දෙවන කොටස
අප සතුව තවදුරටත් නොමැති මෙවලම
විසිවන සියවසේදී යමක් අපට අහිමි වූ අතර එය කිසිදා ප්‍රතිස්ථාපනය කරනු ලැබුවේ නැත. තුන්වන ජාත්‍යන්තරය 1943 දී විසුරුවා හරින ලද්දේ එය ඉවත් කිරීමට කැමති යුධකාලීන මිත්‍ර පාක්ෂිකයන් සමඟ යුද සමයේ ඇති කර ගත් එකඟතාවක ප්‍රතිඵලයක් වශයෙනි. එහි අඩුපාඩු කුමක් වුවත් - ඒවා වෙනම සාකච්ඡා කරන්නට සුදුසු තරම් බරපතළ ඒවා වුවත් - එය කිසියම් මෙවලමක් විය. එය විසුරුවා හැරීමත්, දශක ගණනාවකට පසුව පුළුල් ව්‍යාපාරයේ ඇති වූ බිඳවැටීමත් හේතුවෙන් දේශසීමා ඉක්මවා එකට කටයුතු කිරීමට වැඩ කරන ජනතාවට කිසිදු ස්ථිර සංවිධානයක් ඉතිරි වූයේ නැත.
දැනට ඉතිරිව ඇත්තේ ගෞරවනීය වුවත්, දිනෙන් දින දුර්වල වෙමින් පවතින, බිඳෙනසුලු මෙන්ම සහ පීඩාවට පත් යමකි. ගෝලීය වෘත්තීය සමිති සම්මේලන, ප්‍රචාරක ජාල, මානව හිමිකම් සංවිධාන සහ සහයෝගිතා කමිටු, බොහෝ විට ආරක්ෂණවාදී ස්ථාවරයක සිට සාමාන්‍යයෙන් හානිය සිදු වූ පසුව කුඩා අයවැයකින් බරපතළ කාර්යභාරයක් ඉටු කරයි.
ප්‍රාග්ධනයට එවැනි දුර්වලතාවක් නැත. සේවා යෝජකයෝ, ආයෝජකයෝ සහ රාජ්‍ය ශක්තිමත් හා ස්ථිර ජාත්‍යන්තර ව්‍යුහයක්, එනම්, වෙළඳ රීති, සමාගමකට තම ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයකට එරෙහිව නඩු පැවරිය හැකි බේරුම්කරණ විනිශ්චය සභා, කර්මාන්ත සංගම්, මහ බැංකු ජාල සහ එක් රටක සිට තවත් රටකට එකම ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම රැගෙන යන උපදේශන ආයතන පවත්වා ගෙන යති. ප්‍රාග්ධනය ලොව පුරා එකම පන්තියක් ලෙස කටයුතු කරයි. එහෙත්, ශ්‍රමය (කම්කරු පන්තිය), බොහෝ දුරට, තවමත් ක්‍රියා කරන්නේ එකිනෙකට වෙනස් ප්‍රාදේශීය එකතුවක් ලෙසයි. පසුගිය වසර හතළිහ පිළිබඳ බොහෝ දේ පැහැදිලි කිරීමට එම එකම අසමතුලිතහාව ප්‍රමාණවත් වේ.
පිළිතුරු ලැබිය යුතු විරෝධතා
මෙතෙක් ලියා ඇති සියළු දේටම එරෙහිව තර්ක තුනක් ඉදිරිපත් කෙරේ. ඒවා ඉදිරිපත් කරනු ලබන්නේ බැරෑරුම් පුද්ගලයන් විසිනි. විවෘතව ඒවාට පිළිතුරු දිය නොහැකි ව්‍යාපාරයකට පෞද්ගලිකව විශ්වාසය හිමි නොවිය යුතුය.
පළමු තර්කය වන්නේ අප යෝජනා කරන දේ වෙළඳපොළ දැනටමත් කර ඇති බවයි.
