The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශුද්ධවර කාර්ලෝ අකුටිස්: අන්තර්ජාලය දේව මෙහෙවරට කැප කළ සාන්තුවරයා

Awara

Awara

October 12, 2026 • 4:30 PM

ශුද්ධවර කාර්ලෝ අකුටිස්: අන්තර්ජාලය දේව මෙහෙවරට කැප කළ සාන්තුවරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා පරිගණකය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය උතුම් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප කළ තරුණයකුගේ ජීවිතය විශේෂ අවධානයට ලක්ව තිබේ.
  • ඒ, වයස අවුරුදු 15ක් සම්පූර්ණ වූ කෙටි ජීවිත කාලයකින් පසු මෙලොවින් සමුගත්, එහෙත් ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා ය.
  • ‘ඩිජිටල් යුගයේ සාන්තුවරයා’ (Saint of the Digital Age) ලෙස ප්‍රකට එතුමා, අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය හුදෙක් විනෝදාස්වාදයට හෝ වාණිජ අරමුණු සඳහා පමණක් සීමා නොකොට, ආගමික විශ්වාසයන් බෙදාහදා ගැනීමටත්, සෙසු මිනිසුන්ට උපකාර කිරීමටත් යොදාගත හැකි බව සිය ජීවිතයෙන් පෙන්වා දුන්නේය.
  • එතුමන් ගේ දේහය ලන්ඩනයේ උපත ලබා මිලානෝවේ හැදී වැඩුණු කා(ර්)ලෝ 1991 මැයි 3 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබූ කා(ර්)ලෝ අකුටිස්, ඇන්ඩ්‍රියා අකුටිස් සහ ඇන්ටෝනියා සල්සානෝ යන ඉතාලි ජාතික දෙමාපියන්ට දාව උපන් දරුවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දේව මහිමය උදෙසා අන්තර්ජාලය යොදාගත් ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා

පරිගණකය, අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජීවිතයේ අත්‍යවශ්‍ය අංග බවට පත්ව ඇති වර්තමාන ලෝකයේ, ඩිජිටල් තාක්ෂණය උතුම් ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කැප කළ තරුණයකුගේ ජීවිතය විශේෂ අවධානයට ලක්ව තිබේ. ඒ, වයස අවුරුදු 15ක් සම්පූර්ණ වූ කෙටි ජීවිත කාලයකින් පසු මෙලොවින් සමුගත්, එහෙත් ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා ය.

‘ඩිජිටල් යුගයේ සාන්තුවරයා’ (Saint of the Digital Age) ලෙස ප්‍රකට එතුමා, අන්තර්ජාලය සහ පරිගණක තාක්ෂණය හුදෙක් විනෝදාස්වාදයට හෝ වාණිජ අරමුණු සඳහා පමණක් සීමා නොකොට, ආගමික විශ්වාසයන් බෙදාහදා ගැනීමටත්, සෙසු මිනිසුන්ට උපකාර කිරීමටත් යොදාගත හැකි බව සිය ජීවිතයෙන් පෙන්වා දුන්නේය. ඒ තුළින් දේව මහිමය හා නූතන සමාජය එකිනෙකට බද්ධ කිරීමට ඔහු සමත් විය.

එතුමන් ගේ දේහය

ලන්ඩනයේ උපත ලබා මිලානෝවේ හැදී වැඩුණු කා(ර්)ලෝ

1991 මැයි 3 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී උපත ලැබූ කා(ර්)ලෝ අකුටිස්, ඇන්ඩ්‍රියා අකුටිස් සහ ඇන්ටෝනියා සල්සානෝ යන ඉතාලි ජාතික දෙමාපියන්ට දාව උපන් දරුවෙකි. උපතින් මාස කිහිපයකට පසු, 1991 සැප්තැම්බර් මාසයේදී සිය පවුල සමඟ ඉතාලියේ මිලානෝ නුවරට පැමිණි ඔහු එහි හැදී වැඩුණේය.

කුඩා කල සිටම කතෝලික ආගම කෙරෙහි විශේෂ භක්තියක් දැක්වූ කා(ර්)ලෝ, දේව මෑණියන් කෙරෙහි දැක්වූ ගෞරවය සහ දිව්‍ය සත්ප්‍රසාදය කෙරෙහි පැවති දැඩි විශ්වාසය සිය ජීවිතයේ ප්‍රධාන අංග බවට පත් කරගත්තේය. දිනපතා යාච්ඤා කිරීම, ජපමාලය උච්චාරණය කිරීම සහ දිව්‍ය පූජාවට සහභාගි වීම ඔහුගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් විය.

