මීගමුව බන්ධනාගාරය සහමුලින්ම හිස් කිරීමට මෙහෙයුම්; බස් ඇතුළෙත් යළි නොසන්සුන්තාවයක්
"කෙහෙල්බද්දර පද්මේගේ ලොක්කෝ බූස්සට කොටු කරයි"
මියගිය රැඳවියා ගැටුමට කලින් ආ අයෙක් කියමින් වැලිකඩ වදහිංසා මරණ චෝදනාව බන්ධනාගාර ලොක්කෝ ප්‍රතික්ෂේප කරති
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ බිහිසුණු ලේවැකි කැරැල්ලෙන් අනතුරුව, එම බන්ධනාගාරය සහමුලින්ම හිස් කර එහි සිටින රැඳවියන් 500කට ආසන්න පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දැනට වසා දමා ඇති මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රය වෙත රැගෙන යාමට බන්ධනාගාර පාලනාධිකාරිය හදිසි සැලසුම් සකස් කරමින් සිටී.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට ආරක්ෂක හේතූන් මත බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත වහාම මාරු කර යැවූ රැඳවියෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (08) උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක තහවුරු කළේය.
මීගමුවෙන් බූස්සට මාරු කළ රැඳවියෙකු කරාපිටියේදී මියයයි
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම මෙහෙයවූ බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන "කෙහෙල්බද්දර පද්මේ" නමැත්තාගේ සමීපතමයෙකු ඇතුළු දරුණු ගණයේ රැඳවියන් 13 දෙනෙකු සහ සාමාන්‍ය රැඳවියන් 55 දෙනෙකු පසුගිය 06 වැනිදා රාත්‍රියේම බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබිණි.
කරාපිටියේ හදිසි මරණය:
මෙලෙස බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙකු අද උදෑසන හදිසියේ අසනීප වීම නිසා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මීගමුව ගැටුම මෙහෙයවූ තවත් ප්‍රධාන සැකකරුවෙකු වන "කටුවැල්ලේගම සුරේෂ්" ද දැනට බූස්ස බන්ධනාගාරයේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටී.
වැලිකඩට රැගෙන ආ රැඳවියෙක් වදහිංසාවට ලක්ව මැරුණා ද?
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කර යැවූ රැඳවියෙකු එහිදී දරුණු ලෙස කායික වදහිංසාවලට ලක්වීම හේතුවෙන් බන්ධනාගාර රෝහල තුළදී පහරකෑමෙන් මියගොස් ඇති බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව බරපතළ චෝදනාවක් එල්ල කරයි.
සුදේශ් චන්දිමාල්ගේ චෝදනාව:
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් චන්දිමාල් ප්‍රකාශ කරන්නේ, මීගමුව ගැටුමෙන් පසු වෙනත් සිරගෙවල් වෙත විසුරුවා හරින ලද රැඳවියන් එම පරිශ්‍රයන් තුළදී බන්ධනාගාර නිලධාරීන්ගේ දරුණු පළිගැනීම් සහ වදහිංසාවලට ලක්වන බවයි.
දෙපාර්තමේන්තුව චෝදනාව ප්‍රතික්ෂේප කරයි:
කෙසේ වෙතත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම වදහිංසා මරණ චෝදනාව සහමුලින්ම ප්‍රතික්ෂේප කරයි. මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මියගොස් ඇත්තේ මීගමුව ගැටුම හටගැනීමට දින 6කට පෙර (ගැටුමට කිසිදු සම්බන්ධයක් නැති) වෙනත් අසනීප තත්ත්වයක් මත වැලිකඩ රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙකු බවයි.
මීගමුව බන්ධනාගාරය සහමුලින්ම හිස් කරයි
කැරැල්ලෙන් පසු මීගමුව බන්ධනාගාරය තවදුරටත් රැඳවියන් රඳවා තැබීමට නොහැකි ආරක්ෂිත මට්ටමකට පත්වීම නිසා එය සහමුලින්ම හිස් කිරීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.
කෝටි 10ක දේපළ විනාශයක්:
කලහකාරී රැඳවියන් විසින් බන්ධනාගාරය ඇතුළත තිබූ වටිනා ආරක්ෂක රූපවාහිනී (CCTV) පද්ධතිය, ඖෂධ සහ බෙහෙත් ගබඩාව, ශරීර පරිලෝකන යන්ත්‍ර (Body Scanners), ප්‍රධාන කාර්යාල පද්ධතිය සහ මූලික ගබඩාව ඇතුළු ප්‍රධාන ස්ථාන රැසක් සහමුලින්ම තලා විනාශ කර ඇති අතර, එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 10කට වඩා අධික බව බන්ධනාගාර උසස් නිලධාරියෙක් අනාවරණය කළේය.
බස් රථ ඇතුළතත් නොසන්සුන්තාව:
රැඳවියන් 1,033කට අධික පිරිසක් අඟුණකොළපැලැස්ස, බෝගම්බර, අනුරාධපුර, පොළොන්නරුව සහ කුරුවිට යන බන්ධනාගාර වෙත දැනටමත් සීසීකඩ විසුරුවා හැර ඇත. මෙලෙස රැඳවියන් බන්ධනාගාර බස් රථවලට නංවාගෙන යද්දී, බස් රථය ඇතුළත ද පිරිසක් යළිත් නොසන්සුන් ලෙස හැසිරීම නිසා වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ ඔවුන් වෙනත් බස් රථවලට මාරු කර දැඩි ආරක්ෂාව මැද රැගෙන යාමට පියවර ගෙන තිබේ.
සෙසු බන්ධනාගාරවල මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද (08) පෙරවරු 7.30ට හදිසියේම කොළඹට කැඳවා අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් විශේෂ උපායමාර්ගික සාකච්ඡාවක් මේ වන විට පවත්වමින් සිටී.




