The Leader News
BREAKING
බ්‍රිතාන්‍ය ආයෝජන දිනාගන්න ලන්ඩනයේදී විශේෂ මෙහෙයුමක්●පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා●විද්‍යා ප්‍රබන්ධ ලේඛකයෙකුට පළමු වරට බුකර් ත්‍යාගය හිමිවෙයි ●නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මැතිනියගේ අනුසාරයෙන් PSTA පනතේ ත්‍රස්තවාදියා සොයාගැනීම●චීනයේ පියාඹන මෝටර් රථ අහසට එසවෙන හැටි●ඉසබෙල් අයියන්දේට ලොව ඉහළ ම මූල්‍ය වටිනාකමක් සහිත සාහිත්‍ය සම්මානයක්●විදෙස් ශ්‍රමික අයිතීන්ට ෆයිසර් මුස්තාෆාගෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක්●හිරුණිකාගේ සිරදඬුවම් ඇපෑලට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්●කෝපි බීමෙන් බඩවැලේ සිදුවන පෙරළිය ගැන විද්‍යාත්මක හෙළිදරව්වක්●ඊශ්‍රායල පාර්ලිමේන්තුව උණුසුම් කරමින් නෙතන්යාහුට එරෙහි දැඩි ව්‍යවස්ථාපිත ප්‍රහාරයක්●
Top Ad
විශේෂාංග

පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා

Nethmini

Nethmini

November 11, 2026 • 2:46 PM

පාසල් දරුවන් බිලිගන්නා අයිස් මත් රකුසා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් නොවැම්බර් 5 වැනිදා එහි ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි.
  • බාලවයස්කාර දරුවන් දහස් ගණනක් අයිස් දැලට ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 5 වැනිදා කළ ප්‍රකාශයෙන් අනාවරණය වූ සංඛ්‍යාලේඛන මෙම තත්ත්වයේ බරපතළකම පෙන්වා දෙයි.
  • වසරේදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 18ට අඩු එක් අයකු පමණි.
  • වසර වන විට එම සංඛ්‍යාව 1,874 දක්වා ඉහළ ගොස් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

‘රටම එකට’ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට වසරක් සපිරීම නිමිත්තෙන් නොවැම්බර් 5 වැනිදා එහි ප්‍රගතිය ඇගයීමට ලක් කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට රජය ගත් පියවර, වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ මත්ද්‍රව්‍ය තොග අත්පත් කරගැනීම් පිළිබඳ තොරතුරු රැසක් එහිදී අනාවරණය විය.

එම සංඛ්‍යාලේඛන අතරින් රටේ අනාගතය පිළිබඳ බරපතළ අවධානය යොමු විය යුතු කරුණක් හෙළිදරව් විය. මෙරට මත්ද්‍රව්‍ය උවදුර දැන් වැඩිහිටියන්ගේ හෝ රැකියා විරහිත තරුණයන්ගේ ගැටලුවක් පමණක් නොවී පාසල් දරුවන් කරා ද ව්‍යාප්ත වෙමින් පවතී.

කලක් මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ කතාබහේදී අවධානය යොමු වූයේ නගර ආශ්‍රිත පාතාල කල්ලි, රාත්‍රී සමාජ ශාලා, මුහුදු මාර්ග ඔස්සේ සිදුවන ජාවාරම් සහ වැඩිහිටි මත්ලෝලීන් වෙතය. අද එම උවදුර පාසල් අවට පරිසරයටත්, දරුවන් එදිනෙදා පරිහරණය කරන ආහාර හා රසකැවිලිවලටත් සම්බන්ධ වන අයුරු පිළිබඳව පොලිසිය අනතුරු අඟවා තිබේ.

මෙය අපට දුරින් පවතින සමාජ ප්‍රශ්නයක් නොවේ. අපේ දරුවාගේ, පාසලේ, ගමේ සහ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයකි.

