2011 ඔක්තෝබර් 20 ලිබියාවේ ඒකාධිපති පාලක, මුවම්මර් ගඩාෆි ඝාතනය කෙරුණු අතර 2012 මැයි 16 මෙම දේශපාලන ප්‍රහසන චිත්‍රපටය එක්සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ ප්‍රදර්ශනය කිරීම ආරම්භ විය. 
 
 
‘සාෂා බාරොන් කොහෙන්’ විසින් ලියූ පිටපත ඔහු ම නිෂ්පාදනය කරමින් සහ ප්‍රධාන චරිතය ද නිරූපණය කරන මෙම චිත්‍රපටය ලැරී චාල්ස්ගේ අධ්‍යක්ෂණයකි. 
 

The Dictator 1

ජනප්‍රිය රංගන ශිල්පීන් වන බෙන් කිංස්ලි සහ ඇනා ෆාරිස් ද රංගනයෙන් දායක වෙමින් ඩොලර් මිලියන 65ක වියදමකින් නිමවූ මෙම චිත්‍රපටයෙන් ඩොලර් මිලියන 179ක ආදායමක් උපයා තිබිණි.

‘වාඩියා’ නම් උතුරු අප්‍රිකානු රාජ්‍ය පාලක ‘අද්මිරාල් ඇලඩීන්’ නමැති උමතු ඒකාධිපති පාලකයා එක්සත් ජාතින්ගේ සමුළුවට සහභාගි වීමට අමෙරිකාවට ගිය අවස්ථාවේ ඔහුගේ මාමා විසින් ඇලඩීන් පැහැරගෙන යාමට සලස්වනු ලැබ කුමන්ත්‍රණකාරි ලෙස බලය පැහැර ගැනීමට පියවර ගනී. 
 
ඇලඩීන් පැහැරගත් කුලී ඝාතකයා අත්වැරදීමකින් මියයන අතර, ඇලඩින් පණ බේරාගෙන නිව්යෝක් නගරයේ ඇවිද යන විට මානව හිමිකම් ක්‍රියාකාරිනියක හඳුනාගැනීමෙන් පසුව සියල්ල වෙනස් වේ. 
 
ඇය සමග නගරයේ එක්තරා අවන්හලකට යන ඇලඩීන්ට තමන් විසින් මරා දැමීමට නියම කරනු ලැබූව ද, රටින් පැන ගොස් එක්සත් ජනපදයේ වාසය කරන වාඩියා වැසියන් හමුවේ. 
 
ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සම්බන්ධයෙන් වෙනස් අදහස්වලට ළංවන අද්මිරාල් ඇලඩීන්ට මානව හිමිකම් ක්‍රියාකාරිනිය කෙරෙහි කැමැත්තක් ඇතිවීමෙන් පසුව, ඔහු වඩා යහපත් පාලකයකු බවට පත් වීම චිත්‍රපටයේ අවසානයයි.
 
මතු දැක්වෙන්නේ, මෙම චිත්‍රපටය අළලා මාධ්‍යවේදි චන්දන සිරිමල්වත්ත සමග කළ සාකච්ඡාවකි.
 
chandana sirimalwatta‘‘The Dictator’’ තුළ සාකච්ඡා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය කියලා වේදිකාවල මොරදීගෙන ඇවිත් බලය ඒකරාශි කරගන්න ඒකාධිපතියන් ගැන
- මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත
 
 
 ජයසිරි :
 ‘ඒකාධිපතියා’ නමැති වචනාර්ථයෙන් ම සාකච්ඡාව ආරම්භ කරමු.
 
චන්දන :
ඒකාධිපතියා කියන්නෙ ‘එකම අධිපතියා’ කියන අර්ථයෙන්, රාජ්‍ය පාලනයෙ දි තනි පුද්ගල නායකත්වයක් පවත්වා ගැනීමනෙ. පවතින පාලන ක්‍රමය කුමන්ත්‍රණයකින් පෙරළා දමා බලය අත්පත් කරගැනීම ලෝකයේ අත්දැකීම් ලෙස තියෙනවා. 
 
අනෙක් ක්‍රමය තමයි යම් යම් පුද්ගලයො මහජන ඡන්දයෙන් බලයට පත්වෙලා අනතුරුව, ජන අනුමැතියෙන් ම ඒකාධිපති ක්‍රමයක් අනුගමනය කිරීම. 
 
අපේ අත්දැකීම තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය, ප්‍රජාතන්ත්‍රවාදය කියලා වේදිකාවල මොරදීගෙන ඇවිත් බලය ඒකරාශි කරගන්න ඒකාධිපතියන් ගැන. 
 
නමුත් මේ ඒකාධිපතියන් බලයට පත් වෙන්නෙ මහජන ඡන්දයෙන්. එක පැත්තකින් පැරණි සමාජයේ අගති සහගත ලක්ෂණ ව්‍යාජ උත්කර්ෂයකින් ඉස්මතු කරමින්, අනෙක් පැත්තෙන් වත්මන් ලෝක යථාර්ථයේ කරුණු වසන් කරමින් ව්‍යාජ ගැලවුම්කාර වීරයෝ ජනතාව හමුවේ දියසෙන් කුමාරයා භූමිකාව රඟදක්වනවා. 
 
''‘මකරාක්ෂයා’ නාට්‍යයේ වගේ මකරා මරා දමන වීරයා ඉන් පස්සෙ මකරෙක් වෙනවා. මකරුන් බිහිකරන, ‘මකර බිත්තර වපුරන’ සමාජ පරිසරය වෙනස් නොකර, වෙනත් වචනවලින් කිව්වොත්, සමස්ත සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසකින් තොරව, ඒකාධිපතියන් බිහිවන එක වළක්වන්න බෑ. මොකද, ඡන්දය දීලා ඒකාධිපතියන් ගේන්නෙ මිනිස්සු.''
 
