වර්තමාන ආණ්ඩුව තවමත් ජනතාව අතර යම් ප්‍රසාදයකට පත්ව තිබේ නම් ඊට ප්‍රධාන හේතුව වන්නේ මහජන මුදල් සොරකම් හෝ අවභාවිත කළවුන්ට නීතියෙන් දඬුවම් පැමිණවීම තම කාහලය සේ ඉදිරියෙන් ගෙන යාමයි. එවන් පසුබිමක මෙම ආණ්ඩුවද මහජන මුදල් පෞද්ගලික මාධ්‍ය ජාලයක සත්කාරකත්වය යටතේ පැවති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකට යෙදවීම මේ වන විට දේශපාලන කරළියේ මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේද උණුසුම් සංවාදයකට හේතු වී තිබේ. ඒ එමගින් “බණ කිය කියා දුම් මැස්ස අත ගෑමේ” ගැමි පිරුළ ජනතාවට යළි සිහිපත් කරවීමෙනි.
රුපියල් කෝටි 10.46කට අධික මුදලක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හරහා එම සමුළුව වෙනුවෙන් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමත්, එම මුදල් මහජන මුදල්ද නැතහොත් “වෙනත් මුදල් වර්ගයක්”ද යන්න පිළිබඳව ආණ්ඩුව සහ විපක්ෂය අතර ඇති වූ මත ගැටුමත් මෙම සංවාදය තවදුරටත් තීව්ර කර ඇත.
ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීම රටකට අභිමානයක් මෙන්ම ආර්ථික හා වෘත්තීයමය වශයෙන් ප්රතිලාභ රැසක් අත්කර දිය හැකි කටයුත්තකි.
එහෙත් එවැනි සමුළුවක් වෙනුවෙන් රාජ්‍ය ආයතනයක් රුපියල් 104,603,876ක් වෙන් කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ප්රශ්නය හුදෙක් මුදල් වැය කිරීම පිළිබඳ ගැටුමකට පමණක් සීමා නොවේ. එය රාජ්‍ය සම්පත් පරිහරණයේ සාධාරණත්වය, මාධ්‍ය ආයතන අතර සමානාත්මතාව, ආණ්ඩුවේ දේශපාලන මධ්‍යස්ථභාවය සහ මහජන මුදල් සම්බන්ධ වගවීම පිළිබඳ වැදගත් ප්‍රශ්න රැසක් මතු කරයි.
මෙහිදී විශේෂ අවධානයට ලක්ව ඇත්තේ සමුළුවේ සත්කාරකත්වය පෞද්ගලික මාධ්‍ය ජාලයක් වන කැපිටල් මහරාජා සමූහයට අයත් මහරාජා මාධ්‍ය ජාලය විසින් දැරීමත්, ඒ වෙනුවෙන් රාජ්‍ය ආයතනයක අරමුදල් යෙදවීමත්ය. එය හරියට අනුන්ගේ ඉඩමක ගෙවල් තැනීමක් සේද යමෙකුට පෙනී යා හැකිය.

කොළඹ පැවති ABU සමුළුවේ පසුබිම
මෙම මතභේදයට පසුබිම් වී ඇති ආසියා-ශාන්තිකර විකාශකයන්ගේ සංගමය (ABU) 1964 වසරේදී ආරම්භ කරන ලද ජාත්‍යන්තර වෘත්තීය සංවිධානයකි. එහි මූලස්ථානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටා ඇත.
එහි 63 වැනි මහා සභා රැස්වීම සහ ඊට සමගාමී වැඩසටහන් 2026 ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 3 වැනිදා දක්වා කොළඹ Cinnamon Life – City of Dreams පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු ABU මහා සභා රැස්වීම වූ මෙහි සත්කාරක විකාශන ආයතනය වූයේ කැපිටල් මහරාජා සමූහයට අයත් MTV Channel (Pvt) Limited ආයතනයයි.
