The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ගනදුරු මැදියම උපන් මහැදුරු නලීන් ද සිල්වා - (ධම්ම දිසානායක)

T

The Leader Desk

May 6, 2024 • 11:52 AM

ගනදුරු මැදියම උපන් මහැදුරු නලීන් ද සිල්වා - (ධම්ම දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිපුර්ණ අර්ථයෙන්ම මහාචාර්යවරයෙකි.
  • එසේ නොලැබුණේ ඔහු ඊට ‘නුසුදුස්සෙකු’ බව ‘සුදුස්සන්’ විසින් තීරණය කළ නිසා වන්නට ඇති.
  • එක්කෝ ඔහු එය නො ඉල්ලූ නිසා වන්නට ඇති.
  • සිය වාහනවල දෙහි ගෙඩි සහ මිරිස් කරල් එල්ලන, තාප තරංග නිසා ගිනියම් වී ඇති කලෙකත් බෙල්ල සිරකර ටයිකෝට් ඇඳ මහපාරේ යනෙන භෞතිකවාදීන්ට අනුව නලීන් ද සිල්වා යනු “නාථ දෙවියන් ඇදහූ මිත්‍යා දෘෂ්ටිකයෙකි”.
අකුරු ප්‍රමාණය (Font Size):

සටන්කරුවෙකි. පරිපුර්ණ අර්ථයෙන්ම මහාචාර්යවරයෙකි. ජාතික මහාචාර්යවරයෙකි. මන්ද ඔහුට නිල සේවාර්ජිත/සම්මානිත මහාචාර්ය ධූරය ලැබුනේ නැති නිසා ඔහු භාවිතා කළේ “ආචාර්ය” යන්න පමණි. එසේ නොලැබුණේ ඔහු ඊට ‘නුසුදුස්සෙකු’ බව ‘සුදුස්සන්’ විසින් තීරණය කළ නිසා වන්නට ඇති. එක්කෝ ඔහු එය නො ඉල්ලූ නිසා වන්නට ඇති.

කීප දෙනෙකු මේ දිනවල නව මාධ්‍ය තුළ ලියන දේවල්වලින්  කෑලි කීපයක් උපුටමි. “නලීන් ද සිල්වාගේ ජාතිවාදී මතය සමඟ එකඟ නොවුවත්” යනු ඉන් එකකි. සිංහල නොවන ජාතීන්ගේ උරුමකරුම වෙනුවෙන් ලියන කියන අයට අනුව “නලීන්ද සිල්වා යනු සිංහල ජාතිවාදී මතය සමාජගත කළ ඊට උල්පන්දන් දුන් එකෙකි”. සිය වාහනවල දෙහි ගෙඩි සහ මිරිස් කරල් එල්ලන, තාප තරංග නිසා ගිනියම් වී ඇති කලෙකත් බෙල්ල සිරකර ටයිකෝට් ඇඳ මහපාරේ යනෙන භෞතිකවාදීන්ට අනුව නලීන් ද සිල්වා යනු “නාථ දෙවියන් ඇදහූ මිත්‍යා දෘෂ්ටිකයෙකි”. භූගෝලීය ජාත්‍යන්තරවාදීන්ට සහ ඔවුන්ගේ උපහාසාත්මක ලියවිලිවලට අනුව “නලීන් ද සිල්වා නැගෙනහිර රටක ඉපිද ජාතික චින්තනය ගැන කතා කොට බටහිර රටක දී මියගොස් එහිම වල දැමූ” අයෙකි. මේ ලියන කියන උගතුන් කීප දෙනෙකු හැර බොහෝ දෙනෙක් නලීන් ද සිල්වා තරම් කිසිදු මතයක් සමාජගත කිරීමට, හෙජමොනික කිරීමට කිසිදු දෙයක් නොකළ සමාජ දේශපාලන වශයෙන් ඓන්ද්‍රීය නොවූ හුදු විනෝදකාමී සුපිරිසිදු, දැනුම් සහ තොරතුරු කලෙක්ටර්ස්ලා (collectors) වෙති. එංගල්ස් කියූ ආකාරයේ පටිපනුවෝ වෙති.  