පසුගිය දශක හතර තුළ මෙතෙක් වාර්තාගත ඉතිහාසය තුළ නිරපේක්ෂ දරිද්‍රතාවයේ විශාලතම පහත වැටීම, එයින් වැඩි කොටසක් ආසියාවේ, සිදුව තිබේ. එම පහත වැටීම නොසලකා හැරීම අවංක නොවනු ඇත. එසේ නොවන්නට සිදු නොවන ලෙස, මිලියන සිය ගණනකගේ ජීවිත දිගු වී ඇතිවාක් මෙන්ම, ඔවුන්ගේ අසරණබව ද අඩු වී තිබේ. එහෙත් එය සිදු වූ ස්ථානය සහ ආකාරය දෙස සමීපව බලන්න. වේගයෙන්ම ඉහළට පැමිණි රටවල් තමන්ට ලබා දුන් උපදෙස් අනුගමනය කළේ නැත. ඒවා කාර්මීකරණය වූයේ රාජ්‍ය මඟපෙන්වීම, ප්‍රාග්ධන පාලනය, ඉඩම් සහ බැංකු පිළිබඳ පොදු අයිතිය සහ යොවුන් කර්මාන්ත දිගුකාලීනව ආරක්ෂා කිරීම යටතේ ය.
එසේම, ඔවුන්ට ලැබුණ උපදෙස් මත සම්පූර්ණයෙන්ම විවෘත කළ රටවල් කිහිපයක් උරුම කර ගත්තේ ණය අර්බුදයන් සහ අහිමි වූ දශකයනුයි. එමෙන්ම, එම මිනුමෙන් ඇත්ත වශයෙන්ම මැනෙන්නේ කුමක්දැයි යන්න ගැනද සලකා බලන්න. ජාත්‍යන්තර දරිද්‍රතා සීමාව පිහිටා ඇත්තේ අන්ත දරිද්‍රතාවයට යන්තම් ඉහළිණි; එය ඉක්මවා යාම යනු පණ නල ගැට ගසා ගැනීම මිස ජීවිතයක් ගත කිරීම නොවේ.
එසේම එම ජයග්‍රහණ සුරක්ෂිත ද නැත: වසංගතයක්, උද්ධමන ඉහළ යාමක් හෝ මුදල් ඒකකයක කඩා වැටීමක් විසින් එක් වසරක් තුළ මිලියන දස ගණනක් නැවත එම සීමාවෙන් පහළට තල්ලු කළ දමනු ලැබිය හැකිය. සියල්ලටම වඩා, එකී වර්ධනය සාක්ෂාත් කර ගන්නා ලද්දේ වැඩ කරන ජනතාව විසින්ම වැය කරන ලද පැය ගණන් තුළිණි. තර්කය කිසිදා ඔවුන්ගේ උත්සාහය ධනය නිර්මාණය කරන්නේද යන්න පිළිබඳව නොවීය. එය සෑම විටම ප්‍රශ්න කළේ එම ධනය රඳවා ගන්නේ කවුද යන්න පිළිබඳවයි.

දෙවන විරෝධය වන්නේ විසිවන සියවසේ ඉතිහාසයයි.
