ත්‍රිකුණාමයේ කුප්‍රකට ‘ගන්සයිට්’ භූගත වධකාගාරය නිරීක්ෂණයෙන් අනතුරුව එහි ක්‍රියාත්මක වන විශේෂ බුද්ධි ඒකකය නම් කණ්ඩායමක් විසුරුවා හරින ලෙස ඉල්ලා එවක අධ්‍යක්‍ෂ, නාවික බුද්ධි ලෙස නිශාන්ත උළුගේතැන්න විසින් නාවික හමුදාපතිවරයාට යවන ලද බව පැවසෙන ලිපියේ පිටපතක් නාවික හමුදාව විසින් ලබා දී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
එම ලිපියේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසාන්ත ප්‍රනාන්දු දෙවැනි වතාවටත් නාවික හමුදාවට නියෝග කර ඇත්තේ අතුරුදහන් කරන ලද අයකු පිළිබඳව රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නාවික හමුදාපති ඇතුළු නිලධාරීන් පස් දෙනකුටත් පොලිසියේ හය දෙනකුටත් එරෙහි නඩුව විභාග කරමිනි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට එම දැනුම් දීම කළේ පුද්ගලයකු අතුරුදහන් කිරීම සම්බන්ධ විමර්ශනයකට අදාලව රහස් පොලිසිය විසින් මාසයකට ඉහතදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඉන්නා හිටපු නාවික හමුදාපති අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න යළි අගෝස්තු 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ය.
හිටපු නාවික හමුදාපතිවරයාට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බැවින් ඔහු මෙම නඩුවෙන් මුදා හරින ලෙස අද්මිරාල් උළුගේතැන්න වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මහේෂ් ක්‍රිෂාන්ත මහේස්ත්‍රාත් වරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න එයට විරුද්ධත්වය පළ කළාය.
නීතිඥවරිය ප්‍රකාශ කළේ විමර්ශන තවමත් සිදුකෙරෙන නිසා සැකකරු නිදහස් කිරීම යෝග්‍ය නොවන බවයි.
පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසාන්ත ප්‍රනාන්දු නියෝග කළේ, කෑගල්ලේ ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ 'ගන්සයිට්' නාවික වධකාගාරයේ රඳවා තබාගෙන අතුරුදහන්කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න සැප්තැම්බර් 10 තෙක් රිමාන්ඩ් කිරීමටයි.
ශාන්ත සමරවීර රැදවා සිටි ගන්සයිට් වධකාගාරයේම රඳවා සිටි තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනාගෙන් කිහිප දෙනකුගේ මව්පියන්ද අද නීතිඥ අචලා සෙනෙවිරත්න සමග පොල්හහවෙල අධිකරණයට පැමිණ සිටියේය.
ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් 'ගන්සයිට්' නාවික වධකාගාරයේ රඳවා තබාගෙන අතුරුදහන් කිරීමට අදාලව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලද්දේ පොලිස් සැරයන් 38640 බණ්ඩාර, පොලිස් සැරයන් 37611 රාජපක්ෂ හා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ යන නිලධාරීන්ය.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිවේදනය කර ඇති පරිදි 2009 වසරේ යුද්ධය අවසාන වීමත් සමග අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වසර තුනකට අධික කාලයක් නාවික බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කර ඇත.
2010 ඔක්තෝබර් 1 වැනිදා අධ්‍යක්‍ෂ නාවික බුද්ධි වශයෙන් පත්වීම් ලැබීමෙන් අනතුරුව එවකට නාවික හමුදාපති වු අද්මිරාල් සෝමතිලක දිසානායකගෙන් ගත් ලිඛිත අවසරය මත ත්‍රිකුණාමලයේ ගන්සයිට් කඳවුර බැලීමට ගිය බව සිරිසෝම උළුගේතැන්න දැනුම් දුන්නේයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 30 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුනි.
ඒ වන විට එහි පුද්ගලයන් 40 - 60 ත් අතර පිරිසක් රදවා සිටි බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම් දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජුලි 28 වැනි දා අත්අඩංගුවට ගෙන තිබුනේ 2010 ජුලි 22 දා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන එයින් දින කීපයකට පසු අතුරුදහන් කරන ලද ගනේරාලලාගේ ශාන්ත සමරවීර රඳවා සිටි බව හෙළිවී ඇති ගන්සයිට් නාවික හමුදා වධකාගාරය ඒ සමයේ නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වූ නිශාන්ත උළුගේතැන්න යටතේ ක්‍රියාත්මක වූ නිසාය.
ත්‍රිකුණාමලයේ භුගත ගන්සයිට් කඳවුර තමා බාරයේ පැවැතියත් එහි විශේෂ බුද්ධි ඒකකය නමින් හැදින්වෙන ඒකකයක් ක්‍රියාත්මක වු අතර එය නාවික හමුදා බුද්ධි අංශය විසින් මෙහෙයවන ලද ඒකකයක් නොවන බව දමිත් නිශාන්ත සිරිසෝම උළුගේතැන්න පවසා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය නඩු වාරයේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සදහන් ව තිබුනි.
නාවික හමුදාවේ බුද්ධි අංශයට සම්බන්ධ නොවුයේ යැයි පවසන එම බුද්ධි ඒකකයට එවකට කොමදෝරු ඩී.කේ.පී. දසනායක නියෝග දුන් බවත් නාවික හමුදා සාමාජිකයන් වන රණසිංහ, පොඩි කුමාර, ලොකු කුමාර, රත්නායක, සඳමාලි හා කෞශල්‍යා යන සිව් දෙනා ඔහු යටතේ සිටි අතර එම විශේෂ බුද්ධි ඒකකය තමන් විසින් විසුරුවා හරින ලද බවට අද්මිරාල් උළුගේතැන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දී ඇත.
2008-09 සමයේ තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් ත්‍රිකුණාමලයේ ගන්සයිට් කඳවුරේ සිරකොට, තැබීම ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිස් නිලධාරීන්ට අවුරුද්දකට ආසන්න කාලයක් ගන්සයිට් කඳවුරේ රඳවා සිටි නාවික හමුදා බුද්ධි නිලධාරියකු වන බස්නායක මුදියන්සේලාගේ විජයකාන්ත් නොහොත් පොඩි මල්ලි පවසා තිබුනේ ශාන්ත සමරවීර තමන් සමගම සිරගතකොට සිටි බවයි.
ඉබ්බාගමුව ප්‍රදේශයේ ප්‍රගීත් නිසංසල විතානාරච්චිද ඒ සමග සිටි බව පොලිසිය වැඩි දුරටත් හෙළි කොටගෙන තිබුණි.
කෑගල්ලේ ශාන්ත සමරවීර පැහැරගෙන ගොස් ත්‍රිකුණාමලයේ 'ගන්සයිට්' නාවික වධකාගාරයේ රඳවා තබාගෙන අතුරුදහන්කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උලුගේතැන්න සම්බන්ධයෙන් පැවැති පසුගිය නඩු විභාගයෙන් අනතුරුව එයට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිදු කළ ප්‍රකාශයකින් විමර්ශන නිලධාරීන්ට, වින්දිතයන්ට බලපෑමක් එල්ල වු බවට වින්දිතයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කර තිබුනි.
ඒ සම්බන්ධයෙන්ද මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගෝස්තු 27 වැනිදා පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.




