ලේකම්වරයා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පනවා තිබූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කිරීම පිළිබඳව කරුණු දැක්වීම සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ය.
මෙම ප්‍රතිශතය තවදුරටත් අඩු කර ගත හැකි ද? යන්න පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.
මෙම තීරු බදු අඩු කර ගැනීම සඳහා සහය දුන් සියලු පාර්ශවවලට ස්තුති කරන බව ද ඔහු පැවසීය.
මෙම තීරු බදු පැණවූ වහාම මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විශේෂ කණ්ඩායමක් පත් කළ බවත් මහ බැංකු අධිපති, ජනාධිපතිගේ උපදේශක දුමින්ද හුලංගමුව, වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් විමලේන්ද්‍ර රාජා සහ එක්සත් ජනපදයේ සිටින ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මෙම සාකච්ඡා සඳහා එක් වූ බවත් අවශ්‍ය පිරිස සම්බන්ධීකරණය කර ඉතාම අපහසු අවස්ථාවක දී ලංකාවට අවශ්‍ය කරන සාකච්ඡා ඇමරිකාවේ වෙළෙඳ නියෝජිතයින් සමඟ ලබා ගැනීමට කටයුතු කළ බවද පැවසීය. ඒ කණ්ඩායම් උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස මෙම තීරු බදු සම්බන්ධයෙන් ඉතාම හොඳ සංධිස්ථානයකට ඒමට හැකි වූ බවද හෙතෙම පැවසිය.
රටවල් අතර වෙළෙඳ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡාවල තීරණ ගැනීමට වසර ගණනාවක් ගතවන බවත් ඉතාම වෙහෙසකර ක්‍රියාමාර්ගයක් වුවද මෙම තීරු බදු සම්බන්ධ සාකච්ඡාව දින 90ක් වැනි කෙටි කාලයක් තුළදී සාර්ථක වූ බවද ඔහු පැවසුවේය.
එමෙන්ම මෙම සිමිත කාල සීමාවක දී සාර්ථකත්වය ලැබීමට රාජ්‍ය ආයතන ගණනාවක් මහන්සි වී වැඩ කර බවත් මේ වෙළෙඳ සාකච්ඡාවේ දී සාකච්ඡා ක්ෂේත්‍රයකට සීමා නොවන බවත් සමස්ථ රට පුරා පැතිරුණු ක්ෂේත්‍රයයන්ට, ආයෝජකයන්ට, ව්‍යවසායකයන්ට සියලුම දෙනාමට බලපාන බැවින් රාජ්‍ය ආයතන සියල්ලන්ගෙනම හොඳ දායකත්වයක් ලැබු බවද පැවසීය.
ශ්‍රි ලංකාවට මේ කලාපය තුළ ඇති වෙළෙඳ පොළ තරඟකාරීත්වය නඩත්තු කර මේ ගමන ඉදිරි යාමත් අප රටේ අපනයනකරුවන්ට, ව්‍යාපාරිකයින්ට වෙළෙඳපොලේ තිබු තරඟකාරීත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමත් මෙම සාකච්ඡා වල අරමුණ බවද ඔහු සඳහන් කළේය.
අප විශේෂයෙන් අපේ කලාපයේ බදු ප්‍රතිශතයට වඩා කලාපයේ ඇති සම අකාරයේ භාණ්ඩ අපනයනය කරන, සේවා අපනයනය කරන පිරිසට ජාත්‍යන්තර වෙළෙඳ පල තුළ තරඟ කරමින් අපේ වෙළඳපල වටිනාකම පවත්වා ගැනීමට හැකියාව ලබා දිමත් අපේ පරමාර්තය බවත් එය සාර්ථක වූ බවත් ලේකම්වරයා පැවසිය.
'තවදුරටත් සාකච්ඡා කරනවා'
එමෙන්ම කලාපයේ ඇති අනිත් රටවල්වලට සාපේක්ෂව ලංකාව තීරු බදු සම්බන්ධ අප හොඳ මට්ටමක සිටින බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියටත් අවධානය යොමු කරමින් ශ්‍රි ලංකාව නියෝජනය කරන කණ්ඩායම සහ එක්සත් ජනපදයේ අප සමග සම්බන්ධ වී ඇති කණ්ඩායමත් සමඟ සම්බන්ධවී ඉදිරියටත් මෙම සාකච්ඡා කිරීමටත් අදහස් හුවමාරු කර ගැනීමටත් බලාපොරොතුත් වන බව පෙන්වා දුන්නේය.
ලංකාව පමණක් නොව වෙනත් රටවල් ගණනාවක් ද මෙම සාකච්ඡා සමඟ එකතු වන බවත් සාකච්ඡාවලට බාදා නොඑන්නට මෙහි සාකච්ඡා වන කාරණා සම්බන්ධයෙන් රහස්‍යභාවය රකින්නට අවශ්‍ය බවද සඳහන් කළේය.