එය තරාදියේ ඇති බරම දෙයයි. සාගත, කඳවුරු, රහස් පොලිසිය, සමස්ත ජාතිකත්වයන්ම පිටුවහල් කිරීම, වැඩ වර්ජන බිඳ දැමීම සහ අසල්වැසි රටවල් ආක්‍රමණය කිරීම - මේ සියල්ල සිදු කරන ලද්දේ වැඩ කරන පන්තියේ භාෂාව යොදා ගෙන නමුත් රාජ්‍යයට එරෙහිව සංවිධානය වීමට කම්කරුවන්ට තිබූ අයිතිය ප්‍රතික්ෂේප කළ රාජ්‍යයන් විසිනි. මෙය ඉක්මණින් පසු කර යෑමට හෝ පාද සටහනක් ලෙස නොසාකා හැරිය නොහැකිය. අද සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානාත්මතාව වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙකු මුහුණ දෙන විශාලතම බාධාව වන්නේ මෙයයි. එහෙත් එයින් ගත යුතු නිගමනය වන්නේ අරමුණ වටිනාකමක් නොමැති එකක්ය යන්න නොවේ. නිගමනය විය යුත්තේ ක්‍රම වේදය තුළම එහි විනාශය අන්තර්ගත ව තිබූ බවත්, අතහැර දැමූ මුල්ම දේවල් වඩාත්ම වැදගත් වූ දේවල් බවත්ය යන්නයි.
කිසිදු ව්‍යාපාරයක් විසින් නැවත කිසි දිනෙක තම සාමාජිකයන්ට වඩා රාජ්‍යයක් ඉහළින් නොතැබිය යුතුය, එක් මධ්‍යස්ථානයකට අනෙක් සියල්ල පාලනය කිරීමට ඉඩ නොහැරිය යුතුය, විසම්මුතිය සහ වැඩ වර්ජන අයිතිය වඩා සාමකාමී කාල පරිච්ඡේදවලට පමණක් සීමා වූ සැප පහසු දේවල් ලෙස නොසැලකිය යුතුය. මේ මූලධර්ම කිසිදාක හුදු අලංකාරයන් නොවීය. අපරාධ සිදුවීමට ඉඩ සැලසූ නිශ්චිත හේතුව වූයේ ඒවා අතහැර දැමීම මයි. මෙහි යෝජනා කර ඇත්තේ පහලට, එනම්, ඒවාට අරමුදල් සපයන සාමාජිකයන් දක්වා වග කියන, වැඩ කරන ජනතාවගේ ස්වාධීන සංවිධාන අතර සහයෝගීතාවය ගොඩ නැගීමයි. එවැනි ආයතනයක් පෙර පැවති තත්වයට සමාන වීමට පටන් ගතහොත්, එය ගොඩනැඟූ අය එයින් පළමුව ඉවත්ව යා යුතුය.
තෙවන විරෝධය වඩාත් ප්‍රායෝගිකය වෙයි
කම්කරුවන් දිනා ගෙන ඇති සෑම දෙයක්ම පාහේ, එනම්, පැය අටේ වැඩ දිනය, සති අන්ත නිවාඩු, විශ්‍රාම වැටුප්, පොදු අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා, ආරක්ෂිත සේවා ස්ථානයක් සහ සංවිධානය වීමේ අයිතිය පවා දිනා ගත්තේ දේශීය අරගල සහ දේශීය නීති මගිනි. ජාත්‍යන්තර සංවිධාන යෝජනා සම්මත කරන අතර පාර්ලිමේන්තු පනත් සම්මත කළේය. එය සත්‍යයකි; එය සත්‍ය වීමට හේතුවක්ද ඇත. එම ජයග්‍රහණ අත් කර ගන්නා ලද්දේ සේවායෝජකයා ද බොහෝ දුරට ජාතික මට්ටමේ කෙනෙකු වූ, එනම්, ඔහු කර්මාන්තශාලාවකට, සේවක බලකායකට සහ පහසුවෙන් හැර යා නොහැකි රටකට බැඳී සිටි කාලයේය. මන්ද, ඔහුගේ ධනය, තත්ත්වය සහ බලය ඒවා මත රඳා පැවති බැවිනි. එම යුගය දැන් අවසන් වී ඇත. සමාගමකට දැන් මාස දහඅටක් ඇතුළත නිෂ්පාදනය වෙනත් ස්ථානයකට ගෙන යා හැකිය, තමන් කිසිවෙකු සේවයේ යොදවා නොමැති ස්ථානවලට තම ලාභ මාරු කළ හැකිය; තවද, තමන්ට අපහසු වන නීතියක් එම නීතිය බල පවත්වන ප්‍රදේශයෙන් පිටතට ගොස් මඟ හැර යා හැකිය.