බාලවයස්කාර දරුවන් දහස් ගණනක් අයිස් දැලට

ජනාධිපති අනුර කුමාර දිසානායක නොවැම්බර් 5 වැනිදා කළ ප්‍රකාශයෙන් අනාවරණය වූ සංඛ්‍යාලේඛන මෙම තත්ත්වයේ බරපතළකම පෙන්වා දෙයි.

2022 වසරේදී අයිස් (ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින්) සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 18ට අඩු එක් අයකු පමණි. 2025 වසර වන විට එම සංඛ්‍යාව 1,874 දක්වා ඉහළ ගොස් තිබේ. එය හුදෙක් සංඛ්‍යාත්මක වැඩිවීමක් ලෙස බැහැර කළ නොහැකිය. වයස අවුරුදු 18 සම්පූර්ණ නොකළ දරුවන් 1,874 දෙනකු අයිස් සම්බන්ධ නීතිමය සිදුවීම්වලට හසුවීම පාසල් පරපුර මුහුණ දෙන අවදානමේ තරම පිළිබඳ බරපතළ අනතුරු ඇඟවීමකි.



ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංඛ්‍යා අනුව වයස අවුරුදු 14ත් 18ත් අතර දරුවන් 1,068 දෙනකු සහ අවුරුදු 5ත් 14ත් අතර දරුවන් 13 දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් දැරියන් 200කට වැඩි පිරිසක් ද අත්අඩංගුවට පත්ව ඇති බව අනාවරණය විය.

අත්අඩංගුවට ගැනීමක් යනු වරදක් අධිකරණය හමුවේ තහවුරු වීමක් නොවේ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සියලුම බාලවයස්කරුවන් ජාවාරම්කරුවන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ලෙස සැලකිය නොහැකිය. ඇතැම් දරුවන් ජාවාරම්කරුවන් විසින් ප්‍රවාහනයට හෝ බෙදාහැරීමට යොදාගනු ලබන අය විය හැකිය. මෙවැනි සංඛ්‍යා දෙස බැලිය යුත්තේ දරුවන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමේ පදනමකින් නොව, ඔවුන් ආරක්ෂා කළ යුතු අවදානම් කණ්ඩායමක් ලෙස සලකාය.


2026 ඔක්තෝබර් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ සංඛ්‍යා අනුව වසර දෙකක මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පුද්ගලයන් 586,824 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඒ අතර වයස අවුරුදු 21ට අඩු තරුණයන් 11,970 දෙනකු සිටියහ. එයින් සියයට 90කට ආසන්න පිරිසක් වයස අවුරුදු 18ත් 21ත් අතර අය වූහ. මත්ද්‍රව්‍ය උවදුර පාසල් දරුවන්ගෙන් නොනැවතී තරුණ පරපුරේ විශාල කොටසක් දක්වා විහිදී ඇති බව මෙයින් පැහැදිලි වේ.

ටොෆි සහ බිස්කට් අතර සැඟවෙන මත් උවදුර

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් කළ අනාවරණයකට අනුව පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේදී ජාවාරම්කරුවන් විවිධ උපක්‍රම භාවිත කරති.

අයිස්, මාවා සහ බාබුල් වැනි ද්‍රව්‍ය සාමාන්‍ය ආහාර හා රසකැවිලි ලෙස පෙනෙන අයුරින් සකස් කර හෝ ඒවා සමඟ සම්බන්ධ කර අලෙවි කිරීම පිළිබඳව පොලිසිය අනතුරු අඟවා තිබේ. අයිස් පැකට්, බොම්බේ මොටයි, ටොෆි, බිස්කට්, අයිස් පලම් සහ සාරවිට වැනි දරුවන් අතර ජනප්‍රිය ආහාර ද්‍රව්‍ය මේ සම්බන්ධයෙන් සඳහන් වේ.