එහෙත්, කා(ර්)ලෝගේ ජීවිතය ආගමික වත්පිළිවෙත්වලට පමණක් සීමා වූයේ නැත. ඔහු පාසල් අධ්‍යාපනය ලබමින්, මිතුරන් සමඟ කාලය ගත කරමින්, පරිගණක තාක්ෂණය කෙරෙහි ද දැඩි උනන්දුවක් හා සුවිශේෂ දක්ෂතාවක් දැක්වීය. පරිගණක විද්‍යාව පිළිබඳ ස්වාධීනව අධ්‍යයනය කළ ඔහු සැක්සෆෝනය වාදනය කිරීමට ද ඉගෙන ගත්තේය.

ඔහු සුවිශේෂී වන්නේ එම නූතන ජීවන රටාව සහ සිය ආධ්‍යාත්මික හැදියාව පදනම් කරගත් ආගමික භක්තිය එකිනෙකට පටහැනි කරුණු දෙකක් ලෙස නොසැලකීම නිසාය.

පරිගණකය ආගමික දැනුම බෙදාගැනීමේ මෙවලමක් කරගත් හැටි

ප්‍රතිමාවක්

කුඩා කල සිටම පරිගණක භාවිතයට ඇලුම් කළ කා(ර්)ලෝ, වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ පරිගණක වැඩසටහන්කරණය පිළිබඳ දැනුම වර්ධනය කරගත්තේය. පාසල් වයසේදීම පරිගණක තාක්ෂණය පිළිබඳ ඔහු දැක්වූ හැකියාව සහ උනන්දුව කැපී පෙනුණි.

ඔහුගේ ජීවිතයේ වඩාත් ප්‍රකට කාර්යයක් වූයේ ලොව පුරා වාර්තා වී ඇති දිව්‍ය සත්ප්‍රසාද ප්‍රාතිහාර්යයන් පිළිබඳ තොරතුරු එකතු කර වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. The Eucharistic Miracles of the World යනුවෙන් හැඳින්වුණු මෙම ව්‍යාපෘතිය ඔස්සේ, කතෝලික සභාව විසින් විශ්වාසයේ හා භක්තියේ ඉතිහාසය සමඟ සම්බන්ධ කරනු ලබන සිදුවීම් පිළිබඳ තොරතුරු, ඡායාරූප සහ විස්තර ක්‍රමානුකූලව ඉදිරිපත් කිරීමට ඔහු උත්සාහ කළේය. ඒ තුළින් සිය වයස් සීමාව ඉක්මවා ගිය දක්ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කළේය.

ඔහුගේ ජීවිත විස්තරවල සඳහන් වන්නේ වයස අවුරුදු 11ක් පමණ වන විට මෙම ව්‍යාපෘතිය පිළිබඳව උනන්දුවෙන් කටයුතු කිරීමට පටන්ගත් බවයි. අන්තර්ජාලයෙන් තොරතුරු රැස් කිරීම, ඒවා සංවිධානය කිරීම සහ වෙබ් අඩවියක් හරහා පාඨකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීම සඳහා ඔහු තම තාක්ෂණික කුසලතා යොදාගත් ආකාරය විස්මයජනකය.

මෙම නිර්මාණය පසුව විවිධ රටවල කතෝලික ප්‍රජාවන් අතර ප්‍රචලිත වූ අතර, ලොව බොහෝ දෙනකුට දිව්‍ය සත්ප්‍රසාදය පිළිබඳ ආගමික දැනුම බෙදාහදා ගැනීමේ වැදගත් සම්පතක් බවට පත්විය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔහු තාක්ෂණය පිළිබඳ දැනුම තම පෞද්ගලික කීර්තිය හෝ ආර්ථික වාසිය වෙනුවෙන් යොදා නොගැනීමයි. තමා සතු හැකියාව සෙසු අයගේ දැනුම, විශ්වාසය සහ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කිරීම සඳහා යොදාගැනීම ඔහුගේ ජීවන අරමුණ විය.

ඒ අනුව, කා(ර්)ලෝ අකුටිස්ගේ ජීවිතය නූතන තාක්ෂණය සහ ආගමික භක්තිය අතර සම්බන්ධතාව පිළිබඳ කතාබහේදී නිරන්තරයෙන් උපුටා දැක්වෙන ආදර්ශයක් බවට පත් විය.