‘මකරාක්ෂයා’ නාට්‍යයේ වගේ මකරා මරා දමන වීරයා ඉන් පස්සෙ මකරෙක් වෙනවා. මකරුන් බිහිකරන, ‘මකර බිත්තර වපුරන’ සමාජ පරිසරය වෙනස් නොකර, වෙනත් වචනවලින් කිව්වොත්, සමස්ත සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසකින් තොරව, ඒකාධිපතියන් බිහිවන එක වළක්වන්න බෑ. මොකද, ඡන්දය දීලා ඒකාධිපතියන් ගේන්නෙ මිනිස්සු.
 
 
ජයසිරි :
ඔබ සඳහන් කළ පරිදි ම පවතින පාලනය පෙරළා දමා ඒකාධිපති පාලනයක් ස්ථාපිත කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් මහජන ඡන්දයෙන් බලය ලබාගෙන ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම නමැති කාරණා දෙක අතර පවතින වෙනස ඔබ දකින්නේ කෙසේ ද?
 
චන්දන:
අපි හොඳට ම දන්න දෙයක් තමයි දේශපාලන ආධිපත්‍ය, රාජ්‍ය බලය කියන්නෙ සන්නද්ධ බලයත් එක්ක ගැටගැහුණ දෙයක් බව. ඇතැම් අවස්ථාවල පවතින පාලන තන්ත්‍රයේ දුර්වලකමක් නිසා හෝ ඒ පාලන තන්ත්‍රයට විරුද්ධ බලවේග විසින් යම් ආකාරයක සන්නද්ධ බලයක් උපයෝගී කරගෙන බලය අත්පත් කරගන්න පුළුවන්. 
 
ඒකට අපි කියනවා හමුදා කුමන්ත්‍රණයක් නැත්නම් සන්නද්ධ නැගිටීමක් කියල. 
 
නමුත් වර්තමාන කාලයේ අපි කියන ධනපති ප්‍රජාතන්ත්‍රවාදයෙ දි සන්නද්ධ බලය හැසිරවීමේ අයිතිය ඡන්ද බලයෙන් උපයා ගැනීමට යොදා ගන්නෙ  ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ. මැතිවරණයකින් බලයට පත්වන ආණ්ඩුවකට පුළුවන් තමන්ට විරුද්ධ ඕනෑ ම කෙනෙකුට විරුද්ධ චෝදනා නගල, නීති හදල, මර්දනය කරන්න. පාර්ලිමේන්තු ධුර කාලය වංචනිකව දීර්ඝ කරන්න.
 
''වර්තමානයේ අපි කියන ධනපති ප්‍රජාතන්ත්‍රවාදයෙ දි සන්නද්ධ බලය හැසිරවීමේ අයිතිය ඡන්ද බලයෙන් උපයා ගැනීමට යොදා ගන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ. '
 
ජේ.ආර්. ප්‍රජාතන්ත්‍රවාදි ‘ජනමත විචාරණ’ ආකෘතිය පාවිච්චි කළා. මහජන ඡන්දයෙන් කොහොමද ඒකාධිපතියන් බිහිවෙන්නෙ කියන පැත්තෙන් උදාහරණ ලංකාවෙ තව ගොඩක් තියෙනවා. 
 
1989 ප්‍රේමදාස ආවෙත් ඡන්දය දිනලා. ප්‍රේමදාස මොන තරම් සිල්වත්, උපාසක පෙනුමක් පෙන්නුවත් කෘර ඒකාධිපති පාලකයෙක් බව අනාවරණය වුණා.  
 
1994 චන්ද්‍රිකා ආවෙත් ඡන්දය දිනලා. 17 අවුරුදු ඒ.ජා.ප. ශාපය පරද්දනවා කියලා හිනා මුණෙන් ජනප්‍රියන්දයෙන් ආව චන්ද්‍රිකාගෙ ඒකාධිපති පාලනයෙ බොරු බේගල්, වංචනික ගනුදෙනු, ඡන්ද කොල්ලවලින් අඩුවක් තිබුණෙ නෑ.
 
මහින්ද රාජපක්ෂ, ජනාධිපති කෙනෙක් හැටියට රජ කෙනෙක්ට දෙවැනි නැති බලයක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ගොඩ නගා ගත්තෙ ප්‍රජාතන්ත්‍රවාදි ඡන්දවලින් බලය අරන් පාර්ලිමේන්තුවෙ බහුතර කැමැත්ත ඇතිව. 
 
20
''ගෝඨාභය ජනාධිපතිවරයා පහුගිය සැප්තැම්බර් මාසෙ ගෙනාව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මේ වනවිට රටේ මිලිටරි පාලනයකට පාර කැපෙමින් තියෙනවා. ''
 
ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපතිවරයා පහුගිය සැප්තැම්බර් මාසෙ ගෙනාව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා මේ වනවිට රටේ මිලිටරි පාලනයකට පාර කැපෙමින් තියෙනවා. 
 
ඒක වෙන්නෙත් ජනතාව බහුතරයක්, ජනාධිපතිවරණයෙදි ලක්ෂ 69ක්, මහමැතිවරණයෙ දි ටිකක් අඩුවෙලා ලක්ෂ 68ක් අනුමත කරපු පාලනයක් ලෙසයි.
 
මේ ඡන්ද ලබාගැනීම ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව අපි විශ්වාස කරන තාක් මේක වෙනස් වෙන්නෙ නෑ.
 
