ඒ අනුව, ට්‍රිලියන 1.2ක මුදලක් වත්මන් ආණ්ඩුව යටතේ මුදල් අච්චු ගසා ඇති බව යම් සංවිධානයක් විසින් ප්‍රකාශ කර ඇති බවත්, මේවා හිතාමතා හෝ නොදැනුවත්භාවය නිසා සිදු කරන ප්‍රකාශ බවත් අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දැන් පවතින තත්ත්වය අනුව, ආණ්ඩුවට මුදල් අච්චු ගැසීමට හැකියාවක් නොමැති බවත්, නීතිමය වශයෙන්ද එයට ඉඩක් නොමැති බවත්, එම නිසා එසේ සිදුකර නොමැති බවයි ඔහු පවසා සිටියි.
මහ බැංකුව විසින් පාලනය කරන සංචිත මුදල් හරහා මුදල් ප්‍රසාරණය වීම සිදු වී ඇති බවද, එය ආණ්ඩුව විසින් මුදල් නෝට්ටු අච්චු ගැසීමක් නොවන බවද, එය සම්පූර්ණයෙන්ම සමාජය නොමඟ යැවීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ලංකාවේ මේ වන විට සංචිත මුදල් ට්‍රිලියන 1.6ක් පවතින බවත්, එසේම පුළුල් මුදල් සැපයුම ට්‍රිලියන 15කට ආසන්න වී ඇති බවත්, පුළුල් මුදල් සැපයුමේ වර්ධනයක් සිදු වී ඇත්තේ මහ බැංකුවේ මැදිහත්වීම නිසා මිස, ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් නිසා නොවන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇති බවත්, 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදල බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය විසින් ඊයේ නිකුත්කර ඇති නිවේදනයක සඳහන් විය.
මුදල් අච්චු ගැහුවාට උද්දමනය වැඩිවෙන්නේ නෑ - නි. ඇමති ප්‍රසන්න
මේ අතර ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන පවසන්නේ, මුදල් අච්චු ගැසීමෙන් රටේ උද්දමනය වැඩිවීමක් සිදු නොවන බවයි.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (18) කටුබැද්ද ලංගම සංචාරක ඩිපෝ පරිශ්‍රයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.
මුදල් අච්චු ගැසීමෙන් උද්දමනය වැඩි වීමක් වන්නේ නම් දැන් උද්දමනය වැඩි විය යුතු බවත් මේවනවිට උද්ද්මනය අඩුවී ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම කොටස් වෙළඳපොළ ඉතිහාසයේ පළමු වරට 20,000 ඉක්මවා ගොස් ඇති බවත් සමස්ථයක් ලෙස ගත්කළ රටේ ආර්ථිකය ස්ථාවර වී ඇති බවද ඔහු පවසා සිටියේය.
පසුගිය මාස කිහිපය තුළ රුපියල් ත්‍රිලියන 2.3ක රාජ්‍ය ආදායමක් ලබා ඇති බවත් ඔහු සඳහන් කළේය.
රජය භාරගන්නා විට සම්පූර්ණයෙන්ම බිමට වැටී තිබූ ආර්ථිකය මේවනවිට කෙළින් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.




