ශ්‍රී ලංකාවේ මතු නොව ලොව පුරා යුද්ධය පිළිබඳ සාකච්ඡා කෙරෙන සිනමා නිර්මාණ දැවැන්ත ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. 
 
 
ලංකාවේ ද යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ ද යුද්ධය පිළිබඳ විවිධාකාරයේ සිනමා නිර්මාණ බිහිවිය. 
 
එම නිර්මාණ ‘යුදවාදී සිනමාව’ සහ ‘යුද විරෝධි සිනමාව’ ලෙස බෙදා වෙන් කරන්නට තරම් මෙරට කලා සංස්කෘතික බලධාරිහු පමණක් නොව ප්‍රේක්ෂක ප්‍රජාව ද ද්විපාර්ශවීය වූහ.
 
ලංකාවේ සිංහල මාධ්‍යයෙන් බිහි වූ යුද සිනමාවේ බහුතරයක් ම ‘යුදවාදී සිනමාව’, ‘යුද වින්දන සිනමාව’ හෝ ‘යුද වන්දන’ සිනමාව ලෙස නම් කළ හැකි ය. 
 
රාජ්‍ය අනුග්‍රහය මෙන් ම ප්‍රේක්ෂක අනුග්‍රහය ද වඩ වඩාත් ලැබුණේ යට කී ෂානරයේ සිනමා නිර්මාණ සඳහා බව අපි පසුගිය වකවානුවේ දී අපි අත්දුටුවෙමු. 
 
යම් ආකාරයකින් යුද විරෝධී යැයි ඍජුව ම නොපැවසුව ද යුද්ධයේ ක්‍රෑරත්වය විදහා පෑ ඇතැම් සිනමා නිර්මාණ ආණ්ඩුවේ බලධාරීන්ගේ තහනමට ලක්විය. පසුව තහනම ඉවත් කෙරුණ ද ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘පුර හඳකළුවර’ එක් උදාහරණයකි. 
 
විමුක්ති ජයසුන්දර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සුළඟ එනු පිණිස’ තහනමට ලක් කෙරුණි. ඔහු විසින් ම අධ්‍යක්ෂණය කරන ලද ‘අහසින් වැටෙයි’ සිනමා නිර්මාණය 2009 වැනීස් චිත්‍රපටි උළෙලේ දී  සහ 2011 ජුනි 05 නුවර පැවති ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේ ද තිරගත කළේය. නමුදු එම සිනමා නිර්මාණය පොදු ශ්‍රී ලාංකික ප්‍රේක්‍ෂකයන් හට නැරඹිමට නොහැකි විය.
 
යට කී සිනමා නිර්මාණ සඳහා එබඳු තත්ත්වයක් බලපෑව ද: සනත් අබේසේකරගේ ‘මහින්දාගමනය’, සරත් වීරසේකරගේ ‘ගාමණී’, බෙනට් රත්නායකගේ ‘ඉර හඳ යට’ සහ සුනෙත් මාලිංග ලොකුහේවාගේ ‘සිංහාවලෝකනය’ යන සිනමා නිර්මාණ මෙරට පොදු ප්‍රේක්ෂකයෝ ඉමහත් ආදරයෙන් වැලඳ ගත් අතර අදාළ සිනමා නිර්මාණ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ද ලැබුණි. 
 