 ජනතාවගේ අදහස් නිසා ද මේ ඡන්දය දෙන්නෙ කියලා හිතලා බලන්න. ජනතා මතය ගොඩනංවපු දෙයක්. 
 
''මේ ඡන්ද ලබාගැනීම ප්‍රජාතන්ත්‍රවාදය කියන බොරුව අපි විශ්වාස කරන තාක් මේක වෙනස් වෙන්නෙ නෑ. ජනතාවගේ අදහස් නිසා ද මේ ඡන්දය දෙන්නෙ කියලා හිතලා බලන්න. ජනතා මතය ගොඩනංවපු දෙයක්. ''
 
රජයේ මාධ්‍ය විසින් පෞද්ගලික ධනකුවේරයන්ගෙ රූපවාහිනි චැනල් හරහා මෙන්න මේකයි වෙන්නෙ. මෙන්න මෙහෙමයි වෙන්න  ඕන කියන අදහස් ජනතාව අතර වපුරනු ලබනවා.
 
 ජනතාවගේ අදහස්ම ක්‍රමානුකූලව නැවත ජනතාවගෙ මනෝභාව හදන්න පාවිච්චි කරනවා.
 
 මාධ්‍ය සහ දැවැන්ත ප්‍රචාරණ ක්‍රියාදාමයක් මැතිවරණ කාලෙදිත් ඊට පෙරත් පාවිච්චි කරලා ඕනැම හොරෙකුට, අපරාධකාරයෙකුට සුදු හුණු ගාල පූජාසනයට නංවනවා. 
 
ඊට පස්සෙ ඒ හදපු ප්‍රතිරූපයට සාපෙක්ෂව තමයි ජනතාව සාතිශය බහුතරයක් තීරණ ගන්නෙ, ක්‍රියාත්මක වෙන්නෙ.
 
Mahinda Rajapaksha 2010
මහින්ද යුද්ධය දිනුවා කියලා ප්‍රතිරූපයක් ගොඩනැගුවෙ මේ මාධ්‍ය ප්‍රචාරණය, අහස උසට හදපු කටවුට්, කෙළවරක් නැතිව රූපවාහිනි සේවාවල ප්‍රචාර හරහා. 
 
මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවා කියලා 2009න් පස්සෙ ප්‍රතිරූපයක් ගොඩනැගුවෙ මේ මාධ්‍ය ප්‍රචාරණය, අහස උසට හදපු කටවුට්, කෙළවරක් නැතිව රූපවාහිනි සේවාවල ප්‍රචාර හරහා. 
 
හැබැයි ඒ ප්‍රචාරක වැඩවලට ගෙවන්නෙත් ජනතාවගෙ මුදල්. මහින්දගෙ ගෙදරින් බිල් ගෙවන්නෙ නෑ. ස්වාධීන රූපවාහිනියෙ, ජාතික රූපවාහිනියෙ, ලේක්හවුස් ඒකේ දැන්වීම්වලට ගෙවලා නෑ කියලා පස්සෙ නෙ එළිදරව් වුණේ. 
 
දැන් පවා ගෝඨාභය රාජපක්ෂලා, තවත් රාජපක්ෂලා උස්සන්න මාධ්‍ය ප්‍රචාර පාවිච්චි කරනවා. 
 
ඒ නිසා අපි තේරුම් ගත යුතු දේ තමයි මේ කියන, ධනපති පාර්ලිමේන්තු ක්‍රමය, ව්‍යාජ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවතින්නෙ ධනපති සමාජ ආර්ථික ක්‍රමයෙ කොටසක් හැටියට. 
 
සමස්ත සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසකින් තොරව, ඒකාධිපතියන් බිහිවන එක වළක්වන්න බෑ කියලා මම මුලින් කිව්වෙ ඒකයි.
 
 
ජයසිරි :
මට නම් දැනෙන්නෙ ඒකාධිපතියා කියන අර්ථය සාපේක්ෂයි කියල. මොකද රාජාණ්ඩු ක්‍රමයෙන් අනතුරුව බිහිවුණ පාලකයො අතරෙ: හිට්ලර්, මුසෝලීනි, පොල්පොට්, මාකෝස්, පිනෝචේ, ඉඩි අමීන්, සදාම් හුසේන් සහ ගඩාෆි යන අය ඒකාධිපතියො කියන අතර ම තවත් පිරිසක්: මා ඕ සේ තුං, ෆිදෙල් කස්ත්‍රෝ, ස්ටාලින් සහ කිම් ඉල් සුං යන අය ඒකාධිපතියන් ලෙස හඳුන්වනවා. මේ ප්‍රශ්නය අපි කොහොමද නිරාකරණය කරගන්නෙ?
 
 
චන්දන :
ඔව්, අපි හොඳට ම දන්නවා හිට්ලර් බලයට පත්වුණේ මහජන ඡන්දයෙන්. මීට අමතරව සමාජවාදි රටවල්වල ඒ ක්‍රමයට පත්වුණ පාලකයොත් ඉන්නවා. තවත් පාලකයො පිරිසක් ඉන්නවා මා කළින් සඳහන් කළ පරිදි යම් නිශ්චිත අවස්ථාවක දි බලය පැහැරගත් අය. අපි උදාහරණයකට ගඩාෆි ගමු. ඔහු බලය පැහැරගත් අවදියේ ජනප්‍රිය නායකයෙක්.
 
බලය පැහැර නොගත්තත් මහින්ද රාජපක්ෂත් ඒ වගේ ම තමයි. 
 
සදාම් හුසේන් ගත්තත් යම් ප්‍රමාණයක විරෝධතා තිබුණත් ඔහු සිය පාලනය පවත්වාගෙන ගියේ බහුතරයකගේ කැමැත්තෙන්. 
 

