිකම් සුරැකීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යනු නිරන්තරව ආරක්ෂාවට බඳුන් කළයුතු ක්‍රියාවලියක බව සිහිපත්කරවීමට ලැබෙන අනගි අවස්ථාවකි. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ ආරම්භය ලෝකයේ විවිධ රටවල පාර්ලිමේන්තු නියෝජනය කරන අන්තර්-පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත යොමු වේ. 1997 සැප්තැම්බර් 15 දින, IPU එක විසින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්ව ප්‍රකාශනය (Universal Declaration on Democracy) සම්මත කර ගන්නා ලදී. එම ප්‍රකාශනය මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම, පුරවැසියන්ගේ දේශපාලන අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ මූලික පදනම සකස් කලේය.
පසුව, කටාර් රාජ්‍යය ඇතුළු සාමාජික රටවල ඉල්ලීමකට අනුව, 2007 නොවැම්බර් 8 දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය 62/7 යෝජනාව සම්මත කරමින් සෑම වසරකම සැප්තැම්බර් 15 දින ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෙස ප්‍රකාශ කළේය. මේ අනුව, 2008 වසරේ ප්‍රථම නිල සැමරුම පැවැත්මට ලැබීය.
2026 වසරේ දී එහි තේමාව වී ඇත්තේ “Bring Human Rights into Focus “(මානව හිමිකම් කෙරෙහි අවදානය යොමුකරන්න) ලෙසයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු යුතුකමක්ද? වගකිමක්ද?

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහස වූයේ "ජනතාවගේ පාලනය " යන සංකල්පයයි. ප්‍රජාතන්ත්‍රවාදය වූ කළි සමානාත්මතාවය, මානව හිමිකම්, නිදහස, සාදාරණත්වය සහ ජනතා සහභාගීත්වය වැනි ප්‍රජාතන්ත්‍රවාදී මූලදර්ම කෙරෙහි ගරු කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය යුතුකමක් ලෙසින් ගත්කළ ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියකු ලෙස අයිතිවාසිකම් භාවිතාකිරීම , රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට සහභාගීවීමත් සෑම පුරවසියකුගේම යුතුකම්කි. නමුත් ඉන් ඔබ්බට ගියවිට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගනිමින් හා පවත්වාගැනීම සියලුම පුරවැසියන්ගේ වගකීම බවට පත්වේ. තම නිදහස භාවිතා කරන අතරම අනෙකාගේ නිදහස කෙරෙහි හානි නොවන අන්දමින් ජීවත්වීම වැදගත්වේ. ප්‍රජාතන්ත්‍රවාදය යුතුකමක්ද? වගකීමක්ද ? යන්න අභිභවා යමින් එම සන්කල්ප දෙකෙහිම සුසංයෝගයක් නැතහොත් එකට බැඳුණු සංකල්පයක්ම බව ගත යුතුය.
ආරම්භය සහ ඉතිහාසය
ප්‍රජාතන්ත්‍රවාදයේ බිහිවීම සිදුවූයේ මෑතකාලීනව නොව එයට අඩිතාලම වැටුණේ බොහෝ ඈත අතීතයේය.ප්‍රජාතන්ත්‍රවාදයේ ඓතිහාසික පසුබිම පුරාණ ග්‍රීසිය දක්වාම (ක්‍රි.පූ. 5 සියවස )දිවයන අතර ඇතෑන්ස් නගරයේ වර්දනය වූ පාලන ක්‍රමය නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් ආරම්භයකට එලෙස මං පෑදීය. ඒ පිළිබඳව වැඩිදුර්ටත් පැහැදිලි කරන්නේ “Democracy” යන වචනය මගිනි. ග්‍රීක demos (ජනතාව) සහ krotos ( බලය/ පාලනය) යන වචන එක්වී නිර්මාණය වී ඇතිඅතර තවදුරටත් එය තහවුරු කිරීමට උපකාරීවේ. ක්‍රි.පූ. 5වන සියවසේ පැරණි ග්‍රීසියේ ඇතැන්ස් නගර රාජ්‍යය එහිදී සුදුසුකම් ලත් පුරවැසියන්ට රාජ්‍ය තීරණ ගැනීමේදී සෘජුව සහභාගී වීමට අවස්ථාව ලැබුණු අතර එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භක ආකෘතියක් විය. කෙසේ වෙතත්, එවකට කාන්තාවන්, වහලුන් සහ විදේශිකයන් ඇතුළු බොහෝ පිරිසකට එම දේශපාලන අයිතිවාසිකම් හිමි නොවීය.