නමුදු මේ සිනමා නිර්මාණ සියල්ලෙහි ම පොදු අර්ථකථනය වූයේ: යුද්ධයට ආවැඩීම ය, යුද්ධය වින්දනය කිරීම ය, යුද්ධයට වන්දනාමාන කිරීම ය, සිංහලයාගේ පරම හතුරා දෙමළා යැයි සමාජගතකිරීම ය.
 1276598299sa1006107 2
 
එක් පාර්ශ්වයක් යුද වන්දනීය සිනමා නිර්මාණ ද, තවත් පාර්ශවයක් යුද්ධයේ කුරිරු යථාර්ථය පිළිබිඹු කෙරෙන සිනමා නිර්මාණ ද සමාජ ගතකරන අතර යුද්ධයේ ක්‍රෑරත්වය, තරුණ පරපුරේ රැකියා විරහිතභාවය, දේශපාළුවන්ට වුවමනා ආකාරයට රාජ්‍ය ඇබෑර්තු පිරවීම සහ මෙවන් සමාජ ගැටලු හේතුවෙන් ම විවාහ වීමේ කාලසිමාව පසුකළ තරුණ තරුනියන්ගේ මානසික පීඩනය යනාදිය පිළිබිඹු කෙරන සිනමා නිර්මාණයක් ද තිරගත විය 
 
ඒ, 2010 වසරේ තිරගත වූ, සුමිත් රෝහණ තිත්තවැල්ලගේ තිර රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘‘ස්තුතියි නැවත එන්න’’ සිනමා නිර්මාණය යි.
 Sumith Rohana Thiththawelgala2023
සුමිත් රෝහණ තිත්තවැල්ල
 
සිනමා නිර්මාණයේ එක් පාර්ශවයක් නියෝජනය කරන්නේ ‘‘මායිම් ගම්මාන’’ ලෙස හැඳින්වෙන, වියළි කලාපයේ ග්‍රාමයක වෙසෙන යට කී පවුල බඳු පවුල් කිහිපයක් පිළිබඳව ය. 
 
යුද්ධය හේතුවෙන් ඉණෙන් පහළ අප්‍රාණිකවන සෙබළෙක්, ඔහුගේ ගැබිනි (ප්‍රසූතියෙන් පසු දරුවා මිය යයි) බිරිඳ, වයස අවුරුදු හත අටක දරුවා, යුද්ධයෙන් තුවාල ලබා නිවසට පැමිණෙන පෙර කී සෙබළාගේ ම සොහොයුරා සහ වියපත් පියා එකී පාර්ශවය නියෝජනය කරති.
 
අනෙක් පාර්ශ්වය නියෝජනය කෙරෙන්නේ එබඳුම පළාතක පාසලක සේවයේ නියුතු තරුණ ගුරුවරු දෙදෙනෙක්, ගුරුවරියක් සහ යුද උම්මාදයෙන් පෙළෙන පාසල් ශිෂ්‍යාවකි. 
 
යට කී යුද්ධයෙන් ආබාධිත වන පුද්ගලයා විවාහ වී සිටින්නේ ගුරුවරු දෙදෙනාගෙන් එක් ගුරුවරයකුගේ සොයුරියක සමගිනි. ඇය විශ්වවිද්‍යාල උපාධිධාරිනියකි. 
 
ඇයගේ නියෝජනය තුළින් මෙරට අධ්‍යාපනයේ සහ අධ්‍යාපනලාභින්ගේ ඛේදවාචකය පිළිබිඹු කෙරෙන අතර පාසල් ගුරුවරිය තුළින් නියෝජනය කෙරෙන්නේ රටේ පවත්නා සමාජ, ආර්ථික සහ දේශපාලනික වාතාවරණය හේතුවෙන් නිසි වයසේ දී විවාහ දිවියට ඇතුළත් වීමට නොහැකි වු කාන්තා පාර්ශ්වයේ මානසික පීඩනය යි.   
 

wsd

යුද හමුදාවේ සේවයේ නියුතු වූවන්ගේ දරුවෝ, දෙමාපියෝ මෙන්ම බිරින්දෑවරු ජීවත්වන්නේ කෙතෙරම් අවිනිශ්චිතතාවකින් ද යන්න චිත්‍රපටය ආරම්භයේ දී ම ප්‍රේක්ෂකයාට දනවන්නට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත.
 