ඩිජිටල් ලෝකයේ ප්‍රසිද්ධියට වඩා මිනිසුන්ගේ දුක හඳුනාගත් තරුණයා


ඔහුගේ චරිතයේ තවත් වැදගත් ලක්ෂණයක් වූයේ අසරණ මිනිසුන් කෙරෙහි දැක්වූ කරුණාවයි. ඔහු ළමා වියේදී මිලානෝ නුවර ජීවත් වූ කාලයේදී තමන්ට ලැබුණු මුදල්වලින් කොටසක් අසරණ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා යොදාගත්තේය. නිවාස අහිමි පුද්ගලයන් සහ දුප්පතුන් කෙරෙහි ඔහු දැක්වූ සැලකිල්ල, ඔහුගේ ආගමික විශ්වාසය වචනවලට සීමා නොවී ක්‍රියාවෙන් ද ප්‍රකාශ වූ ආකාරය පෙන්වා දෙයි.

ඔහු අසරණ පුද්ගලයන්ට මුදල් ලබාදීම, අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම සහ ඔවුන් සමඟ සුහදව කටයුතු කිරීම වැනි සරල ක්‍රියාවන්හි නිරත විය. කුඩා දරුවකු හා යෞවනයකු ලෙස ගත කළ ජීවිතය තුළ යාච්ඤාව, අධ්‍යාපනය, මිත්‍රත්වය සහ දුප්පතුන්ට සේවය කිරීම එකිනෙකින් වෙන් නොවූ අංග බවට පත්ව තිබිණි.

අද සමාජයේ ඩිජිටල් ප්‍රසිද්ධිය, අනුගාමිකයන් සංඛ්‍යාව සහ සමාජ මාධ්‍ය ප්‍රතිචාර පුද්ගලයකුගේ සාර්ථකත්වය මැනීමේ නිර්ණායක බවට පත්ව ඇති පසුබිමක, කා(ර්)ලෝගේ ජීවිතයෙන් මතු වන පණිවුඩය ඊට වෙනස්ය. තාක්ෂණය ඔස්සේ ලොව පුරා මිනිසුන් වෙත ළඟා වීමට හැකි වුවද, සැබෑ මානුෂීය වටිනාකම පවතින්නේ අප අවට සිටින දුක්විඳින මිනිසුන් හඳුනාගෙන ඔවුන්ට උපකාර කිරීමට ඇති කැමැත්ත තුළය.

වයස අවුරුදු 15දී ජීවිතයට සමුදීම

2006 වසරේ ඔක්තෝබර් මාසයේදී කා(ර්)ලෝ අකුටිස්ට ලියුකේමියා රෝගය වැළඳී ඇති බව මුල් වරට හඳුනාගැනිණි. රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් උත්සන්න වූ අතර, 2006 ඔක්තෝබර් 12 වැනිදා ඉතාලියේ මොන්සා නුවරදී ඔහු මියගියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 15ක් සහ මාස පහක් පමණි.

ජීවිතයේ තරුණ අවධියටවත් සම්පූර්ණයෙන් පිවිසීමට නොහැකි වූ ඔහුගේ මරණය, ඔහුගේ පවුලේ අයට පමණක් නොව, පසුව ඔහුගේ ජීවිතය පිළිබඳ දැනගත් ලොව පුරා කතෝලික බැතිමතුන්ට ද සංවේගයට හේතුවක් විය.

කෙසේ වෙතත්, ඔහුගේ ජීවිතයේ කෙටි බවට වඩා ඔහු එම කාලය තුළ සිදු කළ කාර්යයන්, දැක්වූ භක්තිය සහ අනුගමනය කළ මානුෂීය ගුණාංග පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ඔහුගේ පරිගණක නිර්මාණ, ආගමික කටයුතු සහ දුප්පතුන් වෙනුවෙන් කළ සේවය ඔහුගේ මරණයෙන් පසුව ද තවදුරටත් ප්‍රචලිත විය.