පසුව ප්‍රජාතන්ත්‍රවාදී අදහස් ක්‍රමයෙන් වර්ධනය වෙමින් නීතියේ ආධිපත්‍යය, පුද්ගල නිදහස, සමානාත්මතාව සහ ජනතා නියෝජනය වැනි සංකල්ප වඩාත් ශක්තිමත් විය. මැග්නා කාර්ටා, ඉංග්‍රීසි පාර්ලිමේන්තු සම්ප්‍රදාය, ඇමරිකානු නිදහස් ප්‍රකාශනය සහ ප්‍රංශ විප්ලවය වැනි ඓතිහාසික සිදුවීම් නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයට බලපෑවේය. 19 හා 20වන සියවස්වල ඡන්ද අයිතිය පුළුල් වීමත් සමඟ කාන්තාවන් ඇතුළු වැඩි පිරිසක් දේශපාලන ක්‍රියාවලියට එක් වූහ.
අද වන විට ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ රටවල නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ක්‍රියාත්මක වන අතර, නිදහස් හා සාධාරණ මැතිවරණ, මානව හිමිකම්, බහුපක්ෂ දේශපාලනය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා සහභාගීත්වය එහි ප්‍රධාන පදනම් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරම්භය සහ ගමන් මග

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අදහස් පැරණි රාජ්‍ය පාලන ක්‍රමවල සිටම දැකිය හැකි වුවද, නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී වර්ධනය වන්නට විය. විශේෂයෙන් 1833 කෝල්බෘක්–කැමරන් ප්‍රතිසංස්කරණ හරහා නව පරිපාලන හා නියෝජන ක්‍රමයක් හඳුන්වා දීම වැදගත් පියවරක් වුවද පසුව 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගින් ශ්‍රී ලංකාවේ වැඩිහිටි සර්වජන ඡන්ද බලය හඳුන්වා දීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත් විය. 1948 නිදහස ලැබීමෙන් පසු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් වූ අතර, ජනතාවට තම නියෝජිතයන් ඡන්දයෙන් තෝරා ගැනීමේ අයිතිය තහවුරු විය. 1972 ජනරජ ව්‍යවස්ථාව සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ පාලන ව්‍යුහය තවදුරටත් වෙනස් විය. අද වන විට මැතිවරණ, පාර්ලිමේන්තුව, ස්වාධීන ආයතන, මාධ්‍ය සහ සිවිල් සමාජය වැනි අංශ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාකාරීත්වයට දායක වේ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික කුළුණු
ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය රඳා පවතින්නේ එහි මූලික කුළුණු මතය. ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික පදනම් වන්නේ ජනතා පරමාධිපත්‍යය, නිදහස් හා සාධාරණ මැතිවරණ, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ මූලික නිදහස්. ප්‍රජාතන්ත්‍රවාදයේ බලය වගවීම හා විනිවිදභාවය, බලය බෙදීම සහ ජනතා සහභාගීත්වය ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදයේදී තම අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත්, වෙනස් අදහස්වලට ගරු කිරීමටත් ජනතාවට අවස්ථාව තිබීම වැදගත්ය. එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය යනු මැතිවරණයකට පමණක් සීමා වූ පාලන ක්‍රමයක් නොව, ජනතාවගේ අයිතිවාසිකම්, නිදහස, සහභාගීත්වය හා වගකීම මත ගොඩනැගුණු පාලන ක්‍රමයකි.