ඒ, මිය ගිය සෙබළෙකුගේ දේහය රැගෙන යන හමුදාවේ නිලධාරින් පිරිසක් අදාළ සෙබළාගේ නිවස කොතැනදැයි විමසන මොහොතේ දී ය. එම අවස්ථාවේ දී හමුදා වාහනය අබියසට පැමිණෙන වියපත් පියා, ගැබිනි මව සහ කුඩා දරුවාගේ හැසිරීම් නිරීක්ෂණය කරන හමුදා නිලධාරියා මෙසේ විමසයි.
 
 
‘‘කවුරුහරි හමුදාවෙ ඉන්නව ද...?’’
 
එයට වචනයෙන් පිළිතුරු සැපයීමට පවා අපොහොසත්වන විදානෙ සිය වමතේ දබරැගිල්ල සහ මැදඟිල්ල ඔසවා හමුදා නිලධාරියාට පෙන්වයි. එයින් සංකේතවත් කෙරෙන්නේ දරු දෙදෙනෙක් යුද හමුදා සේවයේ නියුතුව සිටීම පමණක් නොවේ. වියපත් පියා ඒ පිළිබඳව ආඩම්බරයට පත්වන බවයි. 
 
ඔහු සමස්ත සිනමා නිර්මාණය පුරා ම හැසිරෙන්නේ දැඩි යුදකාමියෙක් ලෙසිනි. නමුදු ඔවුන්ගේ ජීවිත ගන අඳුරෙන් වැසී පවතින බවත්, එයට එක ම හෝ ප්‍රධාන ම විසඳුම යුද ජයග්‍රහණය නොවන බවත් ඔහු වටහා නොගනී. 
 
සැබැවින් ම එය වටහා නොගැනීමක් නොව ඒ පිළිබද අවධානය යොමු නොකර සිටීමට යුද්ධය නමැති දේශපාලන ප්‍රයෝගය කර ඇති බලපෑම ය.
 

Capture

 
රට තුළ පැවති යුද වාතාවරණය වැඩිහිටියන්ට පමණක් නොව කුඩා දරුවන්ට ද බලපා ඇති ආකාරය මෙම සිනමා නිර්මාණය තුළින් පිළිබිඹු කෙරේ. ටිකිරාගේ මෙම දෙබස ඊට කදිම නිදසුනකි.
 
 ‘‘මට සෙල්ලං තුවක්කු වැඩක් නෑ බාප්පෙ. මට ඕනෙ වෙඩි තියන්න එකක්.’’
 
තුවක්කුව යනු දරුවන්ගේ භාවිතයට නුසුදුසු පමණක් නොව ඇසගැටීමට ද නුසුදුසු භාණ්ඩයකි. එහෙත් යුද වාතාවරණය තුළ රටේ බහුතරයක් පාලකයෝ ද, වැඩිහිටි සහ තරුණ දෙමාපියෝ ද සිය දරු මුනුබුරන් වෙත තෑගි ලෙස සෙල්ලම් තුවක්කු මිලදී ගෙන පරිත්‍යාග කළ බව අපි අත්දැක ඇත්තෙමු. 
 
ටිකිරා සහ ඇගේ මව අතර පවත්නා එකිනෙකට පරස්පර සංවාදය අපිට කියාපාන්නේ කුඩා දරුවන්ගේ මානසිකත්වය යි. එබඳු ව්‍යසනකාරි තත්ත්වයක් අත්පත් කර දුන්න ද අවසන අපි අත්පත් කරගෙන ඇති ජයග්‍රහණය කුමක් ද?
 
යුද්ධය හොඳ යැයි පවසන්නෝ සහ නරක යැයි පවසන්නෝ අතර පවතින්නේ පරස්පරතාවක් නොව සාපේක්ෂතාවක් බව එක් ගුරුවරයකුගේ මෙම ප්‍රකාශයෙන් ගම්‍ය නොවන්නේ ද?
 