 

440783213 1050489033330199 228088731327303350 n
මා නලින් සර් සමඟ ඒ තරම් හැප්පුණු අයෙකු නොවෙමි. එහෙත් අනූව දශකයේ අග හරියක එක්ස් කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටියදී ඔහුගේ ප්‍රසිද්ධ ප්‍රශ්නයට මා දුන් දරදඩු උත්තරය තවමත් මතක ය. “දෙමළාට දෙමළා වීම නිසා තිබෙන ප්‍රශ්නය මොකක්ද?” යනු ඒ ප්‍රශ්නය ය. මා ඊට දුන් පිළිතුර “ දෙමළාට දෙමළා වීම නිසා රාජ්‍යක් නැත” යන්න ය. මේ සංවාදය පැවතියේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය කේන්ද්‍රස්ථානයේ දී ය. මට මතක හැටියට හැමදාම නලින් සර් සමඟ පැටලෙන, මා මිත්‍ර නිර්මාල් රන්ජිත් දෙවසිරිද එතැන සිටියේ ය. උත්තරයෙන් උත්කර්ෂයට පත් වී සිටි මට නලින් සර් කුමන ප්‍රතිචාරයක් දැක්වූවා දැයි මතක නැත. හැබැයි ඔහුට හොඳටම කේන්ති ගිය බව නම් මට හොඳටම මතක ය. නලින් සර්ට කේන්ති යන බව කවුරුත් දන්නා කරුණක් වුවත් ඔහුගේ ඒ කේන්තිය අප බොහෝ දෙනෙකුගේ කේන්තියට උදව්වක් වුණේ නැත. ඊට හේතු කීපයක් ඇතැයි මට සිතේ.

නලින් සර්, තමා දරන අවිඥානික චින්තනමය ස්ථාවරයම, විවෘත අවංක විධිමත් සවිඥානික ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් කරන බව අප හොඳටම දන්න විශ්වාස කරන කරුණක් වීම ඉන් එකකි. ඔහුගේ සිතීම බැඳීම ගැටීම සහ ප්‍රකාශනය අතර පරතරයක් තිබුනේ නැත. ධනවාදයට දිවිහිමියෙන් විරුද්ධව සවිඥානිකව ලියන කියන සහ අඳින අය ධනේශ්වර වෙළඳපොල විසින් හංවඩු ගසා විකුණන මිල අධික මත්පැන්, සිගරැට් පැකට්, ඇඳුම්, ශරීර, සහ වෙනත් සන්නාමිත පරිභෝජන භාණ්ඩ ඉදිරියේ අවිඥානිකව, අතදරුවන් බවට පත්වන්නා සේ නලින් සර්ගේ අවිඥානික සහ සවිඥානික ලෝකය දෙකක් වූයේ නැත. දෙක අතර පරස්පරයක් තිබුනේ ද නැත.

මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

 

අනික් හේතුව වුණේ ඔහු සතු සමාජ දේශපාලන අත්දැකීම් සහ කළ කැපකිරීම් පිලිබඳ ගෞරවයක් අප සතුව තිබීම ය. ඒ වන විට සමාජ දේශපාලන මැදිහත්වීම්වල අත දරුවන් සහ පාවිච්චි කොට වීසි කරන මෙවලම් බවට පත් වීමේ අත්දැකීම් පමණක් තිබූ මා වැන්නවුන් නලින් සර් අහලකින්වත් සිටිය යුතු අය නොවේය යන අවිඥානික සිතිවිල්ල ඒ ගෞරවයට හේතු වන්නට ඇත.

එකල අප වැන්නවුන්ට ප්‍රශ්න ඇසීම විනෝදයකි, ක්‍රීඩාවකි. ප්‍රශ්න ඇසීම උත්තර ලැබීම අපගේ දෛනික සමාජ දේශපාලන ජීවිතයත් එක්ක මහා ලොකු සම්බන්ධයක් නඩත්තු කළේ නැත. එහෙත් නලින් සර්ගේ දෛනික පැවැත්ම සහ සමාජ දේශපාලන හැසිරීම් අතර පරතරයක් තිබුනේ නැත. ඔහුට එය විනෝදයක් ගෙන දෙන ක්‍රීඩාවක් සෙල්ලමක් වූයේ නැත. ඒ බව දන්නා සහ පිළිගන්නා අප වැන්නවුන් සර් සමග කේන්ති ගත්තේ නැත.