භාග්‍යවන්තභාවයෙන් ශුද්ධවරභාවය දක්වා

ප්‍රතිමාවක්

කා(ර්)ලෝ අකුටිස්ගේ ජීවිතය සහ ආගමික ගුණාංග පිළිබඳව කතෝලික සභාව තුළ සිදු වූ විමර්ශනවලින් අනතුරුව, 2018 ජූලි 5 වැනිදා එවකට ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔහුගේ වීරෝදාර ක්‍රිස්තියානි ගුණධර්ම පිළිගැනීමට අදාළ නියෝගය අනුමත කළහ.

ඉන් අනතුරුව, 2020 ඔක්තෝබර් 10 වැනිදා ඉතාලියේ අසිසි නුවරදී ඔහු භාග්‍යවන්තභාවයට ඔසවනු ලැබීය. එය කතෝලික සභාවේ සාන්තුවරයකු බවට පත් කිරීමේ ක්‍රියාවලියේ වැදගත් පියවරක් විය.

පසුව, ඔහුගේ මැදිහත්වීම සමඟ සම්බන්ධ කරනු ලැබූ දෙවන ප්‍රාතිහාර්යයක් පිළිබඳ පිළිගැනීමෙන් අනතුරුව, 2024 වසරේදී ඔහු ශුද්ධවරයට එසවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමට අවසර ලැබිණි. මුලින් එය 2025 අප්‍රේල් මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් එම උත්සවය කල් දැමිණි.

අවසානයේදී, 2025 සැප්තැම්බර් 7 වැනිදා වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවති විශේෂ දිව්‍ය පූජාවකදී 14 වැනි ලියෝ පාප් වහන්සේ විසින් කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා ශුද්ධවරයට ඔසවනු ලැබීය. එම උත්සවයේදීම පියර් ජෝර්ජියෝ ෆ්‍රාසාටි ද ශුද්ධවරයකු ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම සිදුවීමත් සමඟ කා(ර්)ලෝ අකුටිස් සහස්‍රක පරපුරට අයත් පළමු කතෝලික ශුද්ධවරයා ලෙස ලොව පුරා විශේෂ අවධානයට ලක්ව තිබේ. එතුමාගේ වාර්ෂික මංගල්‍ය දිනය සෑම වසරකම ඔක්තෝබර් 12 වැනිදාට යෙදේ.

තරුණ පරපුරට ලැබෙන ආදර්ශය කුමක්ද?



කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ජීවිතය නූතන තරුණ පරපුරට වැදගත් වන්නේ ඔහු පරිගණක තාක්ෂණයට දක්ෂ වූ නිසාම නොවේ. ඔහුගේ විශේෂත්වය වන්නේ තාක්ෂණික හැකියාව, ආධ්‍යාත්මික සංවර්ධනය සහ සමාජ වගකීම එකට සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමයි.

අද අන්තර්ජාලය තොරතුරු ලබාගැනීමේ, අධ්‍යාපනයේ, රැකියා අවස්ථා සොයාගැනීමේ සහ ලොව පුරා මිනිසුන් සමඟ සම්බන්ධ වීමේ ප්‍රබල මෙවලමකි. එහෙත් එය වැරදි තොරතුරු පැතිරවීමට, අන් අයට හිංසා කිරීමට, කාලය නාස්ති කිරීමට සහ අන්තර්ජාල ප්‍රසිද්ධිය පසුපස හඹා යෑමට ද යොදාගත හැකිය.

එවැනි පසුබිමක කා(ර්)ලෝගේ ජීවිතයෙන් විමසා බැලිය හැකි වැදගත් ප්‍රශ්නයක් තිබේ. එනම්, අප සතු තාක්ෂණික දැනුම සහ හැකියාවන් තමන්ගේ යහපතට පමණක් නොව, සෙසු මිනිසුන්ගේ යහපතට ද යොදාගන්නේ කෙසේද යන්නයි.

කා(ර්)ලෝ අකුටිස් මුනිතුමා සිය ජීවිතයෙන් පෙන්වා දෙන්නේ ආගමික භක්තිය සහ නූතනත්වය අනිවාර්යයෙන්ම එකිනෙකට පටහැනි නොවන බවය. නව තාක්ෂණය භාවිත කරන අතරතුර මානුෂීය ගුණධර්ම රැකගැනීමටත්, තමන්ගේ හැකියාවන් සමාජයට ප්‍රයෝජනවත් වන අයුරින් මෙහෙයවීමටත් හැකි බව එතුමාගේ ආදර්ශය පෙන්වා දෙයි.