NaZIහිට්ලර් - සදාම් හුසේන් - මුසෝලීනි

මුසෝලීනිත් තමන්ගෙ ජනප්‍රිය  බලය අත්පත් කරගත්තෙ ජාතිකවාදී ව්‍යාපාරය හරහා. ඒ ධනවාදය පැත්තෙන්. 
 
නමුත් අපිට සමාජවාදි නාමය යටතේ බිහි කරපු ස්ටාලින්, කිම් ඉල් සුං වගේ නායකයො ඒකාධිපති නොවෙයි කියල කියන්නත් බැහැ. සමාජවාදය, සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසක් ලෙස, සමස්ත සමාජයේ මැදිහත්වීමෙන් ඇතිවන ක්‍රියාදාමයක් ලෙස ගොඩ නංවන්න බැරි තාක් ඒක එහෙම ම යි.
 
අපි ස්ටාලින් ගනිමු. ඔහු සෝවියට් සමාජවාදයේ මුල් දිශානතිය වෙනස් කරලා, පුද්ගල ආධිපත්‍යයක් හරහා ගිය ගමන නිසා අත්තනෝමතික පාලකයෙක් විදියට හංවඩු ගැහුණනෙ. 
 

fidel castroෆිදෙල් අමෙරිකාවට එරෙහිව ගෙන ගිය අරගලයෙ දි ජනතාව ඔහු සමග සිටියා

නමුත් ෆිදෙල් ඊට වඩා වෙනස්. මහින්ද රාජපක්ෂ සහ මුසෝලිනි ජාතිකවාදි නායකයො විදියට ජනප්‍රිය වුණා වගේ නෙවෙයි, ෆිදෙල් සමාජවාදි නායකයෙක් විදියට ජනප්‍රිය වුණේ. 
 
කියුබාවේ අත්දැකීම් දන්න නිසා ධනපති ඒකාධිපතියන් හා සමානයි කියන නිගමනයකට එන්න බැහැ. නමුත් ඔහු කළ වෙනස්කම් සමග ම ඔහු ජනප්‍රිය වුණා. 
 
විශේෂයෙන් ම ඔහු අමෙරිකාවට එරෙහිව ගෙන ගිය අරගලයෙ දි ජනතාව ඔහු සමග සිටියා. 
 
රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු පනවපු නියෝගවලට ජනතාව පක්ෂපාතී වුණා. 
 
ඔහු තනි පුද්ගලයෙක් විදියට බාහිරට පෙණුනත් ඔහු සිය අදහස් ක්‍රියාත්මක කළේ ජනතා බලය පවත්වා ගෙන යන රාජ්‍ය ව්‍යුහයක් හරහා. 
 
අදටත් දැවැන්ත අමෙරිකාවට කියුබාව පරාජය කරන්න බැරි ඒ හේතුව නිසා ම යි.
 
''අනෙක් පැත්තෙන් සමාජවාදය කියන්නෙ යම් සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඉලක්ක කරගත්ත ක්‍රමයක්නෙ. නමුත් එබඳු පරිවර්තනයක් තනි පුද්ගලයකුට හෝ පක්ෂයකට පමණක් කරන්න බැහැ''. 
 
අනෙක් පැත්තෙන් සමාජවාදය කියන්නෙ යම් සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් ඉලක්ක කරගත්ත ක්‍රමයක්නෙ. නමුත් එබඳු පරිවර්තනයක් තනි පුද්ගලයකුට හෝ පක්ෂයකට පමණක් කරන්න බැහැ. 
 
ඒ විදියට ගත්තොත් සමාජවාදී රටක එක් අධිපතියෙක් ඉන්නව කියන එක පවා පිළිගන්න බැහැ. සමාජවාදී පරිවර්තනයක් කරන්න ජනතාවගේ සහයෝගය අවශ්‍යයි. 
 
එතනදි ජනතාවගේ සිතුම් පැතුම්, දේශපාලන දැක්ම චර්යා රටා, සහ සම්පූර්ණ ජීවන රටාව ආදි සියල්ල ම ඒ පරිවර්තනයට එකතු විය යුතු යි. එ
 
හෙම නොවුණොත් ඒක පරිවර්තනයක් වෙන්නෙ නැහැ. 
 
ඒ නිසා මා ඕ සේ තුං හරි කිම් ඉල් සුං හරි දේශපාලන නායකයෙක් වූ පමණින් ඔහු දිගින් දිගට ම ඒ රටේ පාලකයා විය යුතුයි කියල පිළිගන්න බෑ. 
 
දැන් ෆිදෙල් ගත්තොත් ඔහු වසර පනහක් පමණ කියුබාව පාලනය කළා. නමුත් ඔහු විතර ද කියුබාවෙ නායකයකුට හිටියෙ? නැහැ. තවත් අය හිටියා. 
 
නමුත් ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණෙ ෆිදෙල්ට. ඔහු ඒ රට පාලනය කළේ ජනතාවගේ කැමැත්තෙන්. නමුත් එහෙම නොවුණා නම් වඩා හොඳයි.
 
සමාජවාදී රාජ්‍යය තුළ සිටින්නෙත් ඒකාධිපතියො කියන මතයක් සකස් කරන්නෙ බලහත්කාරයක් නොවන ලෙසින් බලහත්කාරයම පවතින ධනවාදය රජකරන බටහිර රටවල්වලින්. 
 
නමුත් සමාජවාදි රටවල්වල පාලනය කියන්නෙ මතුපිටින් පෙනෙන මූලික නායකයා නෙවෙයි. සෝවියට් දේශයේ නම් ජනාධිපති වෙන්නෙ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්. නමුත් එයාට ඒකාධිපති වෙන්න බලයක් නැහැ.
 