‘Media for Peace and Humanity: Truth, Trust and Transformation’ හෙවත් ‘සාමය සහ මානවවාදය සඳහා මාධ්‍ය: සත්‍යය, විශ්වාසය සහ පරිවර්තනය’ යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධිය, ඩිජිටල් මාධ්‍ය පරිවර්තනය, සයිබර් ආරක්ෂාව, ක්‍රීඩා විකාශනය සහ මාධ්‍ය විශ්වසනීයත්වය වැනි කරුණු සාකච්ඡාවට ගෙන තිබිණි.

රටවල් 66ක විකාශන ආයතන නියෝජනය කරමින් 350කට අධික පිරිසක් සමුළුවට සහභාගි වූ අතර සමාරම්භක උත්සවය නොවැම්බර් 1 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම සමුළුවේදී කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්යක්ෂ ශෙවාන් ඩැනියෙල් ABU උප සභාපති ධුරයට තේරී පත්වීමද විශේෂ සිදුවීමකි. එම තනතුරට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා ඔහුය.
කෝටි 10.46ක මුදල වෙන් වූයේ කෙසේද?
මෙම ගනුදෙනුව පිළිබඳ වඩාත් වැදගත් කරුණ වන්නේ මුදල් වෙන් කිරීම සඳහා අනුගමනය කළ ක්රමවේදයයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් 2026 සැප්තැම්බර් 17 වැනිදා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් අනුව මෙම මුදල් වෙන් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ. අදාළ කැබිනට් පත්‍රිකා අංකය CA 26/1947/807/035 වන අතර මුදල් අමාත්‍යාංශ ලේඛනයේ සඳහන් යොමු අංකය MF/AE/CM/2026/232 ය. සැප්තැම්බර් 28 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව වාර්තා වී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (Sri Lanka Tourism Promotion Bureau – SLTPB) හරහා MTV Channel (Pvt) Limited ආයතනයට ලබාදීමට අනුමත කළ මුදල රුපියල් 104,603,876කි.
මෙම මුදල වාරික දෙකකින් ලබාදීමට සැලසුම් කර තිබේ. 60%ක පළමු වාරිකය ලෙස රුපියල් 62,762,325.60ක්ද, ඉතිරි 40%ක දෙවැනි වාරිකය ලෙස රුපියල් 41,841,550.40ක්ද වෙන් කර ඇත. දෙවැනි වාරිකය සමුළුව සාර්ථකව අවසන් වූ බව තහවුරු කෙරෙන වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කිරීමේ ක්‍රමවේදයක් සඳහන් වේ.
සමුළුවේ ශාලා පහසුකම්, ආහාරපාන, නිර්මාණ හා සංවිධාන කටයුතු පමණක් නොව විදේශීය නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කරන විනෝද චාරිකාද මෙම අනුග්‍රාහක මුදලට ඇතුළත් වී තිබේ.
‘මේවා මහා භාණ්ඩාගාරයේ බදු මුදල් නොවේ’ යන තර්කය
මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඉදිරිපත් කර ඇති පැහැදිලි කිරීමද විමසා බැලිය යුතුය.
ඔහුගේ පැහැදිලි කිරීම අනුව මෙම මුදල මහා භාණ්ඩාගාරයෙන් සෘජුව ලබාගත් සාමාන්‍ය බදු ආදායමක් නොවේ. සංචාරකයන්ගෙන් අයකරන ඇමරිකානු ඩොලර් පහක ගාස්තුව සහ හෝටල් ක්ෂේත්රයේ ආදායමෙන් අයකරන සියයට එකක දායකත්වය මගින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට ලැබෙන අරමුදල් මේ සඳහා යොදාගෙන ඇත.

එහෙත් මෙහිදී නිවැරදිව වටහාගත යුතු කරුණක් තිබේ. මුදල් මහා භාණ්ඩාගාරයෙන් සෘජුව ලබා නොගත් බව කීම සහ එය මහජන වගවීමෙන් නිදහස් මුදලක් බව කීම එකම දෙයක් නොවේ. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යනු රටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයකි. එහි අරමුදල්වල මූලාශ්‍රය විශේෂිත ගාස්තු වුවද, ඒවා පරිහරණය කිරීමේදී අදාළ නීති, මූල්‍ය රෙගුලාසි සහ විගණන වගකීම් අදාළ වේ.