නලින් සර් සතුව තිබූ විෂයාන්තර දැනුම ඔහුට අපගේ ගෞරවය පමණක් නොව බිය ද උත්පාදනය වීමට හේතුවක් විය. පළපුරුදු ගරාජ් බාස්වරයෙකු අත්හුරුවෙන් විවිධාකාරයේ යතුරු සහ අඬුවලින් නැතහොත් ආවුදවලින් වාහනයක් ගලවන්නා සහ නැවත සවිකරන්නා සේ සංවාද සහ විසංවාද තුල හපන්කම් පෙන්වන්නේ ප්‍රේක්ෂකාගාරය සියලු නිදිදැහැන්වලින් අවදි කරමින් බව ඔහුට පක්ෂ විපක්ෂ කවුරුත් පිළිගන්නා කරුණකි. ඒ නිසාම නලින් සර් සමඟ හැප්පුණු අප වැනි ප්‍රතිවාදීන් ඔහුට ඇලුම් කළා මිස අවිඥානික අරියාදුවක් ඔහු සමඟ නඩත්තු කළේ නැත.

අනෙක් කරුණ වූයේ බොහෝ විට නලීන් සර්ගේ ප්‍රතිවාදීන් අපගේ ද ප්‍රතිවාදීන් වීමය. රටේ ජනයාගේ සුබසාධන අයිතීන් කප්පාදු කරන විට ඊට එරෙහිව ඔහු සටනට බැස්සේය. වෘත්තීය අයිතීන් සහ ඉල්ලීම් දිනාගැනීමේ ක්‍රියාමාර්ගවල දී ඔහු පෙරමුණේ රාල කෙනෙකු වීය. විදේශීය අතපෙවීම් සහ මැදිහත්වීම්වලට එරෙහිව ඔහු ලියුවේ ය, කතා කළේ ය, වාද කළේ ය. එතැන්වල දී අප සියල්ලෝම එක පිලේ ය.

 

nalin de


තවත් වැදගත් රොමැන්ටික් හේතුවක් තිබුණේය. මා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වුණේ අසූව දශකයේ අග බාගයේ ය. එකල අද මෙන් පීඨ භේදයක් තිබුණේ නැත. පීඨ අනුව කැන්ටීන් බෙදාගෙන හිටියේ ද නැත. කළමනාකරණ පීඨය එවක ශාස්ත්‍ර පීඨයේ දෙපාර්තමේන්තුවක් ය. විද්‍යා පීඨ සිසුන් සහ ශාස්ත්‍ර පීඨ සිසුන් වන අප දෙගොල්ල අතර පැවතියේ සමීප සම්බන්ධතාවකි, ඇයි හොඳයියකි. ඒ ඇයිහොඳයිය අදටත් එසේමය. අප පැමිණෙන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ දේශපාලන ගුරුතරුව වූයේ විද්‍යා පීඨයේ ගණිත අංශයේ ආචාර්ය නලීන් ද සිල්වාය. 

 
විශ්වවිද්‍යාලයෙහි පමණක් නොව රටේම නමක් දරා සිටි අයෙකු නිසා අප පැමිණෙන විට දැනසිටි නම් කීපය අතර ඉහළින්ම සිටියේ ඔහු ය. “චින්තන පර්ෂදය”, “ගවේෂකයෝ”, විද්‍යා පීඨයේ මහ නුග ගස සහ ඕපන් කැන්ටිම අප ඇසුරට වඩාත් ලං වුනේ “නලීන් සර්” සහ ඔහු වටා සිටි විද්‍යා පීඨ මිතුරු මිතුරියන් නිසාය. මේ සියලු හේතු නිසා අප නලීන් සර් සමඟ උරණ වූයේ නැත. එවක ප්‍රදර්ශනකාමී දේශපාලන සටන්කාමීන් වූ මා වැනි අය නලීන් සර්ට සවිඥානිකව විරුද්ධ වූවත් අවිඥානිකව  කැමැත්තෙන් සිටියහ.