 
ජයසිරි :
දැන් ඔබ පැවසුවා මේ චෝදනා කරළියට ගේන්නෙ බටහිර රටවල් කියල. නමුත් අපි දන්න ඉතිහාසයේ බටහිර රටවල්වල ඒ විදියෙ ඒකාධිපතියො බිහිවෙලා නැහැ. එහෙම නම් ඔවුන් කරන චෝදනාවේ සාධාරණත්වයක් තියෙනවා කියල මම යෝජනා කළොත්?
 
 
චන්දන :
බටහිර රටවල් කියන්නෙ දියුණු ධනවාදි රටවල්, ලංකාවට බටහිරෙන් එවැනි රටවල් ගොඩක් තියෙන නිසා මුලදි ඒ යෙදුම පාවිච්චි කළේ. 
 
එවැනි රටවල අත්තනෝමතික වැඩවසම් පාලකයන් පරාජය කරලා සාමුහික අරගලවලින් නියෝජන ක්‍රමය ගෙනාපු නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂාවන, තනි පුද්ගලයන්ට තනි අයිතියේ බලයක් හිමිකරගන්න බැරි තත්වයක් තියෙනවා. 
 
නමුත් ජනතාවගෙ ජීවන ගැටලු පැත්තෙන් කිසිම වෙනසක් නෑ. 
 

SDFSDF

''වසංගත සමයෙ දි ලංකාවෙ මැරෙන්නෙත් පාලක පන්තියෙ සාමාජිකයන් නෙවෙයි. දියුණු පාරාදිසයක් කියන අමෙරිකාවෙ, එංගලන්තයෙ මැරෙන්නෙත් පාලක ප්‍රභූ පෙළැන්තියෙ අය නෙවෙයි. ජීවන අත්දැකීම් පැත්තෙන් අපට ඇත්ත බෙදීම හඳුනාගන්න පුළුවන් සරල ම ක්‍රමය ඒක. ''
 
වසංගත සමයෙ දි ලංකාවෙ මැරෙන්නෙත් පාලක පන්තියෙ සාමාජිකයන් නෙවෙයි. දියුණු පාරාදිසයක් කියන අමෙරිකාවෙ, එංගලන්තයෙ මැරෙන්නෙත් පාලක ප්‍රභූ පෙළැන්තියෙ අය නෙවෙයි. ජීවන අත්දැකීම් පැත්තෙන් අපට ඇත්ත බෙදීම හඳුනාගන්න පුළුවන් සරල ම ක්‍රමය ඒක. 
 
ඒ රටවල ඒකාධිපතියන් නැති එක නෙවෙයි ප්‍රශ්නය. 
 
රතුපස්වල දි ධම්මික පෙරේරාගෙ කම්හල වෙනුවෙන් වෙඩි තියන්න අණ දුන්නෙ ජනතාවගෙ කැමැත්තෙන් බලයට පත් වූ මහින්දගෙ ඒකාධිපති පාලනය. 
 
ප්‍රංශයෙදි, අමෙරිකාවෙදි ජනතාවගෙ විරෝධතාවලට පහර දෙන්නෙ, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණවලින් බලය ගන්න ඔබ කියන ඒකාධිපතියන් නැති දියුණු ප්‍රජාතන්ත්‍රවාදි පෙනුමක් තියෙන පාලනයෙන් ම යි. 
 
ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන හිතුවොත්, ඒ වගේ පිස්සෙක් බලයට පත් වුණේ කොහොමද කියලා අමෙරිකාවෙම මිනිස්සු කතා වෙන්න පටන් ගත්තා.
 
''ප්‍රශ්නයේ දෙවැනි කොටසට ගියොත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්ත. නමුත් බහුතර කැමැත්ත හැම මොහොතක ම නිවැරදි ද කියන ප්‍රශ්නය තිබෙනවා. ''
 
ප්‍රශ්නයේ දෙවැනි කොටසට ගියොත්, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ බහුතර කැමැත්ත. නමුත් බහුතර කැමැත්ත හැම මොහොතක ම නිවැරදි ද කියන ප්‍රශ්නය තිබෙනවා.
 
දැන් අපේ රටේ ගත්තොත්: වැඩිපුර පෝස්ටර් කටවුට් ගහන්න පුළුවන්, වැඩිපුර මාධ්‍ය ප්‍රචාරක බලය පවත්වාගෙන යන්න පුළුවන්, වැඩිපුර මර්දනය දියත් කරන්න පුළුවන් පිරිසකට හෝ පුද්ගලයකුට ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත්වෙන්න පුළුවන්. 
 
නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒක ද? බලයට පත්වුණ පුද්ගලයා කරන්නෙ ජනතාව අන්දන එක කියල ජනතාව දැනුවත් වුණාට පස්සෙ තවදුරටත් ඔහු හෝ ඇය නායකයෙක් හෝ නායිකාවක් විදියට පිළිගන්න සමාජය සුදානම් නැහැ. 
 
ඒ වුණත් ජනතාවට භාරගන්න වෙනස්කමක් කරන්න සමත් කියලා ජනතාවට විශ්වාස කළ හැකි විකල්පයක් නැති වුණාම තියෙන ‘නරක දේවල්වලින් එකක්’ තෝරා ගන්න සිදුවෙනවා. ඒක නෙවෙයි ද මැතිවරණවල දි වෙන්නෙ?
 
''ජනතාවට භාරගන්න වෙනස්කමක් කරන්න සමත් කියලා ජනතාවට විශ්වාස කළ හැකි විකල්පයක් නැති වුණාම තියෙන ‘නරක දේවල්වලින් එකක්’ තෝරා ගන්න සිදුවෙනවා. ඒක නෙවෙයි ද මැතිවරණවල දි වෙන්නෙ?''
 