‘‘සීතලට කන් පැළෙන්න එනකොට හිතෙනවා දාඩියට කුනුවෙන එක සැපයි කියල.’’
 
මෙම දෙබස කියවෙන්නේ යුද්ධයට සම්බන්ධ සාකච්ඡාවකදී නොවූව ද එහි ව්‍යංගාර්ථය යුද්ධයේ හොඳ නරක යන දෙපාර්ශවයේ සාපේක්ෂතාව පිළිබිඹු නොකරන්නේ ද?
 
එය වඩ වඩාත් සුපැහැදිලි වයන්නේ එම ප්‍රකාශයට පිළිතුරු ලෙස මල්කාන්ති නම් ගුරුවරිය පවසන දෙබස් කාණ්ඩය යි.
 
‘‘කක්කුස්සියට කෝපි අරහං වුණාට සීතලට ගින්දර වගේ’’
 
තවත් විටෙක ඇය සමස්ත පුරුෂ පාර්ශවය කෙරෙහිම දෝෂාරෝපණයක් එල්ල කරන්නී ය.
 
‘‘ගෑනියකුගෙ ශරිරයෙ උණුසුම කෝදුවකින් මැනල කොයි තරං ගුණාකාර එකතු කරත් ශූන්‍යයයි කිව්වත් ඒ ගැනියෙකුගෙ මයිල් ගහකට ආදරණීය වටිනාකමක් දෙන්න බැරි මිනිහෙක්ට අවස්ථාවක් දෙන එක තරං අපරාධයක් මේ ලෝකෙ තවත් නෑ.’’
 
ඇය මෙසේ පිට කරන්නේ කල වයස ඉක්මවා යමින් පැවතිය ද ඇයට මේ වනතුරු පෙම්වතෙකු නොමැති විම සහ අගේ දෙමාපියන් ගෙන එන යෝජනාවලට අකමැති වුව ද, ඇය ද ඇට මස් ලේ නහරවලින් සුසැදි මිනිස් ප්‍රාණියක වන බැවිනි; ඇගේ හිත ආදරය ඉල්ලනවා මෙන් ම ඇගේ ගත ද ආසාවලින් පිරී ඇති බැවිනි; නමුදු ඇය අවස්ථාවාදී පුරුෂයන් හොඳින් ම හඳුනන බැවිනි. ගුරුවරයාගෙන් ඉගෙනගැනීමට පැමිණෙන සිසුවිය කෙරෙහි ඇය වෛරයක් උපදවා ගන්නේ ද මේ පසුබිම තුළ ය.
 
cvx 
 යුදවාදින් සහ යුද විරෝධීන් එකම භුමියක දී සිය මතය තහවුරු කරගන්නට යත්න දරන්නේ ඔවුන් කෙරෙහි සැබැවින් ම බලපා ඇති ප්‍රශ්න අමතක කරමිනි. 
 
ඒ එක් ගැටලුවක් වන්නේ රැකියා වියුක්තිය යි. රටේ උගත් පිරිස රැකියා වියුක්තිකයන් ලෙස පාරක් පාරක් ගානේ උද්ඝෝෂණ පවත්වන තත්ත්වයට රට වැටි ඇත්තේ කුමන හේතුවක් මත ද යන්න මතු දැක්වෙන දෙබස සාක්ෂි දරයි.
 
 ‘‘ගැසට් එක කියවල කියවල ම මට හිතෙනව ‘ගැසට්’ කියල නවකතාවක් ලියන්න. දැං ගැසට් එක එළියට එන්නෙ දෙවෙනි ඉන්ටව් එකත් කතා කරාට පස්සෙනෙ.’’
 