මෙහි ඇති බරපතළම අනතුර වන්නේ මත්ද්‍රව්‍යයක් ලෙස නොපෙනෙන දෙයක් දරුවකුගේ පරිහරණයට පත්වීමේ ඉඩකඩයි. කුඩා දරුවකුට ටොෆියක් හෝ රසකැවිල්ලක් ලබාදීම සාමාන්‍ය සිදුවීමකි. එවැනි දෙයක් පිළිබඳ දෙමාපියන් හෝ ගුරුවරුන් සැක පහළ කරන්නේ කලාතුරකිනි. ජාවාරම්කරුවන්ගේ උපක්‍රමය වන්නේ මෙම සමාජ විශ්වාසය තම වාසියට යොදාගැනීමය.

මෙවැනි අනතුරු ඇඟවීම් පදනම් කරගෙන සියලුම රසකැවිලි හෝ පාසල් අවට වෙළෙඳසල් සැකයට භාජනය කිරීම සුදුසු නැත. අවශ්‍ය වන්නේ සාක්ෂි සහිත අවධානයක්, සැක සහිත ද්‍රව්‍ය පිළිබඳ නිසි පරීක්ෂාවක් සහ වගකිවයුතු විමර්ශනයකි.

කලකට පෙර මෙරට මත්ද්‍රව්‍ය කතාබහේ ප්‍රධාන තැනක් හෙරොයින්වලට හිමි විය. අද අයිස්, ගංජා ආශ්‍රිත නිෂ්පාදන, කුෂ්, මාවා සහ විවිධ මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය පිළිබඳව නිරන්තරයෙන් අසන්නට ලැබේ.

අයිස් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු විය යුතුය. එය මධ්‍යම ස්නායු පද්ධතිය උත්තේජනය කරන කෘත්‍රිම මත්ද්‍රව්‍යයකි. තාවකාලිකව අවදියෙන් සිටින බවක්, අධික ශක්තියක් හෝ උද්යෝගයක් ඇතිවිය හැකි වුවද එහි ප්‍රතිඵලයක් ලෙස නින්ද අහිමිවීම, අධික කලබලකාරී බව, සැකසංකා, මානසික විකෘතිතා සහ ඇබ්බැහි වීමේ අවදානම මතුවේ.


නව යොවුන් වියේදී මොළයේ තීරණ ගැනීම, ආවේග පාලනය සහ සැලසුම්කරණය සම්බන්ධ කොටස් තවදුරටත් වර්ධනය වෙමින් පවතී. එම වයසේදී මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම දරුවාගේ අධ්‍යාපනයට මෙන්ම මොළයේ වර්ධනයට හා මානසික සෞඛ්‍යයට ද දැඩි ලෙස බලපායි.

පාසල් දරුවන් අතර භාවිත වන බවට වාර්තා වන තවත් නිෂ්පාදන දෙකක් වන්නේ බාබුල් සහ මදන මෝදකයයි. බාබුල් යනු පුවක් හා දුම්කොළ ආශ්‍රිත අමුද්‍රව්‍ය යොදා නිපදවන හපන නිෂ්පාදනයකි. එහි අඩංගු දුම්කොළ නිසා නිකොටින්වලට ඇබ්බැහි වීමේ අවදානමක් පවතී. නිෂ්පාදනවල අඩංගු සංයෝග පිළිබඳ පාරිභෝගිකයාට පැහැදිලි අවබෝධයක් නොතිබීම ද ගැටලුවකි.

මදන මෝදකය යන නාමය ආයුර්වේද ඖෂධ සම්ප්‍රදාය තුළ භාවිත වුවද, එම නමින් අලෙවි වන සෑම නිෂ්පාදනයක්ම එකම සංයුතියකින් යුක්ත නොවේ. නීති විරෝධී නිෂ්පාදනවලට ගංජා හෝ වෙනත් මනෝ ක්‍රියාකාරී ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ අවදානමක් පවතී. වැදගත් වන්නේ නිෂ්පාදනයේ සැබෑ සංයුතිය හඳුනාගැනීමය.