 
ජයසිරි :
මේ සාකච්ඡාවෙ දි පැහැදිලි වුණ ප්‍රධාන දෙයක් තමයි ඒකාධිපතියන් බිහිකිරීම සඳහා වැඩි දායකත්වයක් සපයලා තිබෙන්නෙ ජනතාව කියන කාරණය. එහෙම නම් ජනතාව එතනට තල්ලූවීම වැළැක්වීම සඳහා කළ යුත්තේ කුමක් ද? ඒ සඳහා පෙරමුණ ගත යුත්තේ කවුද?
 
 
චන්දන :
ඇත්තට ම මේක ජනතාවගේ ම දුර්වලකමක් විදියට ම ගන්න බැහැ. ඒ ඒ නිශ්චිත මොහොතේ පවතින තත්ත්ව අනුව තමයි ජනතාවත් යම් යම් තීරණ ගන්නෙ. 
 
අදටත් ඇතැම් අය යෝජනා කරනවා රාජාණ්ඩු ක්‍රමය තිබුණ නම් හොඳයි කියල. 
 
හොරකමට අපරාධවලට නඩු අහන එකත් තනි පුද්ගලයෙකුගෙ අත්තනෝමතික බලයක් වෙලා, හිතුමතේට බෙලි කපන, උල තියන නීති සහිත පාලනයක් හොඳ වෙයි ද? මේ අදහස් සමාජ ගතවෙන්නෙ ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අවුල නිසා.
 
නමුත් අවශ්‍ය වෙන්නෙ ජනතාවගෙ ඇත්ත ගැටලු විසඳන්න ජනතාවගේ ම බලයක් වෙනුවෙන් මාවතක් හොයන එකයි. ජනතාවගෙ ගැටලු ගැන දන්නෙ ජනතාව ම යි, ගොවි ගැටලු දන්නෙ, ඒවා විසඳන්න හොඳම ක්‍රමය දන්නෙ ඔවුන් ම විතරයි. 
 
කම්කරුවගෙ, ශිෂ්‍යයගෙ, කාන්තාවගෙ මේ ආකාරයට අපේ සමාජයෙ ප්‍රශ්නවලට මුහුණ දෙන අය තමයි ඇත්ත ප්‍රශ්නය දන්නෙ, පීඩාව විඳින්නෙ, විඳින පීඩාව වෙනස් කරන්න හිතන්නෙ, කල්පනා කරන්නෙ, සටන් කරන්නෙ. 
 
අන්න ඒ නිසා ඔවුන් ම පමණයි විසඳුම් ගේන්නත් දන්නෙ. ඉතින් සම්භාව්‍ය අර්ථයෙන්, ඒබ්‍රහම් ලින්කන් ගෙටිස්බර්ග් ප්‍රකාශනයෙදි කිව්ව විදියට නම්, ‘‘ජනතාව වෙනුවෙන් ජනතාව ගෙන යන ජනතා පාලනයක්”. ඒක තමයි ගේන්න  ඕන, නමුත් දැන් නැත්තෙත් ඒක ම යි.
 
abraham lincoln
ඒබ්‍රහම් ලින්කන් ගෙටිස්බර්ග් ප්‍රකාශනයෙදි කිව්ව විදියට නම්, ‘‘ජනතාව වෙනුවෙන් ජනතාව ගෙන යන ජනතා පාලනයක්”. ඒක තමයි ගේන්න  ඕන, නමුත් දැන් නැත්තෙත් ඒක ම යි.
 
ඒ සඳහා පෙරමුණ ගන්න වෙන්නෙත් ජනතාවට. ඒ කියන්නෙ: ගොවියට, කම්කරුවට, ශිෂ්‍යයට, තරුණයට, කාන්තාවට එහි දී වගකීමක් පැවරෙනවා. 
 
එතන දි ඔවුන් වැඩ කරන්න ඕන තමන්ගෙ ඇත්ත ප්‍රශ්න විසදාගන්න ඒ සඳහා මැදිහත්වන සමාජ බලයක් වෙනුවෙන්. ඒක ඔවුන් තනිව හිතලා තීරණ ගන්නෙ නැති නිසා තමයි දේශපාලන නායකත්වයක් අවශ්‍ය. 
 
මම කියන්නෙ සමාජවාදී දේශපාලන පක්ෂය කියන එකේ අවශ්‍යතාව ගැන. 
 
පෙරමුණ ගන්න වෙන්නෙ, සමාජවාදි පක්ෂයක් වටා ගොනුවුණ සමස්ත ජනතා බලයක් ගොඩනැගීමෙන් පමණයි. 
 
මතක තියාගන්න ඕන කාරණය තමයි, ගොඩක් දෙනා හිතාගෙන ඉන්නෙ සමාජවාදි පක්ෂයක ක්‍රියාකාරිකයන්ට මේක තනිව කරන්න පුළුවන් කියලා. ඒක කරන්න වෙන්නෙ සමාජයක් විධියට හිතන, සමාජයක් ලෙස වගකීම භාරගන්න පුළුවන් වෙලාවක විතරයි. 
 
සමාජවාදය ගැන කතාකරන පක්ෂ ගොඩක් තියෙනවානෙ. ආණ්ඩුවල ඇමතිකම් ගන්න, වැඩියෙන් පාර්ලිමේන්තුවෙ වැඩි ආසන ගොඩගහගන්න පක්ෂයක් ගැන නෙවෙයි මම කියන්නෙ.
 
