The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස

Awara

Awara

October 5, 2026 • 12:46 PM

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 22 වැනි ආණ්ඩුක්‍රම පනත් කෙටුම්පතට විරුද්ධ පාර්ශවයන් විසින් ඒ සම්බන්ධයෙන් පවසන ලද්දේ කුමක්ද? එයද සටහන් කොට තැබීම අනාගතය උදෙසා කළ යුත්තකි.
  • එසේම දේශීය සහ විදේශීය අනෙකුත් නීති ප්‍රජා සංගම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන, සිවිල් සංවිධාන ද ඇතුළු බොහෝ පාර්ශව විසින් දිගින් දිගටම අවධාරණය කරන ලැබුවේ විනිසුරු වයස ඉහළ දැමීමෙන් සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අර්බුදයකට ගමන් කළ හැකි බවයි.
  • UN අනතුරු ඇඟවීම එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත ආයතනයක් විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම ක්‍රියාව හෙලා දැකීමට ලක් කරනු ලැබු අතර, විනිසුරු වයස් සිමාව ඉහළ දැමීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටත් අනතුරු අඟවනු ලැබුණි.
  • එය පහසුවෙන් බැහැර කළ හැකි තර්කයන් නොවන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ සිදුවෙමින් තිබෙන එහෙත් සිදු නොවිය යුතු දේශපාලන මැදිහත්වීම් සහ ඇතැම් වෙනස්කම් දෙසද බලන විටය.
අකුරු ප්‍රමාණය (Font Size):

22 වැනි ආණ්ඩුක්‍රම පනත් කෙටුම්පතට විරුද්ධ පාර්ශවයන් විසින් ඒ සම්බන්ධයෙන් පවසන ලද්දේ කුමක්ද? එයද සටහන් කොට තැබීම අනාගතය උදෙසා කළ යුත්තකි.

අදාල යෝජනාවට සහ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ අදහස් දක්වන ලද  විපක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL), ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ සියළුම මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය ( JSA) ඇතුළු අනෙකුත් පාර්ශව පෙන්වා දුන්නේ නඩු ප්‍රමාදය අවම කිරීම සඳහා වන යෝජනාවන්ට එය ප්‍රායෝගික විසඳුමක් නොවන බවයි. එසේම දේශීය සහ විදේශීය අනෙකුත් නීති ප්‍රජා සංගම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතායතන, සිවිල් සංවිධාන ද ඇතුළු බොහෝ පාර්ශව විසින් දිගින් දිගටම අවධාරණය කරන ලැබුවේ විනිසුරු වයස ඉහළ දැමීමෙන් සමස්ත අධිකරණ පද්ධතියම දැඩි අර්බුදයකට ගමන් කළ හැකි බවයි. අදාල යෝජනාව හෝ ව්‍යවස්ථා සංශෝධනය මඟින් ගොඩගැසි ඇති නඩු ප්‍රමාණය කඩිනමින් විසඳීම සඳහා  ප්‍රායෝගිකව කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙන බවත්, සැබවින්ම එයින් සිදුවන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සහ විනිසුරු භූමිකාව දේශපාලනිකරණයට නතු වීම බවත් ඔවුහු පෙන්වා දුන්හ.

UN අනතුරු ඇඟවීම

එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිත ආයතනයක් විසින්  නිවේදනයක් නිකුත් කරමින් මෙම ක්‍රියාව හෙලා දැකීමට ලක් කරනු ලැබු අතර, විනිසුරු වයස් සිමාව ඉහළ දැමීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටත් අනතුරු අඟවනු ලැබුණි.

Margaret SatterthwaiteMargaret Satterthwaite

අගෝස්තු 07දා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක්  යොමු කළ විනිසුරු සහ නීතිඥ ස්වාධිනත්වය පිළිබඳ  එක්සත්  ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය වන මාග්‍රට් සැටර්ත්වයිට් (Margaret Satterthwaite) අනතුරු අඟවා තිබුණේ ශ්‍රී ලංකා රජය විසින් අදාල සංශෝධනය ක්‍රියාත්මක කරනු ලැබුව හොත් එය අධිකරණ පද්ධතියේ ස්වාධිනත්වයට මෙන්ම ඒ පිළිබඳව පුරවැසියන් සතුවන විශ්වාසය ට ද හානි පැමිණිය හැකි බවට යි. එමෙන්ම සේවයේ නිරත විනිසුරුවරුන්ගේ විශ්‍රාම ධුර කාලය විනිවිදභාවයෙන් සහ සියළු පාර්ශවවල දායකත්වය සහිත  ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් හෝ තොරව කඩිමුඩියේ වෙනස් කිරීමට යාමෙන් ගැටලු රැසක් ඇති විය හැකි බවටත්, එම ක්‍රියාවලිය තුළින් විධායකය ට  සහ ව්‍යවස්ථාදායකය ට  අධිකරණයේ බලයට අනිසි ලෙස මැදිහත් වන්නට හැකි වන බවටත් විශේෂ නියෝජිතවරිය සිය ලිපිය මගින් පෙන්වා දී තිබේ.