2013 වසරේ ‘Substance Abuse’ සඟරාවේ පළ වූ ශ්‍රී ලාංකික පර්යේෂණයකින් කොළඹ දිස්ත්‍රික්කයේ 10 සහ 12 ශ්‍රේණිවල සිසුන් 5,353 දෙනකු අතර බාබුල්, මදන මෝදක සහ කැස්ස පැණි වැනි ද්‍රව්‍ය භාවිත වන බව අනාවරණය කර තිබිණි. පාසල් දරුවන් අතර මෙවැනි ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ගැටලුව අද ඊයේ ආරම්භ වූවක් නොවන බව එයින් පැහැදිලි වේ.

දරුවන් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන හැටි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන අරමුණ ලාභ ලැබීමය. ඒ සඳහා ඔහුට නිරන්තරයෙන් මිලදී ගන්නා පාරිභෝගික පිරිසක් අවශ්‍ය වේ. මේ අතින් නව යොවුන් දරුවන් සෘජු අවදානම් කණ්ඩායමකි.

කුතුහලය, මිතුරන්ගේ බලපෑම, අලුත් දෙයක් අත්හදා බැලීමේ ආශාව, පවුලේ ගැටලු, තනිකම, මානසික පීඩනය සහ සමාජ පිළිගැනීමේ අවශ්‍යතාව දරුවකු මත්ද්‍රව්‍ය වෙත යොමුවීමට මඟපාදයි.

මත්ද්‍රව්‍යයක් නොමිලේ හෝ අඩු මිලකට ලබාදී දරුවකු එයට හුරු කරවා ගැනීමට ජාවාරම්කරුවෝ උත්සාහ කරති. පසුව එම දරුවාගේ ඇබ්බැහිය ජාවාරම්කරුවාගේ ස්ථාවර ආදායම් මාර්ගයක් බවට පත්වේ.

දරුවන් මුදල් ඉපැයීමේ පහසු මාර්ගයක් ලෙස සිතා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට හෝ බෙදාහැරීමට යොදාගැනීමේ අවදානමක් ද පවතී. මත්ද්‍රව්‍ය ජාලවලට හසුවන ඇතැම් දරුවන් වැඩිහිටි ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන අපරාධ මෙවලම් බවට පත්ව තිබේ.


අවුරුදු 12ක දැරියක සහ අවුරුදු 14ක පිරිමි දරුවකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමේ පුවතක් පසුගියදා මාලිගාකන්ද අධිකරණය හමුවේ වාර්තා විය. වෛද්‍ය පරීක්ෂණවලදී එම දරුවන් දෙදෙනා ඇබ්බැහි වීමේ තත්ත්වයක පසුවන බව අනාවරණය විය.

අවුරුදු 12ක් හෝ 14ක් යනු පාසල් පන්ති කාමරයේ අකුරු කරන, ජීවිතය පිළිබඳ මූලික අවබෝධය ගොඩනඟාගන්නා වයසකි. එවැනි දරුවකු මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී ඇත්නම් එය පෞද්ගලික වරදක් ලෙස බැහැර කළ නොහැකිය. දරුවා වටා පවතින පවුල්, පාසල් සහ සමාජ පරිසරය පිළිබඳව ද මෙහිදී විමසා බැලිය යුතුය.

ළමා පරපුරට එල්ල වන බහුවිධ හානි

නව යොවුන් වියේ මත්ද්‍රව්‍ය භාවිතය දරුවකුගේ අනාගතයට බරපතළ බලපෑම් එල්ල කරයි:

* මොළයේ ක්‍රියාකාරිත්වයට බලපෑම්: මතකය, අවධානය, තීරණ ගැනීම සහ ඉගෙනීමේ හැකියාව අඩාල වීම.
* මානසික සෞඛ්‍යයට බලපෑම්: කාංසාව, සැකසංකා, මානසික අවපීඩනය සහ මනෝ විකෘතිතා උග්‍ර වීම.
* ශාරීරික සෞඛ්‍යයට බලපෑම්: නින්ද අහිමිවීම, ආහාර රුචිය වෙනස්වීම, හෘද ස්පන්දනය වේගවත් වීම ඇතුළු කායික පද්ධතිවලට හානි සිදුවීම.
* අධ්‍යාපනයට බලපෑම්: පාසල් පැමිණීම අඩුවීම, විභාග ප්‍රතිඵල පහත වැටීම සහ අධ්‍යාපනය අතරමඟ නතර වීම.
* සමාජ සබඳතාවලට බලපෑම්: පවුලේ ගැටුම්, මිතුරු සබඳතා බිඳවැටීම සහ නීතිමය ගැටලුවලට මැදිවීම.

ඇබ්බැහි වීම හුදෙක් නරක පුරුද්දක් ලෙස සලකා දඬුවම් කිරීමෙන් පමණක් විසඳිය නොහැකිය. එයට වෛද්‍ය හා මානසික සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශනය සහ සමාජීය රැකවරණය අවශ්‍ය වේ.

දෙමාපියන් සහ පාසල සතු වගකීම

මත්ද්‍රව්‍ය උවදුර හමුවේ දෙමාපියන්ට දරුවන් පිළිබඳ විශේෂ විමසිලිමත් බවක් අවශ්‍ය වේ. එහි අර්ථය දරුවා නිරන්තරයෙන් සැක කිරීම හෝ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම නොවේ. ජීවිතයේ සිදුවන හදිසි වෙනස්කම් පිළිබඳ අවබෝධයෙන් පසුවීම ප්‍රමාණවත්ය.

ආහාර ගැනීමේ හා නින්දේ පුරුදු හදිසියේ වෙනස් වීම, අධ්‍යාපන කටයුතු අඩාල වීම, මිතුරු ඇසුර හා ගමන්බිමන් සඟවා තැබීමට උත්සාහ කිරීම, නිතර මුදල් ඉල්ලීම, අසාමාන්‍ය කලබලකාරී බව හෝ ආක්‍රමණශීලී හැසිරීම් කෙරෙහි සැලකිලිමත් විය යුතුය.


මෙවැනි ලක්ෂණ දුටු පමණින් දරුවකු මත්ද්‍රව්‍ය භාවිත කරන බව නිගමනය කළ නොහැකිය. වෙනත් ශාරීරික හෝ මානසික හේතු ද ඊට බලපෑ හැකිය. දරුවාට චෝදනා කිරීම වෙනුවට විවෘතව කතාබහ කිරීම, විශ්වාසය ගොඩනැඟීම සහ අවශ්‍ය විට වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්ය.

මත්ද්‍රව්‍ය නිවාරණය පොලිසියට හෝ දෙමාපියන්ට පමණක් සීමා වූවක් නොවේ. විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පාසල් උපදේශකයන් සහ පාසල් සංවර්ධන සමිති මේ සඳහා පෙරමුණ ගත යුතුය.

මත්ද්‍රව්‍ය හානිය පිළිබඳ විද්‍යාත්මක අවබෝධය ලබාදීම, මිතුරු බලපෑම් හමුවේ ස්ථාවර තීරණ ගැනීමට පුහුණු කිරීම සහ මානසික පීඩනයකදී උපකාර පැතීමට දරුවන් යොමු කිරීම අත්‍යවශ්‍ය වේ.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ දරුවකු පාසලෙන් නෙරපා හැරීම හෝ සමාජයෙන් කොන් කිරීම විසඳුමක් නොවේ. එයින් දරුවා වඩාත් අවදානම් පරිසරයකට තල්ලු වේ. අධ්‍යාපන අයිතිය සුරකිමින් වෛද්‍ය ප්‍රතිකාර, උපදේශනය හා පුනරුත්ථාපනය ලබාදීම ප්‍රමුඛ විය යුතුය.