කටුක වුව ද, තිත්ත වුව ද මේ අපේ රටේ රැකියා ලබාදීමේ යථා තත්වය නොවන්නේ ද? ආණ්ඩුවේ රැකියා පුරප්පාඩු ඇතිවුවහොත් පළමුව කෙරෙන්නේ දේශපාලුවන්ට බැළමෙහෙවර කළ වුන්ගේ ලයිස්තුවක් අමාත්‍යාංශයට යවා ඔවුන් බඳවා ගැනීම ය. රටේ පවතින නීතියට හෝ රීතියට අනුකුල වන පරිදි ගැසට් පත්‍රය නිකුත් කරන්නේ ඉන් අනතුරුව ය.
 
තැපැල් කාර්යාලයේ නිලධාරිනිය සහ රැකියා අපේක්ෂිත උපාධිධාරිනිය අතර හුවමාරු වන දෙබස් කණ්ඩය (අවසන් දෙබස හැර) තුළින් තව දුරටත් අපේ රටේ අධ්‍යාපනය, රැකියා වියුක්තිය සහ සමාජ පිරිහීම පිළිබිඹු කෙරේ.
 
 
තැපැල් කාර්යාලයේ නිලධාරිනිය:- 
‘‘ගැසට් එකත් හොරෙන් අරං යන්න තරං අපේ එවුන් පහළට වැටිල’’
 
 
උපාධිධාරි සෙබළ බිරිඳ:- 
‘‘තැපැල් ගාස්තුව ගෙවාගන්න බැරැව අතමාරුවට එවන රුපියල් සීයටත් විදින එවුං මේකෙ දැං වැහි වැහැල.’’
 
 
තැපැල් කාර්යාලයේ නිලධාරිනිය:- 
‘‘විශ්වවිද්‍යාලෙ යන්නැතුව මොන්ටිසෝරි කොස් එකක් කරානං අද ඔයත් ගොඩ’’
 
 
උපාධිධාරි සෙබළ බිරිඳ:- 
‘‘රුව වඩන බියුටි සැලොන් නං පඳුරක් පඳුරක් ගානෙ. ඒත් ඉතිං මොළේ වැඩෙන තැනක් හොයාගන්න එක තමයි අමාරු.’’
 
 
තැපැල් කාර්යාලයේ නිලධාරිනිය:- 
‘‘මං මේකෙන් අයි වෙලා මොන්ටිසෝරියක් පටන්ගන්නයි හිතාගෙන ඉන්නෙ. ඒ ලෙවලුත් කරල තියෙන නිසා විදුහල්පතිකමටත් ගැළපෙනවනෙ.’’
 
 
උපාධිධාරි සෙබළ බිරිඳ:- 
‘‘විශ්වවිද්‍යාල උපාධියට වඩා මොන්ටිසෝරි ඩිප්ලෝමා එක බලවත් කියල මටත් තේරිලා ගොඩක් කල්.’’
 
 
තැපැල් කාර්යාලයේ නිලධාරිනිය:-
 ‘‘පුළුවන් තරං ඇප්ලිකේෂන් දාන්න. ඔහොම දාද්දි හරි යයි.’’
 
 
උපාධිධාරි සෙබළ බිරිඳ:- 
‘‘මං ඇප්ලිකේෂන්වලින් සතකයක් ගහනකොට ටිකිර මොන්ටිසෝරිත් යනව.’’  (මෙම දෙබස පවසන්නේ වෙනත් ස්ථානයක දී ය. නමුදු මෙය මෙතැනට ම ගැළපෙන බැවින් ඇතුළත් කළේ ය)
 
 
උපාධිධාරි සෙබළ බිරිඳ මෙසේ පවසන අවධිය වන විට ටිකිරා හෙවත් ඇගේ පුතුට වයස හතක් හෝ අටක් පමණි. ඇය රැකියා ඉල්ලුම්පත් සියයක් යවා අවසන් කර ඇත්තේ දරුවා ළදරු පාසල් යන සමයේ දී ය. එහෙත් එතැන් සිට මේ දක්වා අවම වසර පහක් ගෙවී ගොස් තිබේ. ඇය තවමත් රැකියා විරහිත උපාධිධාරිනියකි. ඉදින් මේ පැවසෙන්නේ මෙරට වෙසෙන උපාධිධාරී රැකියා වියුක්තිකයන්ගේ ඛේදවාචකය නොවේ ද? 
 