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම්
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යනු එකිනෙකට සමීපව බැඳුණු වැදගත් සංකල්ප දෙකකි.තවද මෙම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක මූලික අරමුණ වන්නේ සෑම පුද්ගලයකුගේම ගෞරවය, නිදහස සහ සමානාත්මතාවය ආරක්ෂා කර්මින් ජනතාවට තම අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය මෙන්ම පාලනයට සහභාගී වීමට අව්ස්ථාව ලබාදීමයි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය, අදහස් හා ප්‍රකාශන නිදහස, ආගමික නිදහස, නීතිය ඉදිරියේ සමානාත්මතාව සහ සාමකාමීව එක්රැස් වීමේ අයිතිය වැනි මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් පදනමක් සපයයි. එබැවින් මානව හිමිකම් ආරක්ෂා කිරීමකින් තොරව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනැගීම දුෂ්කර බවක් උසුලයි.
නූතන ප්‍රජාතන්ත්‍රවාදය මුහුණදෙන අභියෝග
නූතන ලෝකයේදී මෙම ප්‍රජාතන්ත්‍රවාදය මැතිවරණ පැවැත්වීම පමණක් නොව නීතියේ ආදිපත්‍යය, මානව හිමිකම්, අදහස් ප්‍රකාශ කිරීමෙ නිදහස , ස්වාදීන අදිකරණය ,වගවීම සහ ජනතා සහභාගීත්වය මත ගොඩනැගුණු පාලන ක්‍රමයක් වුවද අද මේවන විට ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදය වැරදි තොරතුරු හා ඩිජිටල් ප්‍රචාරණය, දේශපාලන ධ්‍රැවීකරණය, දූෂණය, ආර්ථික අසමානතාව, මානව හිමිකම් සීමා කිරීම සහ ආයතනවල ස්වාධීනත්වයට එල්ල වන බලපෑම් වැනි අභියෝගවලට මුහුණ දෙමින් සිටී.
ශ්‍රී ලංකාව තුළද මෙම අභියෝග විවිධ ආකාරයෙන් දැකිය හැකිය. දූෂණයට එරෙහිව වගවීම, නීතියේ ආධිපත්‍යය, මාධ්‍ය හා ප්‍රකාශන නිදහස, විරෝධතා සහ සිවිල් නිදහස් ආරක්ෂා කිරීම, දේශපාලන ආයතන කෙරෙහි ජනතා විශ්වාසය ගොඩනැගීම වැනි කරුණු තවදුරටත් වැදගත් වේ. 2026 දී පවා එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියාපටිපාටිය ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය හා බලතල වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, ත්‍රස්තවාදය සම්බන්ධ නව නීති කෙටුම්පත් පිළිබඳවද මානව හිමිකම් හා අත්තනෝමතික රඳවා තැබීම් සම්බන්ධ ගැටලු මතු කර තිබේ. එසේම දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදුවන වර්තමාන විමර්ශනද ශ්‍රී ලංකාවේ වගවීම සහ යහපාලනය පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යයි.
ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගතය රඳා පවතින්නේ මැතිවරණ ජයග්‍රහණ මත පමණක් නොව, ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් බලය වගකීමෙන් භාවිත කිරීම සහ ශක්තිමත් ස්වාධීන ආයතන පවත්වාගෙන යාම මතය.
නව ප්‍රවණතා: ඪිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය සහ කෘතිම බුද්ධිය (AI)

තාක්ෂණය අති වේගයෙන් වැඩිදියුණුවන අතර එමගින් ප්‍රජාතන්ත්‍රවාදය නව ඩිජිටල් අවකාශයකට ප්‍රවේශ වීමක් සිදුවේ. ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් ජනතාවගේ සහභාගීත්වය, අදහස් ප්‍රකාශ කිරීම, තීරණ ගැනීමේ ක්‍රියාවලිය පුළුල් කරනු ලබන ක්‍රියාවලියකි. මේ මඟින් ජනතාවට තොරතුරු ලබාගැනීමට, තම අදහස් ඉදිරිපත් කිරීමට, රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධ වීමට නව අවස්ථා උදාවී ඇත.