රජය මෙම වියදම සාධාරණීකරණය කරන්නේ රටවල් 66කින් පැමිණෙන නියෝජිතයන් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රචාරණය සහ ඔවුන්ගේ හෝටල්, ආහාරපාන වියදම් මගින් ආර්ථිකයට ලැබෙන සෘජු ආදායම පදනම් කරගනිමිනි. කාර්යාංශය ප්‍රකාශ කර ඇති ආකාරයට මෙම සමුළුවෙන් රුපියල් මිලියන 250කට අධික ප්‍රචාරණ මාධ්‍ය වටිනාකමක් අපේක්ෂා කෙරේ.
එහෙත් එම රුපියල් මිලියන 250ක වටිනාකම ගණනය කළේ කුමන ක්‍රමවේදයකට අනුවද? අඩුම තරමින් අංජනමක් බලාද කියාවත් පැහැදිලි නැත. එය විදේශීය නාලිකාවල ප්‍රචාරය වූ වැඩසටහන්වල වෙළෙඳ දැන්වීම් වටිනාකමද? සමාජ මාධ්‍ය වටිනාකමද? ඒ සඳහා ස්වාධීනව පරීක්ෂා කළ හැකි ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් විය යුතුය.
රාජ්‍ය මාධ්‍ය තිබියදී පෞද්ගලික නාලිකාවකට සමීප වීම සාධාරණද?
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මතුවන තවත් බරපතල විවේචනයක් වන්නේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතන දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබියදී පෞද්ගලික මාධ්‍ය ජාලයක් ප්‍රධාන කරගනිමින් මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමයි.

මෙහිදී රජය පැහැදිලි කරන්නේ සමුළුවේ සත්කාරක විකාශන ආයතනය තෝරාගැනීම ශ්‍රී ලංකා රජය විසින් නොව ABU විධායක මණ්ඩලය විසින් සිදුකළ බවයි. එහෙත් සැබෑ ප්රශ්නය වන්නේ එම සත්කාරකත්වය දැරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සංචාරක ප්‍රවර්ධන අරමුදලින් රුපියල් මිලියන 104.6ක මුදලක් ලබාදීමේදී අනුගමනය කළ ක්රමවේදයයි.
දේශපාලන හා පරිපාලන විද්‍යාවේදී මෙවැනි තත්ත්වයක් ‘බැඳියාවන් අතර ගැටුම’ (Conflict of Interest) ලෙස හැඳින්වේ. එනම් රාජ්‍ය තීරණ ගැනීමේදී මහජන යහපතට වඩා පෞද්ගලික හෝ විශේෂ සම්බන්ධතාවක් බලපෑ හැකි තත්ත්වයයි.
අනෙකුත් මාධ්‍ය ආයතනවලටත් මේ අවස්ථාව ලැබේද?
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මතුවන වැදගත්ම ප්‍රතිපත්තිමය ප්රශ්නය මෙයයි. හෙට දිනයේ වෙනත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ජාත්‍යන්තර සමුළුවක් මෙරට පැවැත්වීමට ඉදිරිපත් වුවහොත් ඔවුන්ටද මෙවැනිම රාජ්‍ය මූල්‍ය අනුග්‍රහයක් ලබාගැනීමට හැකි වේද? සියලු ආයතන සඳහා එකම නිර්ණායක ක්‍රියාත්මක වන්නේ නම් ගැටලුවක් නැත. එහෙත් එක් ආයතනයකට විශේෂ අවස්ථාවක් ලබාදී අනෙක් ආයතනවලට එම අවස්ථාව අහිමි වන්නේ නම් එය ප්‍රතිපත්තිමය වශයෙන් බරපතළ ප්රශ්නයකි.
මෙම මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නොවැම්බර් 3 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීමද විශේෂ අවධානයට ලක්විය යුතුය. එහෙත් පැමිණිල්ලක් ගොනු කිරීම යනු දූෂණයක් සිදුවූ බවට තහවුරු වීමක් නොවේ.
පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් සංවාදය
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද නොවැම්බර් 04 වැනිදා උණුසුම් සංවාදයක් ඇතිවිය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර මෙම සංවාදය සිදුවිය.
මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නඩුවක්ද පවතින බවයි. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් යනු රජය සතු මුදල් බවද ඔහු අවධාරණය කර තිබේ.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කර ඇත්තේ මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් යොදවා ඇත්තේ සංචාරක ප්‍රවර්ධන කාර්යයක් වෙනුවෙන් බවත්, බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් සඳහන් වන මුදල් යෙදවීම ඡන්ද ව්‍යාපාරයක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බවත්ය.
ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතු කරුණු
මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන මතවාදවලට පමණක් සීමා නොවී කරුණු මත පදනම් වූ විමර්ශනයක් සිදුකිරීම වැදගත්ය. රජය පැහැදිලි කළ යුතු කරුණු කිහිපයක් තිබේ:
* රුපියල් 104,603,876ක මුදල වෙන් කිරීම සඳහා අනුගමනය කළ නිශ්චිත නීතිමය හා පරිපාලන ක්‍රමවේදය කුමක්ද?
* මෙම මුදලින් එක් එක් කාර්යය සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය කොපමණද?
* වෙනත් මාධ්‍ය ආයතන හෝ සංවිධාන සමඟ තරගකාරී ඇගයීමක් සිදු කළේද?
* සත්කාරක ආයතනය ABU විසින් තෝරාගනු ලැබුවේ නම්, ඉන් පසුව රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට අනුගමනය කළ නිර්ණායක මොනවාද?
* රුපියල් මිලියන 250ක ප්‍රචාරණ වටිනාකම ගණනය කළ ආකාරය කුමක්ද?
* සමුළුව අවසන් වීමෙන් පසු වියදම් සහ ලැබුණු ප්රතිලාභ පිළිබඳ විගණනය කළ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද?
* අනාගතයේදී මෙවැනි ජාත්‍යන්තර සමුළු සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමේ පොදු නිර්ණායක මොනවාද?
ජාත්‍යන්තර ජයග්‍රහණය සහ මහජන වගවීම
ජාත්‍යන්තර ජයග්‍රහණය සහ රාජ්‍ය වගවීම එකිනෙකට විරුද්ධ නැත. ශ්‍රී ලංකාවට ABU වැනි ජාත්‍යන්තර විකාශන සංවිධානයක මහ සභා රැස්වීමක් පැවැත්වීමට හැකිවීම සහ ශෙවාන් ඩැනියෙල් එහි උප සභාපති ධුරයට පත්වීම අගය කළ යුතුය.

නමුත් ඒ සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනයක් සත්කාරකත්වය දක්වන සමුළුවකට රාජ්‍ය මුදල් ලබාදීමේ පදනම පැහැදිලි විය යුතුය. ලැබෙන ප්රතිලාභ මැනිය හැකි විය යුතුය. සමාන අවස්ථා ලබාදීමේ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. වියදම් පිළිබඳ වාර්තා මහජනතාවට විවෘත විය යුතුය.
විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වීමේදී අවධාරණය කළේ දේශපාලන හිතවත්කම් මත රාජ්‍ය සම්පත් බෙදාදීම වෙනුවට සෑම පාර්ශ්වයකටම සාධාරණ අවස්ථා ලබාදෙන පාලන ක්රමයකි. එකම හැන්දෙන් සියලු දෙනාට බෙදන බවට දුන් ප්‍රතිඥාව රාජ්‍ය සම්පත් පරිහරණයේදීද ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවුණහොත් ආණ්ඩුව වෙත එල්ල වන ජනතා අප්‍රසාදය වස් කවි මෙන් සිය දහස් ගුණයක් බලවත් වීමේ පහසු ඉඩක් තිබේ.
උපුටා ගැනීම -vinivida.lk