ජාතික මට්ටමේ සාමූහික කේවල් කිරීම තවමත් ජයග්‍රහණ දිනා ගන්නා මෙවලම වේ. එය දුර්වල නොකළ යුතුය. එහෙත් දැන් එයට ප්‍රවේශ වීමේ හැකියාව අඩුය. දේශසීමා හරහා ඇති සහයෝගිතාව හරියටම සපයා ලන්නේ එම ප්‍රවේශයයි. මෙය පළමු වරට පරීක්ෂා කිරීමට ලක් කළ යුතුව තිබෙන සිද්ධාන්තයක් නොවේ. දකුණු අප්‍රිකානු භාණ්ඩ බෑම ප්‍රතික්ෂේප කළ වරාය කම්කරුවන් වර්ණභේදවාදය බිඳ දැමීමට උපකාර කළහ. රනා ප්ලාසා ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් පසු, ගෝලීය වෘත්තීය සමිති සහ සන්නාම සමාගම් දේශසීමා ඉක්මවා බැඳී පවතින ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් බංග්ලාදේශ කර්මාන්තශාලා දහසකට වැඩි සංඛ්‍යාවකට ස්වාධීන පරීක්ෂකවරු යවා ඒවා පැහැදිලි ආකාරයෙන් ආරක්ෂිත ස්ථාන බවට පත් කළේය. ඒවා යෝජනා නොවීය. ඒවා අත් කර ගත් ප්‍රතිඵල වූයේය.
ගොඩනැඟිය යුතු දේ
එක් රටක කම්කරුවන්ට තවදුරටත් එක් රටක් තුළ පමණක් තමන්ව ආරක්ෂා කරගත නොහැක. එය මතවාදයක් නොවේ. එය සැපයුම් දාමයේ ස්වභාවය පිළිබඳ විස්තර කිරීමකි.

නව ජාත්‍යන්තර සහයෝගිතාවකට ඉහළින් ලබා දෙන සැලැස්මක් අවශ්‍ය නැත. එයට අවශ්‍ය ප්‍රායෝගික, සරල එහෙත් අත්‍යවශ්‍ය ගොඩනැඟීමේ වැඩ කටයුතුයි. උදාහරණ ලෙස:
• එක් සමාගමක් සඳහා භාණ්ඩ නිෂ්පාදනය කරන, නැව්ගත කරන, ගබඩා කරන සහ බෙදා හරින පුද්ගලයන්ට, තනි තනිව නොව, සියලු දෙනාට එකට එකතුව එම සමාගමට මුහුණ දිය හැකි වන පරිදි සමස්ත සැපයුම් දාමය පුරා සම්බන්ධ වූ වෘත්තීය සමිති.
• එක් රටක සිදු කරන වැඩ වර්ජනයක් කිසිවිටෙකත් හුදෙකලා නොකරන පරිදි පොදු ඉල්ලීම් සහ හවුල් කාල සටහනක්.
• ණය සාධාරණත්වය, සහ ණය ගැතියන්ට එරෙහිව ණය හිමියන් ලියා ක්‍රියාත්මක කරන නීති රීති අවසන් කිරීම.
• කිසිදු ව්‍යතිරේකයකින් තොරව සංක්‍රමණික අයිතිවාසිකම් කම්කරු අයිතිවාසිකම් ලෙස සැලකීම. එක් සේවකයෙකු රටින් පිටුවහල් කිරීමේ තර්ජනයට ලක්විය හැකි හැම තැනකදීම, සෑම සේවකයෙකුගේම වැටුප තර්ජනයට ලක් වේ.
• වැඩ කරන අය විසින්ම සාකච්ඡා කර සකස් කරනු ලබන සහතික කළ ජීවනෝපායක් සහිත දේශගුණික සංක්‍රාන්තියක්.