 ඇත්තටම සමාජවාදි පක්ෂයකට වැඩ කරන්නෙ, වෙන්නෙ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී බලයක් ගොඩනැගීම ගැන ජනතාව දැනුවත් කරන්න, සංවිධානය කරන්න, බලවේගයක් ලෙස ඒකරාශි කරන්න. යම් පක්ෂයකට, පුද්ගලයෙකුට ඡන්දය දීලා බලයත් දීලා යවන ධනපති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජය පෙළ ගැසිය යුතුයි.
 
 
ජයසිරි :
‘The Dictator’ සිනමා නිර්මාණය නැරඹුවාට පසුව ඒකාධිපතියා නමැති සංකල්පය පිළිබඳ ඇතිවන හැඟීම කෙබඳු ද?
 
චන්දන :
මෙම සිනමා නිර්මාණයේ ආකෘතිය ප්‍රහසනාත්මකයි. යම් පුද්ගලයෙක් ඇගයීමකට ලක්වීමේ දී අදාළ පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණයත් බලපානවා. බලයෙන් මත්වෙලා  තමන්ගෙ අඩුපාඩු නොදැකීම එක්තරා දේශපාලන තත්වයක්. මෙන්න මේක මගහරවා ගැනීම සඳහා තමයි, බලය ස්ථාපිත විය යුත්තේ තනි පුද්ගලයකු අත නොව පිරිසක් අතර කියලා මම අර කලින් සඳහන් කළේ.
 
The Dictator 2
 
මෙම සිනමා නිර්මාණය හරහා සාකච්ඡා කරන්න උත්සාහ කරන්නෙ ජනතා කැමැත්තෙන් බලයට පත් වූ ගඩාෆිගෙ පැවැත්ම. ඒ එක්ක ම ඉස්ලාමිය රටවල් කෙරෙහි බටහිර රටවල් දක්වන ආකල්පයත් මෙම නිර්මාණය හරහා ප්‍රකට කෙරෙනවා. 
 
අපි හොඳට ම දන්න දෙයක් තමයි අධිරාජ්‍යවාදී රටවල්වලට දැඩි වුවමනාවක් තිබෙනවා ඉස්ලාමිය රටවල්වලට යම් ප්‍රහාරයක් එල්ල කරන්න.
 
 ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මතවාදයක් ව්‍යාප්ත කරනවා: අත්තනෝමතික පාලකයො ඉන්නෙ මැදපෙරදිග කලාපයේ, ඒ ඒ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුයි වගේ අදහසකුත් මෙම නිර්මාණයේ අන්තර්ගත වෙනවා.
 
මෙහි දී ඒකාධිපතියා ප්‍රශ්න කිරීම වගේ ම ඒකාධිපතියා අපහාසයට, උපහාසයට ලක්කිරීමත් අන්තර්ගත වෙනවා. 
 
නමුත් 1940 නිර්මාණය කළ චාලි චැප්ලින්ගේ The Great Dictator සිනමා නිර්මාණය ගත්තොත් ඔහු සිය නිර්මාණය හරහා උත්සාහ කරන්නේ මමංකාරයක්, ව්‍යාජ පෞරුෂයක් කරපින්නාගත් හිට්ලර් නමැති ඒකාධිපතියා හාස්‍යයට ලක් කරන්න. 
 
නමුත් 2012 තිරගතවුණ මෙම නිර්මාණයේ දී උපහාසයට ලක් කරන්නෙ මැදපෙරදිග රටක අත්තනෝමතික පාලකයෙක්. 
 
ඉස්ලාම් රටවල්වල පාලකයන් සමග සම්මුතිගත ආධිපත්‍යයක් පවත්වාගෙන යන ගමන් ම තෙල් සම්පත් කොල්ලකන්නෙ එක්සත් ජනපදය වගේ දියුණු ධනපති රටවල්. 
 
‘අපි ප්‍රජාතන්ත්‍රවාදය ගෙනියනවා, මානව හිමිකම් රකින්න ගතහැකි සෑම පියවරක්ම ගන්නවා’ කියන ප්‍රචාරය ගෙන යන්නෙ, තෙල් කොල්ලකෑම මුල්කරගත් ආර්ථික බලහත්කාරය පවත්වාගැනීමේ කොන්දේසියක් විදියට.
 
මෙහි න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය පිළිබඳ සාකච්ඡා වෙනවා. නමුත් අපි දන්නවා න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කරන්නෙ හෝ භාවිතා කරන්නෙ මැදපෙරදිග රටවල් පමණක් නෙවෙයි. අපි දන්නවා බටහිර රටවල් සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දමන්නේ ඒ රටේ රසායනික අවි තිබෙනවා ය යන චෝදනාව යටතේ. 
 
නමුත් එහෙම දෙයක් සොයාගන්නෙ නැහැ. අවි ආයුධ නිෂ්පාදනය කරන්නෙ එකිනෙකා අභිබවා යන්නනෙ. ඇත්තට ම සිද්ධ කරන්නේ ඒකාධිපතියා විවේචනයට ලක් කරන මුවාවෙන් ඉස්ලාමීය පසුබිම හැල්ලුවට ලක් කිරීමයි.
 

The Dictator 3

උතුරු අප්‍රිකානු රටක් වශයෙන් ‘වාඩියා’ කියන කල්පිත රටක් ලෙස ඉදිරිපත් කළාට මේ චිත්‍රපටයේ කියැවෙන රාජ්‍යය ලිබියාව බවට අඟවනු ලබනවා. සිනමා කණ්ඩායමේ එක්ප්‍රකාශකයකු කියන විධියට මෙහි එකාධිපති ඇලඩීන්ගේ චරිතය ගොඩනගන්න ගඩාෆි, කිම් ඉල් සුං, ඉඩි අමීන්, මොබුටු සෙසෙ සෙකෝ වගේ චරිත යොදාගෙන තිබෙනවා. 
 