එය පහසුවෙන්  බැහැර කළ හැකි තර්කයන් නොවන්නේ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධිකරණ   පද්ධතිය තුළ සිදුවෙමින් තිබෙන එහෙත් සිදු නොවිය යුතු දේශපාලන මැදිහත්වීම් සහ ඇතැම් වෙනස්කම් දෙසද  බලන විටය.  

ආණ්ඩුව කුමක් පැවසුවද  අවසාන වශයෙන් සිදුවන්නේ   විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අත්තනෝමතික බලයට අධිකරණ පද්ධතිය යටපත් වීම මිස වෙනත් දෙයක් නොවේ. අනෙක් පසින්  විනිසුරන් සහ අධිකරණ පද්ධතිය පිළිබඳව ඇති අවම හෝ මහජන විශ්වාසය බිඳවැටීමකට ලක්වීම ද නොවැලැක්විය හැකි එකක් වන්නේ ය. මන්ද සෑම තීන්දුවක්ම නෛතික සීමාවකට යටත් වනවා සේම එම තීන්දුවෙන් සමාජය සදාචාරාත්මක  භාවිතයකට හුරු කරන්නේ ද එසේ නොවන්නේ ද යන වගද පෙන්නුම් කෙරෙන බැවිනි.

මහ උසාවියේ තීන්දුවෙන් පසු රටේ ඉරණම?

මේ සියල්ල අතරින්   සැලකිල්ලට බඳුන් කළ යුතු වන්නේ  පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කවර නම් තීන්දුවත් ලබා දුන්නද , පාර්ලිමේන්තුවේ බහුතර බලයෙන් සම්මත  කෙරුන ද  ඉන් අනතුරුව එය  රටේ ඉදිරි අධිකරණ සහ නෛතික  ව්‍යුහයටත්, ව්‍යවස්ථාපිත ආයතන පද්ධතියටත්  කවර නම් බලපෑමක් කරන්නේ ද යන වග විමසා බලන්නටයි.

විශේෂයෙන්ම මතුව තිබෙන තත්වය රටේ පොදු මහජනයා කෙරෙහි කවර නම් බලපෑමක් සිදු කරන්නේද, ඔවුන් එය කෙසේ අවබෝධ කොට ගෙන සිටින්නේ ද,   යන වග ද මෙහිදී වැදගත් කාරනා ලෙස සැලකිය යුතුව තිබේ.

පනත් කෙටුම්පත  හෝ පනත  සමඟ මේ තාක්  රටේ සාමාන්‍ය ජනයා බන්ධනයක් ඇති කර ගෙන නොමැති බවට තර්ක විතර්ක අවශ්‍ය නොවේ. ඒ බන්ධනය පාර්ලීමේන්තු වටරවුමේ පැවති දේශපාලන විරෝධතාවලින් හෝ එයට ප්‍රතිවිරුධ විරෝධතාවලින් හෝ ගණනය කළ නොහැකිය.

පනත් කෙටුම්පතට විරුද්ධව පෙල ගැසුණු  බොහෝ පාර්ශව විශේෂයෙන්ම නීතිඥ ප්‍රජාවද  කටයුතු කළේ සාමාන්‍ය ජනයා අතරට නොයා තෝරාගත් පිරිසක් ඉදිරියේ කරුණු දැක්වීමට පමණක්  සීමා වෙමිනි. අවම වශයෙන් ඔවුන් තම කණිෂ්ඨ නීති වෘත්තිකයන්,  නීති සිසුන් මෙන්ම උසස් අධ්‍යාපනයෙන් අනතුරුව රටේ සමාජ දේශපාලන සහ වෘත්තීය තත්වයන් හා  සම්බන්ධ වීමට   සිටින විශ්ව විද්‍යාල සිසු සිසුවියන් වැනි පාර්ශව හෝ මෙයට සම්බන්ධ කරගනු අප දුටුවේ නැත.