එසේම, අසරණ පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා විශාල ධනයක් හෝ සුවිශේෂී සමාජ තත්ත්වයක් අවශ්‍ය නොවන බව ද එතුමාගේ ජීවිතයෙන් පැහැදිලි වේ. තමන් සතු කුඩා මුදලක්, දැනුමක් හෝ කුසලතාවක් වුවද තවත් පුද්ගලයකුගේ ජීවිතයට යහපතක් සැලසීමට යොදාගත හැකිය.

ශ්‍රී ලංකාවේ කතෝලික සභාවටත් අභියෝගයක්

ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ජීවිතය පිළිබඳ කතාබහ ශ්‍රී ලංකාවේ කතෝලික සභාවට ද වැදගත් කරුණක් ඉස්මතු කරයි. එනම්, නූතන තරුණ පරපුරට සමීප විය හැකි ආගමික ආදර්ශ හඳුන්වා දීමත්, එම ආදර්ශ ඔවුන්ගේ දෛනික ජීවිතයට සම්බන්ධ කිරීමත් පිළිබඳ අවධානය යොමු කිරීමයි.

ශ්‍රී ලංකාවේ කතෝලික සභාව තුළ ද ශාන්ත කාර්ලෝ අකුටිස්ගේ ශුද්ධවරභාවය පිළිගැනීමේ පදනම පවතින නමුත්, එතුමාගේ නමින් මෙරට තුළ ජන වන්දනාව කෙතරම් දුරට ව්‍යාප්ත වී තිබේද යන්න නිල වශයෙන් තහවුරු කරගැනීම වැදගත් වේ. මේ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹීමට ප්‍රමාණවත් සාක්ෂි අවශ්‍ය වුවද, එතුමාගේ ජීවිත ආදර්ශය, ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින් සුබාරංචිය ප්‍රචාරය කිරීමේ මෙහෙවර සහ ක්‍රිස්තියානි ඇදහිල්ල පිළිබඳ කැපවීම ශ්‍රී ලංකාවේ තරුණ පරපුර අතර ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ගොඩනැඟීමට මෙම කරුණ අවස්ථාවක් සපයයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ “මහ මොළකරුවන්” පිළිබඳ සත්‍යය හෙළි කරගැනීම සහ යුක්තිය ඉටු කිරීම සඳහා අවධානය යොමු කරන අතරම, කතෝලික සභාවේ අනාගතය භාරගැනීමට සිටින තරුණ පරපුරේ ආධ්‍යාත්මික හා මානුෂීය වර්ධනය වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත්ය.

එතුමන් ගේ දේහය

ඒ සඳහා කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ජීවිතය හා මෙහෙවර පිළිබඳ දැනුවත් කිරීම, තරුණයන්ගේ ඩිජිටල් කුසලතා යහපත් අරමුණු සඳහා යොදාගැනීමට දිරිගැන්වීම සහ දුප්පතුන් වෙනුවෙන් සේවය කිරීමේ අවස්ථා පුළුල් කිරීම ප්‍රයෝජනවත් විය හැකිය.

ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ජීවිතය දෙස බැලීමේදී, ඔහුගේ වයස අවුරුදු 15ක කෙටි ජීවිත කාලය තුළ සිදු කළ දේවලට වඩා වැදගත් වන්නේ ඒවා පිටුපස තිබූ උත්තරීතර ජීවන දැක්මයි. එනම්, තමන් සතු හැකියාවන් යහපත වෙනුවෙන් යොදාගැනීම, විශ්වාසය ක්‍රියාවෙන් ප්‍රකාශ කිරීම සහ අන් අයගේ දුක හඳුනාගෙන ඔවුන්ට ළංවීමයි.

“දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය තබා කටයුතු කරන සේම, තම ජීවිතය උසස් සමාජ මෙහෙවරක් උදෙසා කැප කරන්න. එවිට නිරතුරුවම දෙවියන් වහන්සේ ඔබ හමුවේ පෙනී සිටිනු ඇත” යන ශුද්ධවර කා(ර්)ලෝ අකුටිස් මුනිතුමාගේ ප්‍රකාශය නූතන සමාජයේ ගිහි පැවිදි සැමට එක සේ ප්‍රයෝජනවත් බව අපගේ වැටහීමයි.

උපුටා ගැනීම - vinivida.lk


රීටා ජෙනට් පෙරේරා

නිදහස් මාධ්‍යවේදිනී

madampagereetajenet@gmail.com

View all stories by රීටා ජෙනට් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...