විශේෂයෙන් ශ්‍රි ලංකාව මෙම සාකච්ඡා පවත්වන්නේ IMF තුළ ඇති සිමා රාමුවක වැඩකරන වාතාවරණයක බව පැවසු හෙතෙම ශ්‍රි ලංකාව මේ ලබා ගත් බදු ප්‍රතිශතය තවත් සවිමත් කර ගැනීමටත් තවත් මෙම ප්‍රතිශතය අඩු කර ගැනීමට හැකිනම් ඒ සඳහාද විමසීමෙන් සිටින බවද කීය.
ට්‍රම්ප්ගේ 20%ක තීරු බද්ද ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන්නේ කොහොම ද?
ලොව පුරා රටවල් රැසකට ඇමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරු බදු නැවත වරක් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ශ්‍රී ලංකාවට පැනවෙන නව තීරු බදු ප්‍රතිශතය 20%ක් බවට ධවල මන්දිරය නිවේදනය කළේ ය.
පසුගිය අප්‍රේල් මාසයේදී ද ශ්‍රී ලංකාව සඳහා 44%ක තීරු බදු පැනවීමට යෝජනා කෙරුණු නමුත් පසුව එය දින 90කට අත්හිටුවීය. පසුව එම යෝජිත තීරුබදු ප්‍රතිශතය සංශෝධනය කරමින් එය 30%ක් ලෙස සංශෝධනය කරමින් 14%කින් පහත දැමිණි.
පසුව යළිත් සංශෝධන සඳහා ඉල්ලීම් කෙරුණු අතර, එය 20%ක් දක්වා පහළ දැමුවේ ඉන් අනතුරුව ය.
ධවල මන්දිර වෙබ් අඩවියේ පළ කර ඇති ට්‍රම්ප්ගේ විධායක නියෝගයෙන් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, නව තීරුබදු පහත පරිදි වේ.
* 10% - බ්‍රසීලය, ෆෝක්ලන්ඩ් දූපත්, එක්සත් රාජධානිය සහ විධායක නියෝගයේ ලැයිස්තුගත කර නොමැති අනෙකුත් සියලු ම රටවල්
* 15% - ඇෆ්ඝනිස්ථානය, ඇන්ගෝලාව, බොලිවියාව, බොට්ස්වානා, කැමරූන්, චැඩ්, කොස්ට රීකා, අයිවරි කෝස්ට්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, ඉක්වදෝරය, සමක ගිනියාව, ෆීජි, ඝානාව, ගයානාව, අයිස්ලන්තය, ඊශ්‍රායලය, ජපානය, ජෝර්දානය, ලෙසෝතෝ, ලික්ටන්ස්ටයින්, මැඩගස්කරය, මලාවි, මොරීෂස් (මුරුසිය), මොසැම්බික්, නැමීබියාව, නාවුරු, නවසීලන්තය, නයිජීරියාව, උතුරු මැසිඩෝනියාව, නෝර්වේ, පැපුවා නිව් ගිනියාව, දකුණු කොරියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ, තුර්කිය, උගන්ඩාව, වනුවාටු, වෙනිසුවෙලාව, සැම්බියාව, සිම්බාබ්වේ
* 18% - නිකරගුවාව
* 19% - කාම්බෝජය, ඉන්දුනීසියාව, මැලේසියාව, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය
* 20% - බංග්ලාදේශය, ශ්‍රී ලංකාව, තායිවානය, වියට්නාමය
* 25% - බෲනායි, ඉන්දියාව, කසක්ස්තානය, මෝල්ඩෝවා, ටියුනීසියාව
* 30% - ඇල්ජීරියාව, බොස්නියාව සහ හර්සගොවීනා, ලිබියාව, දකුණු අප්‍රිකාව
* 35% - ඉරාකය, සර්බියාව
* 39% - ස්විට්සර්ලන්තය
* 40% - ලාඕසය, මියන්මාරය (බුරුමය)
* 41% - සිරියාව
සැලකිය යුතු ව්‍යතිරේක කිහිපයක් ද තිබේ:
කැනඩාව සඳහා පනවා ඇති 35%ක තීරු බදු අගොස්තු 1 වන දා සිට ක්‍රියාත්මක වනු ඇත.
මෙක්සිකෝවෙන් ආනයනය කෙරෙන ෆෙන්ටැනයිල් සඳහා 25%, මෝටර් රථ සඳහා 25% සහ වානේ, ඇලුමිනියම් සහ තඹ සඳහා 50%ක තීරු බදු අය කිරීමට නියමිත අතර එය දින 90කින් ක්‍රියාත්මක වනු ඇත.
යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා 0% සිට 15% දක්වා පරාසයක තීරු බදු පැන වෙන අතර මෙම අනුපාත අගෝස්තු 7 වන දින සිට ක්‍රියාත්මක වේ.
විධායක නියෝගයේ බ්‍රසීලය 10% ක තීරුබදු සහිත රටක් ලෙස ලැයිස්තුගත කර ඇති නමුත් මෙය ඊයේ ප්‍රකාශයට පත් කළ 40% තීරු බදුවලට අමතරව සඳහන් කරන ලද්දකි. එයින් අදහස් වන්නේ බොහෝ භාණ්ඩ සඳහා බ්‍රසීලය 50%ක අනුපාතයකට මුහුණ දෙන බව ය.