ඔහු ලංකාවේ වාමාංශික සහ දක්ෂිනාංෂික සවිඥානික ලෝකය පොළොවේ ගැසු අයෙකි. එනම් යටත්විජිත සහ යුරෝ-ඇමෙරි චින්තන සහ භාවිත ලෝකය විසින් යටපත් කරගෙන මර්ධනය කොට ඇති ස්වදේශික චින්තන සහ භාවිත අවකාශ වෙනුවෙන් පෙනී සිටිය අයෙකි. කායික සහ මානසික යටත්විජිත වහල් භාවයට එරෙහි ආස්ථානයක සිට බලන විට එය පෘථීවිවාදයකි. ඉහත කී බොහෝ දෙනෙකුගේ අනෙකා නලීන් ද සිල්වාය. ඒ කිසිවෙකුටවත් නලීන් ද සිල්වාගේ අනෙකා හෝ අනෙකුන් වීමට නොහැකිවිය. ඒ බොහෝ දෙනෙකුට නලීන් ද සිල්වා පෙනෙන්නට බැරි ඒ නිසා ය යන්න මගේ අදහස ය. නලීන් ද සිල්වාගේ අනෙකා වූයේ යටත්විජිත චින්තනය, ආකෘති, සහ භාවිත ය. බිත්තියේ ගැසූ ලෝක සිතියමකට අනුව නම් ඔහු එඩ්වර්ඩ් සයිද් නම් කළ බටහිරයාගේ පෙරදිගවාදය නොව නැගෙනහිරයාගේ පෙරදිගවාදය වෙනුවෙන් පෙනී සිටිය අයෙකි. එහෙත් බටහිර හෝ නැගෙනහිර නිශ්චිත නැති භ්‍රමණය වන ලෝකයක ඔහු ලෝක විවිධත්වයේ සම පැවැත්ම සහ එහි අයිතිය යුක්තියුක්තතාව වෙනුවෙන් මැදිහත් වූ පෘථිවිවාදියෙකි. 
 
බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය - (එරන්ද ගිනිගේ)
 
නලීන් ද සිල්වා කැලිෆෝනියාවේ දී මිය යාම සහ එහිම වල දැමීම ‘භෞමික ජාත්‍යන්තරවාදීන්ගේ’ නැතහොත් ඊනියා ලෝකවාදීන්ගේ (යුරෝ-ඇමෙරි-වෙළඳ වාදීන්ගේ) උපහාසයට අපහාසයට ලක් වෙමින් ඇත. මේ පෘථිවියේ කොතැන ඉපදී කොතැන මියැදී කොතැන මිහිදන් වූවත් එහි ඇති වැදගත්කම කුමක්ද? වටිනුයේ කළ සමාජ දේශපාලන මැදිහත් වීමේ ගුණ අගුණ පමණමය. නැවත අවධාරණය කළ යුතු කරුණ වන්නේ නලීන් ද සිල්වාට මහපොළොව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබුනේ නැති බවය. ඔහුට ප්‍රශ්නය තිබුනේ යටත්විජිත සහ නව යටත්විජිත ශිෂ්ටාචාරය සහ ඒවායේ ලෝක ව්‍යාප්ත පීඩාකාරී උපක්‍රම සහ බලවේග  සමඟ ය. දහසක් මල් පිපිය යුතු සහ පිපෙන ලෝකයක පැවැත්ම අවහිර කරන බලවේග සමඟ ය. 
 