හුදු වැටලීම්වලින් ඔබ්බට ගිය ජාතික වැඩපිළිවෙළක්

‘රටම එකට’ මෙහෙයුම මඟින් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, තොග අත්පත් කරගැනීම සහ වත්කම් තහනම් කිරීම වැනි පියවර ගෙන තිබේ. වැටලීම් සංඛ්‍යාව ඉහළ ගිය පමණින් උවදුර මුළුමනින්ම අවසන් නොවේ. ජාවාරම් ජාල බිඳවැටුණ ද ඊට සම්බන්ධ වීමට පෙලඹෙන පිරිස සහ ඉල්ලුම පවතින තාක් ගැටලුව ඉතිරි වේ.

ජාතික නිවාරණ වැඩපිළිවෙළක ප්‍රධාන අංශ තුනක් තිබේ:

1-සැපයුම මැඩලීම: ජාවාරම්කරුවන්, නිෂ්පාදකයන්, ප්‍රවාහකයන් සහ මූල්‍ය ජාල නීතිය හමුවට පැමිණවීම.


2- ඉල්ලුම අවම කිරීම: පාසල් වියේ සිටම මත්ද්‍රව්‍යවල අවදානම පිළිබඳ නිසි අධ්‍යාපනයක් දීම සහ තරුණ පරපුරට ක්‍රීඩා, කලා හා නිර්මාණශීලී අවස්ථා පුළුල් කිරීම.

3- පුනරුත්ථාපනය: ඇබ්බැහි වූවන් සමාජයෙන් ඉවත් කිරීම වෙනුවට වෛද්‍ය, මානසික හා සමාජීය සහාය හරහා යළි සමාජගත කිරීම.

පාසලක් හෝ උපකාරක පන්තියක් ආසන්නයේ සැක සහිත මත්ද්‍රව්‍ය ගනුදෙනුවක් දුටුවහොත් පොලිසියට හෝ ළමා ආරක්ෂණ බලධාරීන්ට වහා දැනුම් දිය හැකිය.

ප්‍රතිකාර හෝ උපදේශන සේවා සඳහා ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ‘1927’ ක්ෂණික දුරකථන සේවාව අමතන්න.

රටේ අනාගතය රැඳී ඇත්තේ අද පාසල් යන දරුවන්ගේ ජීවිත මතය. අනාගත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගුරුවරුන්, විද්‍යාඥයන් සහ කලාකරුවන් බිහිවන්නේ ඔවුන්ගෙනි. ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වන්නේ නම් සංවර්ධන ජයග්‍රහණවල ඵලක් නොමැත.

මහා පරිමාණ ජාවාරම්කරුවන් කොටු කරගැනීම අගය කළ යුතුය. පාසල් දරුවා අතට මත්ද්‍රව්‍ය පත්වීම වැළැක්වීමට නොහැකි නම් මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ ප්‍රශ්න මතු වේ. ‘රටම එකට’ මෙහෙයුම සැබෑ අර්ථයෙන්ම සාර්ථක කරගැනීමට පොලිසිය, දෙමාපියන්, ගුරුවරුන් සහ සමස්ත පුරවැසියන් එක්විය යුතුය. ආණ්ඩුවේ තීන්දු තීරණ හමුවේ විරුද්ධ මත දරන්නන්ට සමාජ මාධ්‍ය හරහා පහර දෙන "ඩෝබි බලකාය" ලෙස හැඳින්වෙන පාර්ශ්වයන් ද මෙහි බරපතළකම වටහාගෙන කටයුතු නොකළහොත්, එහි වගවීම ආණ්ඩුව පිටම පැටවීම වැළැක්විය නොහැකිය.


උපුටා ගැනීම -vinivida.lk
රීටා ජෙනට් පෙරේරා

නිදහස් මාධ්‍යවේදිනී

madampagereetajenet@gmail.com

View all stories by රීටා ජෙනට් පෙරේරා
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...