යම් හෙයකින් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනුමතව  පාර්ලිමේන්තුව  විසින් සම්මත කරනු ලැබුව හොත්  හෝ එය එසේ නොවී  ජනමත විචාරණයකින් ද නොඑසේ නම් එම දෙයාකාරයටම යටත්ව හෝ සම්මත කරනු ලැබුව හොත් හෝ ඉන් අනතුරුව කුමක් කළ යුතු වන්නේ දැයි උපකල්පනය කරමින් නිශ්චිත මතයක්, අවධානයක් නීති ප්‍රජාවද ඇතුළු මෙයට විරුද්ධ පාර්ශවයන් සතුව පැවතියේ දැයි කියන්නට තරම් සාධනීය කරුණු නොමැත. එය  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලද්දේ ද කවරාකාරයකට ද, නොඑසේ නම් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද්දේ කෙසේද යන වග පසෙක ලා බැලුවද   අවසානයට  එය බලපාන්නේ රටේ නීති පද්ධතියට නම් ඒ පිළිබඳව අවබෝධයක් රටේ පුරවැසියන් සතු විය යුතුමය. මන්ද යත් ආණ්ඩුව විසින් තරයේම පවසන පරිදි  අදාල යෝජනාව සහ එය  බලාත්මක කිරීම සඳහා ගෙනෙනා පනත් කෙටුම්පත සෘජුවම ක්‍රියාත්මක වන්නේත්, ඈඳී ඇත්තේත් රටේ ජනතාවගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා සමඟ ය. එනම් නඩු විසඳීම සහ අධිකරණ තදබදය අවම කිරීම සඳහා  ය.

ජනමත විචාරණය ද? කෙටුම්පත හකුලා ගැනීම ද?



පනත් කෙටුම්පතට විරුද්ධ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ පාර්ශව විසින් දැඩිව ඉල්ලා සිටිනු ලැබුයේ  පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යටත් විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එය කෙටුම්පතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරන ලද සියළු පාර්ශවයන් විසින් මතුකරන ලද තර්කයකි. අනෙක් පසින් ඒ සියල්ලන්ම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට  විරුද්ධ වන බවත් එමගින් අධිකරණයේ සැබෑ අර්බුදයට විසඳුම් නොලැබෙන බවත් තර්ක කෙරිණි.

‘ජනමත විචාරණයකින් ජනතාවගේ අනුමැතිය ලැබිය යුතු නැති’ බවට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීරණය කරනු ලැබ මාලිමාන්ඩුවේ සමස්ත මන්ත්‍රී මණ්ඩලයේම ඡන්දයෙන් දැන් පනත් කෙටුම්පත සම්මතය.

එනිසාම ජනමත විචාරණ තර්කනය අදාල නොවෙතත් නීතිඥ ප්‍රජාව සහ පනත් කෙටුම්පත සම්මත වන්නට නම් ජනමත විචාරණයක් අවශ්‍යම බව පැවසු පාර්ශවවල මතය අනුව යමින් යම් හෙයකින් එය ජනමත විචාරණයකට ලක් කරන්නට සිදුවුයේ නම් යන උපකල්පනය මත මෙය මදක් විමසා බලන්නට කැමැත්තෙමි.

ජනමත විචාරණයට 22 ගියා නම්

යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් වගන්තියක් හෝ කිහිපයක් හෝ උල්ලංඝනය වන්නේ නම් නොඑසේ නම් සෘජුවම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් යටතට වැටෙන්නක් නම් හෝ එය අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යටත් කළ යුතු බව නෛතික කරුණකි. නමුත් ගැටලුව එය නොවේ. යම්  පනත් කෙටුම්පතක් නුසුදුසු බවට  අධිකරණය හමුවේ තර්ක කොට එයට විසඳුමක් ලෙස  අධිකරණයෙන් පිටතදි  ජනමත විචාරණයකට හසුකර සුදුසු එකක් බවට පත් කර ගන්නේ කෙසේද යන වගයි. එය බැලු බැල්මට පරස්පර එකක් වනවා පමණක්ම නොව අතිශය දෙබිඩි පිළිවෙතකි. එය සමාන වන්නේ ත්‍රස්ත මර්දන පනත (PTA)  වැනි අති භයංකාර පනතකට විරුද්ධ මතයක් දරණ අතරම එයට සළු පිළි අන්දවා හැඩ දමා  ජාත්‍යන්තර ප්‍රතිරූපයට ගැලපෙන සේ සංශෝධනය කරන්නැයි කරන ඉල්ලීමක් වැනි දෙයකට ය. දේශපාලන උවමනාවන් මත ගෙනෙන ලද  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්  අධිකරණය සහ සමස්ත යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයම ආපස්සට හැරවිය නොහැකි ලෙස අර්බුදයට ගමන් කරවන්නේ නම්, උගත් නීති ප්‍රජාවේ සහ විද්වතුනගේ හඬ සහ වගකීම විය යුතුව තිබුණේ  එය ජනමත විචාරණයක් වෙත  තල්ලු කිරීම නොව සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා ලෙස බලපෑම් සහගත ක්‍රියාවලියකට යෑමයි.