ආසියානු කලාපයේ අඩු ම බද්ද ශ්‍රී ලංකාවට ද?
ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20% දක්වා පහළ දැමීමත් සමග ආසියාවේ අඩු ම බද්ද ශ්‍රී ලංකාවට හිමිව ඇති බවට ඇතැම් පිරිස් සමාජ මාධ්‍යවල සටහන් කර තිබිණි.
කෙසේ වෙතත්, මෙතෙක් පනවා ඇති තීරු බදු අනුව ආසියානු කලාපයේ අඩු ම තීරු බදු ප්‍රතිශතය ඇත්තේ, ජපානයට සහ ඇෆ්ඝනිස්ථානයට යි.
එය 15%කි.
තීරු බද්ද 20% දක්වා අඩුවීම ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේ ද?
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පනවා තිබූ 44%ක තීරු බද්ද 20% දක්වා පහළ දැමීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, මෙතෙක් පැවති සාකච්ඡාවලට අනුව ඉදිරි වසරේදී තීරු බද්ද 10% දක්වා අඩු කර ගැනීමට අවස්ථාවක් පවතින බව ය.
කෙසේ වෙතත්, බදු පැනවීමක් විශ්ලේෂණය කිරීමේදී සාපේක්ෂ බද්ද හා නිරපේක්ෂ බද්ද වශයෙන් සලකා බැලිය යුතු බව ය.
නිරපේක්ෂ බද්ද යනු....
නිරපේක්ෂ බද්ද යනු, "20%ක බදු පැනවීම හරහා රටට විය හැකි බලපෑම කුමක් ද? යන්න විමසා බැලීම" බව මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.
"ශ්‍රී ලංකාව ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ ගොඩක් ඒවා 'price sensitive' ඒ කියන්නේ, මිලත් එක්ක ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන් ඇඟලුම් වගේ දේවල්. මේ බද්ද හරහා අපි අපනයනය කරන භාණ්ඩවල මිලට 20%ක මුදලක් එකතු කරනවා ඇමෙරිකාවේදි. එහෙම වුණා ම, 20%කින් භාණ්ඩයේ මිල ඉහළ යනවා. එහෙම වුණා ම අපේ භාණ්ඩවලට තියෙන ඉල්ලුම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි නිරපේක්ෂ බද්ද කියන්නේ."
සාපේක්ෂ බද්ද යනු...
සාපේක්ෂ බද්ද යනු, යම් රටකට සාපේක්ෂව අසල්වැසි රටවලට සහ තරගකාරී රටවලට පනවා ඇති බද්ද අපට බලපාන ආකාරය යි.
"අපි හිතනවා අපට 20%කින් බදු අඩුවීමක් සිද්ධ වෙලා තියෙන එක ලොකු ජයග්‍රහණයක් කියලා. හැබැයි අපි බැලුවොත් 2025 අප්‍රේල් 05 වෙනි ද දාපු බදුවලදී අපට 44%ක ලොකු බද්දක් පනවල තිබුණ වෙලාවෙ අපේ ලොකු ම තරගකරුවෙක් වුණ බංග්ලාදේශයට 37%ක් බදු පනවල තිබුණා. හැබැයි වියට්නාමයට 46%ක සහ කාම්බෝජියාවට 49%ක බද්දක් පනවල තිබුණ. ඊට පස්සෙ 2025 ජූලි 07 වෙනකොට අපේ බද්ද 30% දක්වා අඩු කර ගත්තා. ඒ වෙලාවෙ ලංකාව කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව හොඳ තැනක හිටිය."
"හැබැයි ඊයෙ දවසේ අපට 20%ක් බදු පනවද්දි අනෙකුත් රටවල්වලට සාපේක්ෂව අපට ලැබිල තියෙන ගාණ ගැන විමසා බලන්න ඕනෙ. වියට්නාමය සහ බංග්ලාදේශයටත් 20%ක බද්දක් තමයි තියෙන්නෙ. තායිලන්තය, ඇෆඝනිස්ථානය වගේ රටවලට අපට වඩා අඩු අනුපාත ලැබිල තියෙනවා. ඒක නිසා සාපේක්ෂ වශයෙන් අපි විමසා බලන්න ඕනෙ අපට තියෙන වාසි මොනවා ද? කියල. එතනදි අපට වඩා අඩු අනුපාත තියෙන රටවලට ආයෝජකයෝ ඇදී යන එකත්, රට තුළ නිෂ්පාදකයින් අධෛර්යයට පත්වීමත් වෙන්න පුළුවන්."
කෙසේ වෙතත්, 44%ක් ලෙස පැවති බද්ද 20% දක්වා අඩු කිරීම ශ්‍රී ලංකාවට සහනයක් වන බව මහාචාර්ය අමින්ද මෙත්සිර පෙරේරා පවසයි.
උපුටා ගැනීම් - බීබීසී සිංහල




