සාපේක්ෂව 18.9%ක වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකුවේ නවතම වාර්තාවකින් හෙලි වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 31 දින නිකුත් කරන ලද ඉකුත් මාස හයේ විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවේ දැක්වෙන්නේ, 2025 ජනවාරි සිට ජූනි දක්වා වූ කාලය තුළ විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට විදේශ විනිමය ඇමරිකානු ඩොලර් මිලියන 3,738 එවා ඇති අතර, 2024 වසරේ මෙම කාලය තුළ ලැබී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 3,144 ක් බවයි.
මේ අතර සංචාරක කර්මාන්තය හරහා මෙම වසරේ මුල් භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,712.6 ක ආදායමක් ලැබී ඇති බව, සංචාරක සංවර්ධන අධිකාරිය විසින් පවත්වනු ලැබූ සමීක්ෂණ උපුටා දක්වමින් ඉදිරිපත් කරන ශ්‍රී ලංකා මහ බැංකුව, එය 2024 වසරේ මුල් භාගයට අදාල ඇමරිකානු ඩොලර් මිලියන 1,556.6 ට සාපේක්ෂව 10%ක වර්ධනයක් බව පෙන්වා දෙයි.
එසේ වෙතත්, වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් මිලියන දහසකට අධික ප්‍රමාණයකින් වැඩිවී තිබේ.
වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ පළමු මාස හය තුළ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 6,144.4 ට සාපේක්ෂව මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 6,492.1 දක්වා 5.7% කින් වර්ධනය වී තිබේ.
වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 8,684.4 ක අගයට සාපේක්ෂව මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 9,762.2 දක්වා 12.4% කින් වර්ධනය වීම හේතුවෙන්, වෙළෙඳ ශේෂ හිඟය පසුගිය වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 2,540.0 සිට මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 3,270.1 දක්වා ඉහල ගොස් තිබේ.
මෙහිදී මහ බැංකුව පෙන්වා දෙන්නේ පුද්ගලික මෙන්ම වාණිජ කටයුතු සඳහා වන රථ වාහන ආනයනය සඳහා 2025 වසරේ පළමු භාගය තුළ වැය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 475ක් බවයි.
මෙසේ වෙළෙඳ ශේෂ හිඟය ඉහල ගියද, විදේශ සේවා නියුක්තිකයන් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ඉහල යාම සහ සංචාරක කර්මාන්තය ඇතුළු සේවා ආදායම ඉහල යාම හේතුවෙන් පොදුවේ ගත්කල ජංගම ගිනුමේ ශේෂය පසුගිය වසරේ මුල් භාගය තුළ තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 1,148.4 ට සාපේක්ෂව මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,495.0 දක්වා 30.2% කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව විසින් ඉදිරිපත් කර ඇති දත්ත පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, 2025 පළමු භාගය තුළදී මෙරට ජංගම ගිනුමේ අඛණ්ඩ මාසික අතිරික්තයක් වාර්තා වී ඇති බවයි.
ඊට අමතරව, 2024 වසරේ අවසානයට සාපේක්ෂව, 2025 ජූලි මස අවසානය වන විට, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 3.2 කින් අවප්‍රමාණය වී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.




