leader s

විමල්, ගම්මන්පිල සහ දිලිත්ට එරෙහි පැමිණිල්ල සලකා බැලීම 18 වැනිදාට


අපහාස චෝදනා මැද දිලිත්ගේ රිට් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවට

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතාවකදී අධිකරණයට අපහාස කළ බවට එල්ල වී ඇති චෝදනාව පදනම් කරගනිමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් 18 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම අද (14) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබිණි.

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය සහ නව පනතේ බලපෑම

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් පැවති මාධ්‍ය හමුවක් සහ විරෝධතාවක් අතරතුර අධිකරණයට අපහාස වන අයුරින් අදහස් පළ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබිණි.

එම කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු ජනාධිපති ලේකම් සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහාචාර්ය මහින්ද පතිරණ යන පුද්ගලයින් බැලු බැල්මට අධිකරණයට අපහාස කර ඇති බවට නිගමනය කළේය. ඒ අනුව, 2024 අංක 08 දරන අධිකරණයට හෝ විනිශ්චය ආසනයකට අපහාස කිරීමේ පනත ප්‍රකාරව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණය වෙත යොමු කෙරිණි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කිරීම

කොටුව මහේස්ත්‍රාත්වරයාගේ එකී නිර්දේශය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා, මෙම නෛතික කරුණු ගැඹුරින් සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කිරීමට තීරණය කළේය.

ඒ අනුව, අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සහ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ යොමුකිරීම ලබන 18 වන දින විභාගයට ගැනීමට නියමිතය.

සංස්කරණය කළ වීඩියෝවක් ඉදිරිපත් කළ බවට චෝදනා

අධිකරණය හමුවේ කරුණු දැක්වූ පෙත්සම්කාර දිලිත් ජයවීර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි පෙන්වා දුන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය සේවාදායකයා සිදුකළ ප්‍රකාශවලින් තෝරාගත් කොටස් කිහිපයක් පමණක් සංස්කරණය කොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති බවයි.

සිය සේවාදායකයා සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳ විවේචනයක් පමණක් බවත්, ඉන් කිසිදු ආකාරයකින් අධිකරණයට අපහාසයක් සිදු නොවූ බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය. තම සේවාදායකයාගේ නිර්දෝෂීභාවය සනාථ කිරීම සඳහා අදාළ සම්පූර්ණ වීඩියෝ පටය විවෘත අධිකරණයේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය, අදාළ වීඩියෝ පටය ලබන 18 වැනිදා අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් සලසන ලෙස රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබීය.

 

 

whatsapp 202507155

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්