zdfsdg 
 
කනවැන්දුම් ගැහැනියක හෝ සැමියා හැර ගිය ගැහැනියක කෙරෙහි පුරුෂ පාර්ශ්වයේ බලපෑම කෙතරම් ද යන්න යුද්ධයෙන් තුවාල ලබා, තාවකාලික නිවාඩු ලබා නිවසට පැමිණෙන සෙබළා සිය වැඩිමහල් සෙබළ සොයුරාගේ බිරිඳට පහදා දෙන්නේ මෙලෙසිනි.
 
‘‘තනි වෙච්ච ගෑනියෙක් දැක්කම මිහරකෙක් උනත් කුලප්පු වෙනව. ඊට පස්සෙ උගෙං ගැලවෙනව බොරු.’’
 
යුද්ධය උත්කර්ශයට නංවන සමයේ ඇතැම් බුද්ධ පුත්‍ර යෝ ද සිය ගීත රචනා තුළින් ප්‍රකාශයට පත් කළේ සතුරන් ඝාතනය කරන තරමට නිවන් දොරටුවට ආසන්න වන බවයි. 
 
එය ම වෙනත් ආකාරයකින් පවසන්නේ ඒ වන විට දීර්ඝ කාලයක් නිවසට නොපැමිණි, සොයාගත නොහැකි තත්ත්වයක පසු වූ, පසුව ඉණෙන් පහළ අප්‍රාණිකව නිවසට පැමිණි යුද සෙබළාගේ බිරිඳ ය; විශ්වවිද්‍යාල උපාධිධාරිනිය ය.
 
‘‘හතරවරිගය නිවන් දක්කන්න මහණ වෙන්න ම ඕන්නෑ අක්කෙ.’’
 
අනෙක් පසින් ඇය මේ දෙබස පවසන්නේ යුද්ධයෙන් මිය යාමෙන් අනතුරුව මුද්‍රා තැබූ දෙනක නිවසට පැමිණි යුද සෙබළකුගේ බිරිඳක් වෙත ය. ඇය ද සිය සැමියා ජීවතුන් අතර සිටිය දී ඔහු වෙතින් හිංසනයට, පීඩනයට ලක්ව සිටි බිරිඳක බව මතු දැක්වෙන දෙබස ඉඟි කරයි.
 
‘‘බක්මහ අකුණු කොච්චර දරුණු වුනත් ඒක නැති උණාම හරිම සාංකාවයි නංගි.’’
 
සැබැවින් ම මේ යුද සෙබළකුගේ බිරිඳකගේ මතු නොව බොහෝ බිරින්දන්ගේ ගේ ජීවිතයේ යථා ස්වභාවය නොවන්නේ ද? සැමියා වෙතින් කෙතරම් ගැහැට වින්ද ද බිරිඳකට සැමියා යනු ඉෂ්ට දේවතාවක් බඳු ය. මෙය ද අපේ රටේ පවත්නා තවත් පසුගාමී තත්ත්වයක් නොවන්නේ ද?
 lkjhng
 
රැකියා විරහිත තරුණ පිරිස් යුද හමුදාවට බැඳුණේ සැබැවින් ම රට ජාතිය කෙරෙහ් ඇති ආදරයකින් ද නැද්ද යන්න පිළිබඳ විවිධ මත පවතී. එහි සත්‍ය තත්වය බාහිර පුද්ගලයන්ට අවබෝධ නොවුණ ද යුද්ධයේ බිහිසුණු බව අත්විඳි පිරිස් එය අවබෝධ කරගෙන ඇත.
 