තවත් නිෂ්පාදන කණ්ඩායමේ ම සාමාජිකයෙක් පවසා තිබුණේ එය ඉරාකයේ සදාම් හුසේන් පිළිබඳ ලියැවුණු පොතක් පදනම් කරගෙන කළ චිත්‍රපටයක් ලෙසයි. නමුත්, කාන්තා බලකායක් ආරක්ෂකයන් ලෙස තබා ගත්තෙ ගඩාෆි.
 
කෙසේ නමුත්, චිත්‍රපටය ආරම්භයෙදි ‘කිම් ඉල් සුංගේ ආදරණීය මතකය වෙනුවෙන්’ යන සඳහනක් තිබෙනවා. ඔබාමා, හිලරි ක්ලින්ටන් සහ ඩේවිඩ් කැමරන් ගඩාෆි විවචෙනය කරමින් කළ අදහස් පළ කිරීම් පවා යොදාගෙන තිබෙනවා. 
 
කොහොමටත් අරාබියෙ ඒකාධිපති පාලකයන් අධිරාජ්‍යවාදි ප්‍රාග්ධනයට නතුව සිටින තාක් ඔවුන් නඩත්තු කෙරෙනවා. 
 
නමුත් ලිබියාවෙදි ගඩාෆි කළේ ලේ නොවැගිරූ කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගෙන ස්වාධීන ඒකාධිපති පාලකයෙක් ලෙස නැගී සිටීමයි.
 
 න්‍යෂ්ටික බලයක් ගොඩනගන්න, ස්වාධීන ආර්ථිකයක් සහ රාජ්‍ය පාලනයක් ගොඩනගන්න ඔහු කටයුතු කළා. තෙල් සම්පත්වලින් උපයන ධනය, පොදු සමාජ ධනයක් බවට පත් කළේ නැති වුණත් ඔහු අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ලබාදීම යනාදි අංශ නොමිලයේ හෝ සහන පදනමින් ජනතාවට දෙන ක්‍රමයක් බිහි කළා.
 
 නමුත් අපි දන්නවා අවසානයේ ඔහුගේ බලලෝභිත්වය මෙන්ම ඔහුට එරෙහි කණ්ඩායම්වල කෑදරකම පාවිච්චි කරමින් අමෙරිකානු කෑදර ප්‍රාග්ධනයේ අරමුණු යුද්ධයකින් ජයග්‍රහණය කළා. මේ සිනමා කෘතිය සිනමා ශාලාවලට ආවෙ එයින් මාස ගණනකට පසුව.
 
''තව දෙයක්, ජනප්‍රිය සිනමාවේ වාණිජ අරමුණු මත ලිංගිකත්වය ඉස්මතු කරන ඒ දුර්වලකම මෙම නිර්මාණයෙත් තිබෙන බව මා දකිනවා. ''
 
තව දෙයක්, ජනප්‍රිය සිනමාවේ වාණිජ අරමුණු මත ලිංගිකත්වය ඉස්මතු කරන ඒ දුර්වලකම මෙම නිර්මාණයෙත් තිබෙන බව මා දකිනවා. 
 
මේ ඒකාධිපති පාලකයාගේ ම ආරක්ෂක නිලධාරිනියක් ඇගේ පියයුරෙන් මේ පාලකයාට පහර දෙන දර්ශනයක් තිබෙනවා. මම දකින්නෙ එය හුදෙක් ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා ම යොදාගත් දර්ශනයක් බවයි.
 
 මෙවැනි සිද්ධියක් බටහිර සමාජයේ දී සරල වෙන්න පුළුවන්. නමුත් මෙය ස්ත්‍රී ශරීරය සම්බන්ධයෙන් කෙරෙන අවතක්සේරුවක් විදියටයි මම දකින්නෙ.
 
 
ජයසිරි :
 ඔබ ඔය කියන කාරණයට මම එකඟ නැහැ. අපි දන්නවා බොහෝ වෙලාවට පුරුෂයා කාන්තාවගේ පියයුරු භාවිතා කරන්නෙ ලිංගික අවයවයක් විදියට. එතනදි පුරුෂයා ලිංගික අවයවයක් විදියට භාවිතා කරන පියයුරු කාන්තාවක් ආයුධයක් විදියට භාවිතා කරනවා. මේක පුරුෂයාගේ සංකල්පය පුපුරුවා හැරීමක් කියලයි මම අදහස් කරන්නෙ.
 
 
චන්දන :
මට නම් ඒක එහෙම දැනුණෙ නැහැ. බොහෝ තැන්වල මට දැණුනෙ ලිංගිකත්වය, ඉතාමත් ලාබ අන්දමින් නිර්මාණයට භාවිතා කරන ගතියක්. 
 
එහි දී වාණිජමය ජනප්‍රියත්වය මුල් වුණා කියලයි මම හිතන්නෙ. පොදුවෙ මේ චිත්‍රපටය පුරාම කතා පුවතක් ගොඩනැගෙන නමුත් සිදුවීම්, චරිත කිසිදු ගැඹුරක් තාර්කික හාස්‍යයක් මතුකරනවා වෙනුවට සරල හාස්‍යයක් තුළින් ගඩාෆි විරෝධයකුත් ඒ ඔස්සේ ඉස්ලාමීය රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය වෙනුවට අධිරාජ්‍යවාදී ප්‍රාග්ධනයට ගොදුරු කිරීමේ අරමුණින් පෙළගැසෙන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සහ ව්‍යාජ මානව හිමිකම් සම්බන්ධ තර්කණය ගොඩනැගීමක් ලෙසයි මට දැනෙන්නෙ.
 

 
සාකච්ඡාව :
jayasiri 12
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්