• සේවකයන් එකිනෙකාට එරෙහිව මෙහෙයවන, දෙපාර්ශ්වයටම කිසිදු යහපතක් නොවන යුද්ධවලට විරෝධය පෑම.
• මර්දනය හමුවේ සංවිධානය වන අයට ප්‍රායෝගික සහයෝගය ලබා දීම, එනම්, වැඩ වර්ජන අරමුදල්, නීතිමය ආරක්ෂාව, ප්‍රචාරණය, සහ ඔවුන්ගේ නම්
ලෝකයා දැන සිටිය යුතු බව සරලව අවධාරණය කිරීම.
එහි වැඩ පිළිවෙල තරමටම එහි ස්වභාවය ද වැදගත් වනු ඇත. එය, සියල්ලන් එකම ආකාරයකට හැඩ ගැස්වීමට බල නොකරමින් බොහෝ සම්ප්‍රදායයන් එකමුතුව තබා ගන්නා බහුත්වවාදී ව්‍යාපාරයක් විය යුතුය. මුල සිට ඉහළටම එය ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුය. එය එක් රාජ්‍යයකට, එක් පක්ෂයකට හෝ එක් අගනුවරකට පමණක් අයත් නොවිය යුතුය; එසේ වූ විට සිදු වන්නේ කුමක්දැයි අපි දැක ඇති බැවිනි. තවද, තමන්ගේම පරාජයන් පවා ඇතුළත් කර ගත හැකි තරම් දිගු මතකයක් සහිතව එය ගොඩනැගිය යුතුය.
ලෝකය ගොඩ නගන අය වෙත
මෙහි සදහන් කිසිවක් නිකමම් ලැබුණු හෝ ඉබේම ළගා වූ දේවල් නොවේ. පහළින් එල්ල වන බලපෑමකින් තොරව කිසිදු රජයක් මෙය ලබා නොදෙනු ඇත; කිසිදු අධිකරණයක් ස්වයංක්‍රීයව මෙය තීන්දු නොකරනු ඇත; කිසිදු වෙළඳපොළක් කරුණාවෙන් යුක්තව මෙය පිරිනමන්නේ නැත. එය ගොඩනඟනු ලබන්නේ, ඩර්බන්හි වරාය සේවකයෙකුට, ඉලිනොයිස්හි ගබඩා සේවකයෙකුට සහ චිතගොංහි ඇඟලුම් සේවකයෙකුට, ඔවුන් තම ශ්‍රමයෙන් පොහොසත් කරවන කොටස් හිමිකරුවාට වඩා ඔවුන් එකිනෙකා අතර බොහෝ පොදු දේවල් ඇති බව තීරණය කරන සාමාන්‍ය මිනිසුන් විසිනි.
එය හුදු විශ්වාසය මත පදනම් වූ ක්‍රියාවක් නොවේ. එය අප මුහුණ දෙන එදිනෙදා යථාර්ථයයි. උදෑසන කමිසයක්, දුරකථනයක් සහ කෝපි කෝප්පයක් ඔබ වෙත ළඟා වන ආකාරය පිළිබඳ සරල සත්‍යය එයයි. ලෝකයේ වැඩ දැනටමත් බෙදාගෙන අවසන් ය. දැන් ඉතිරිව ඇත්තේ එහි ප්‍රතිඵල සාධාරණ ලෙස බෙදා ගැනීමයි.
ලෝකය ගොඩ නගන මිනිසුන්ට එය පාලනය කිරීමට ද සම්පූර්ණ හැකියාව ඇත.
(සටහන | ආචාර්ය ලයනල් බෝපගේ)
මෙල්බර්න් නුවර, ඔස්ට්‍රේලියාව
ඔක්තෝබර් 4, 2026
සබැඳි ලිපිය :
පළමුවන කොටස - ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්