නමුත් පීඩකයින්ගේ සහ දුෂිතයින්ගේ  බලමහිමයට යටත් වී ඔවුන්ගේ අතකොළුවක් බවට පත් වී ඇති රාජ්‍ය ආකෘතියක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ ආකෘතියට එරෙහිව එවැනිම ආකෘතියක් තනා ගැනීමට උත්සහකරන අයට එරෙහි වීම සිදු කළ ආකාරය ඔහුට වැරදුන තැනකි. බොහෝ ප්‍රතිවාදීන්ගේ එනම් පවතින රාජ්‍යයට එරෙහිව වෙනත් එහෙත් එවැනිම ආකෘතියක් හදන අයගේ පැත්ත ගත් ඊනියා ස්වයංනීර්ණ පොතේගුරන්ගේ කටගැස්මක් බවට ඔහු පත්වූයේ ඒ නිසා ය. 
 
දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?
එසේම ඔහුට එරෙහිව ආරක්ෂාකාරී (defensive) ප්‍රතිචාර දැක්වූ අය මිස ආක්‍රමණශීලී (offensive) විකල්ප ඉදිරිපත් කළවුන් නොමැති වීම නිසා නලීන් ද සිල්වාට ද රවුමෙන් එලියට පැනීමට අවශ්‍ය වූයේ නැත. නලීන් ද සිල්වා සමඟ මහා රැඩිකලුන්ගේ සටන ප්‍රාථමික රණ්ඩුවක් බවට පත් වුනේ ඒ නිසා ය. නමුත් ඒ සියල්ල මැද නලීන් ද සිල්වා අපරාජිත චරිතයක් බවට පත් වූයේ ඒ කිසිවෙකු ඔහුගේ අනෙකා වීමට තරම් බලවත් නොවීම නිසාය. ඇත්තටම නලීන් ද සිල්වා භූගෝලීය විරෝධියෙකු හෝ අක්ෂාංශක දේශාංශකවාදියෙකු හෝ පුද්ගල විරෝධියෙකු නොවී චින්තන සහ පද්ධති විරෝධියෙකු වීම ඊට හේතුවය. 

වංගීස සුමනසේකර සහ නිර්මාල් රන්ජිත් දේවසිරි හැර නව මාධ්‍ය අරක්ගත් සහ අනිත් බොහෝ අය වෙතින් නලීන් ද සිල්වාට ආ විවේචන පුද්ගල කේන්ද්‍රීය ඒවා ය. එසේම ඓන්ද්‍රීය ලෙස සමාජගත වීමට තරම් ආකර්ශනීය වමේ අදහස් පද්ධතියක් සහ (විලාසිතාකාරයින් මිස) ප්‍රවර්ධක කණ්ඩායමක්  “වම”  සතු නොවීම, විලාසිතාකරුවන් පිරිසක්  වමේ ප්‍රකාශකයින්  වීම, සහ සම්භාව්‍ය වමට අලුත් පරම්පරාවක් නොමැති වීම නිසා සිදු වූයේ නලීන් ද සිල්වාට වඩා ඔහුගේ චින්තන පද්ධතිය බලවත්ව සමාජගත වීමය. මා එසේ කියන්නේ එකී සුදුසුකම් සැපිරිණි නම් නලීන් ද සිල්වාත් වමත් අතර සංවාදය ලංකාවට වඩා ප්‍රගතිශීලී දොරටුවක් විවෘත කිරීමට හේතුවනු ඇත යන ස්ථාවරයේ පිහිටා ය. දැන් ප්‍රමාදය. ඉතින් සර් පාලුයි ඔබ නැතිව. අප ඔලුව හප්පාගත් කළුගල ඔබය. පාඩුයි ඔබේ නික්ම යෑම. ස්තුතියි බොහෝම.

DhammaD(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)
කොළඹ විශ්වවිද්‍යාලය 
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
dhammadissa@gmail.com

සබැඳි ලිපි :

නලීන් සර් ගැන - (මහාචාර්ය චරිත හේරත්)

නලින්ගේ ඇමෙරිකානු සිහිනය....(ආචාර්ය මහේෂ් හපුගොඩ)

තරුණ නලින් සහ මහළු මාක්ස් - (උපාලි ගජනායක)

නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ කෙසේ ද? - (යුතුකම ජාතික සංවිධානය)

ආචාර්ය නලින් ද සිල්වා : අවසන් කටයුතු ඉරිදා ඇමරිකාවේදී - පාංශුකූලේ පිරිනැමීමක් කොළඹදී

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...