හමුදා සෙබළුන් දිගින් දිගට ම යුද වදින බව සහ ඔවුන් ජයග්‍රහණයේ සීමාවට ආසන්න වී ඇති බවට පැවසෙන ප්‍රවෘත්ති විකාශනය වන මොහොතේ එම ප්‍රවාතියට ම ඈඳා ඒ වන විට හමුදා සේවය අතැර ගොස් සිටින පිරිස වෙත ද දෝෂාරෝපණය එල්ල කෙරේ.
 
 තුවාල ලබා නිවසට පැමිණ සිටින සෙබළා පවසන්නේ ගුවන් විදුලි යන්ත්‍රය අක්‍රිය කරන ලෙසයි. නමුදු යුද උම්මාදයෙන් ප්‍රහර්ෂයට පත්ව සිටි වියපත් පියා එයින් කෝපයට පත්ව මෙසේ පවසයි.
 
‘‘උපන් බිමයි වැදූ මවයි මතක නැති ගුණමකුවො... කාලකණ්ණි... මට තියෙන කැක්කුම තොපිට තියෙනවද බොලව්...’’
 
මෙම සිදුවීම වන විට ඔහුගේ එක් විවාහක පුතෙකු පිළිබඳ නිශ්චිත තොරතුරක් ද නැත. මෙලෙස ඔහුගේ අප්‍රසාදයට ලක්වෙන තරුණයා ද තුවාල ලබා නිවසට පැමිණ සිටියි. අතුරුදන්ව සිටින පුතාගේ බිරිඳ ද රැකියා විරහිත ය. දැඩි නියඟයට ලක්ව ඔහුගේ සියලු බෝග හානියට පත්ව තිබේ. ඉතිරි අස්වැන්නක් තිබේ නම් එය අතරමැදි වෙළෙන්දෝ විසින් ගසාකනු ලබයි. ඔහු ඒ බව ව්‍යංගයෙන් පවසන්නේ මෙලෙසිනි.
 
‘‘බජාර් එකේ කිලෝ එක රුපියල් 200යි. 20කටවත් දුන්නොත්...?’’
 
එබඳු තත්ත්වයක් තුළ වුව ද ඔහු සිය දරුවන්ට අලුත් ඇඳුම් මිලදී ගැනීමට පවා සිහින මවයි. එහෙත් ඔහු අවිඥානිකව නොව සවිඥානිකව ම යුද්ධයට පෙම් බඳී. 
 
මෙය කෙතරම් ඛේද ජනක ද? ‘යුද සිනමාව’ තුළින් ජනතාවට අවබෝධ කළ යුත්තේ මෙකී යථාර්ථය නොවේ ද? 
 
නමුත් එය යුද විරෝධි සිනමාව ලෙස පාලකයන්ගේ මර්දනයට ලක්වන්නේ මෙබඳු නිර්මාණ තුළින් ජනතාව යුද්ධයේ කුරිරු බව මෙන් ම පාලකයන්ගේ දුර්වලතා ද අවබෝධ කරගන්නා බැවින් නොවේ ද...?
 
 
‘‘ස්තුතියි නැවත එන්න’’ සිනමා නිර්මාණයට දායක වූවෝ
 
සංගීතය - ගයාන් ගණකධාර
 
නිෂ්පාදනය - මංගල මඩුගල්ල
 
තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුමිත් රෝහණ තිත්තවැල්ල
 
රංගනය - හේමසිරි ලියනගේ, දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, ජගත් චම්පික බෙණරගම, ජයනි සේනානායක, මන්දස්මිතා මුදුතෙපලී සහ රමිඳු ප්‍රභාෂ් බෙණරගම
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
 
 
කියවන්න :
 
 
 
 
 
 
 

 

 
ජැක් ඇන්ඩ් ජිල්ට වෙච්ච වැඩේ අජිත් රෝහණටත් වෙයිද?
 

ජාතිකවාදීන් අන්දන මහින්දගේ ඩබල් ගේම
  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්