කෘතිම බුද්ධිය (AI) ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නව අවස්ථා සහ නව අභියෝග ගෙන එයි. රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම, විශාල දත්ත විශ්ලේෂණය කිරීම, ජනතා අවශ්‍යතා හඳුනාගැනීම සඳහා AI භාවිතා කළ හැකි නමුත් AI මගින් නිර්මාණය කරන ව්‍යාජ තොරතුරු, deepfake වීඩියෝ, ස්වයංක්‍රීය දේශපාලන ප්‍රචාරණ, ජනමතයට බලපෑම් කිරීම වැනි කරුණු මැතිවරණ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට තර්ජනයක් විය හැකිය. එබැවින්, ඩිජිටල් යුගයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට තාක්ෂණික නවෝත්පාදනය සමඟ වගවීම, විනිවිදභාවය, ඩිජිටල් සාක්ෂරතාව, මානව හිමිකම් ආරක්ෂාව ද අත්‍යවශ්‍ය වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ සිවිල් සමාජයේ කාර්යභාරය
ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සහ සිවිල් සමාජය වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර මට්ටමින් සහාය ලබාදෙයි. මැතිවරණ නිරීක්ෂණය, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කිරීම, රටවල ආයතන ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පිළිබඳ දැනුවත් කිරීම එහි කාර්යභාරයන් අතර වේ.
අනෙක් අතට, සිවිල් සමාජ සංවිධාන, මාධ්‍ය, වෘත්තීය සමිති, ප්‍රජා සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් ජනතාවගේ හඬ නියෝජනය කරමින් රාජ්‍ය බලය වගකීමෙන් හා විනිවිදභාවයෙන් භාවිත කරන්නේද යන්න පිළිබඳව නිරීක්ෂණය කරයි. ඔවුන් ජනතාව දැනුවත් කිරීම, අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයට බලපෑම් කිරීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි. එබැවින් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා රාජ්‍යය පමණක් නොව, ජාත්‍යන්තර ආයතන සහ සක්‍රීය සිවිල් සමාජයක්ද අත්‍යවශ්‍ය වේ.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරන ආකාරය
ප්‍රජාතන්ත්‍රවාදයේ වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමේ වැදගත්කම ඉස්මතු කිරීමට සෑම වසරකම සැප්තැම්බර් 15 වන දින ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය සමරනු ලැබේ. මෙම දිනයේදී රජයන්, රාජ්‍ය ආයතන, පාසල්, විශ්වවිද්‍යාල, සිවිල් සමාජ සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් විවිධ වැඩසටහන් සංවිධානය කරනු ලබයි. දේශන, රැස්වීම්, සාකච්ඡා, වැඩමුළු සහ ප්‍රදර්ශන ඒ අතරින් ප්‍රධාන වේ.
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් සඳහා තරුණ පරපුර සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වැදගත්කම, නිවැරදි තොරතුරු සොයා ගන්නා ආකාරය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, අන් අයගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම සහ වගකීම් සහගත පුරවැසියෙකු වන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට මෙහිදී හැකියාව පවතින නිසාය. මෙම දැනුවත් කිරීමේ කටයුතු සඳහා සමාජ මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය පුළුල් ලෙස භාවිත කළ හැකිය. එබැවින්, ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය හුදෙක් සැමරුම් දිනයක් පමණක් නොව, නිදහස, සමානාත්මතාවය, මානව ගරුත්වය සහ මහජන සහභාගීත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම අප සැමට සිහිපත් කර දෙන සුවිශේෂී දිනයක් බව දත යුතුය.
(සටහන | රවීෂා සිංහ ආරච්චි )
(නිදහස් මධ්‍යවේදීනි )