එසේත් නොවන්නේ නම් යම් හෙයකින් පනත් කෙටුම්පත සම්මත වුව හොත් ඉන් අනතුරුව කුමක් කරන්නේ ද යන වග සහිත විකල්ප ක්‍රමවේදයන් තෝරා ගෙන සිටීමයි.

ජනමත විචාරණයක් අවශ්‍ය යයි හෝ එසේ කරන්නැයි පවසා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළ පමණින් හෝ සියල්ල යහපත් වන්නේ නැත. සැබෑ අර්බුදය ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ඒ වනාහි, විධායකය යටතට සෘජුව හෝ අනියමින් හෝ අධිකරණ පද්ධතිය නතුවී අවසන් වීමෙනි. ජනමත විචාරණයක් යනු මැතිවරණයක්ම නොව එය නිශ්චිතව විමසන එක් කරුණක් සම්බන්ධයෙන් සලකුණු දෙකක් යටතේ කැමති හෝ අකමැති බව ප්‍රකාශ කිරීමකි. ඒ සඳහා සක්‍රියව දායක වන්නේ රටේ පුරවැසියන් බැවින් ඔවුන්ට ඒ පිළිබඳව අවබෝධයක් හෝ දැනුවත්භාවයක් තිබිය යුතුය. කෙටුම්පතට විරුද්ධව පෙත්සම් ගොනු කොට ජනමත විචාරණයක් ඉල්ලා සිටින නීති  ප්‍රජාව පුමුඛ පිරිස් ඒ සඳහා පෙර සුදානමකින් සිටියේ  ද? යම් හෙයකින් කෙටුම්පත ජනමත විචාරණයකට තබන්නට සිදුවුව හොත් එයට විරුධව නොකැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා රටේ පුරවැසියන්ව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කොට ති‌බුණි ද? එවැනි කිසිවක් නොමැත.

එක රැයින් රටපුරා පෝස්ටර් ගසන්නට මෙන්ම එක කොල කෑල්ලකින් රටක් වසා දමන්නටත් සමත් දේශපාලනයක දශක ගණනාවක් යෙදී, ළඟ ළඟ මැතිවරණ දෙකක්ම දිනා තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ඇති පක්ෂයක් සමග ‘ඔව්-නෑ’ ඡන්ද සටනක් කරන්නට ඔය විද්වත්, ප්‍රජාතන්ත්‍රකාමී, ව්‍යවස්ථා භූෂණ, නීතියේ ආධිපත්‍යධාරී,  බලය වෙන්ව තබා ගැනීම් වාදී මහත්ම, මහත්මීන්ට පෙර සුදානමක් තිබුණිද?

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඇතුළු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන හා ගැටෙන පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට හසුකරන්නැයි මේ තාක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති කවර නම් නියෝගයක් ව්‍යවස්ථාදායකය විසින් ක්‍රියාත්මක කර තිබේද?  1982  සුප්‍රකට ලාම්පු කළ ගෙඩි සෙල්ලමෙන් පසුව ලංකාවේ පැවති ජනමත විචාරණය කුමක්ද? එවැනි පනත් කෙටුම්පත් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත යොමු කොට ඇතත් ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කුමක් සිදුවූවා දැයි කියන්නට කිසිවකුත් නොදනී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(4) වගන්තියේ මෙසේ දැක්වෙයි.

" යම් පනත්  කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධාන හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල යයි තීරණය කරනු ලැබ ඇත්තා වූ හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනූකූල යයි තීරණය කරන සේ සැලකෙන්නා වූ අවස්ථාවක ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධාන හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශ කර ඇති ආකාරයට හැර  සම්මත  කොකළ යුත්තේ ය".

එහෙත් අධිකරණ තීන්දු  ප්‍රකාශ වන්නටත් පෙර ඒ සම්බන්ධයෙන් ඉඟි පළ කරන ලද  විධායකයට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන   සහ නියමයන් වැදගත් වේවී ද? ඒ ගැන ව්‍යවස්ථාව හීං කෙඳිරියක්වත් නගන්නේ නැත.

අප අමතක නොකළ යුතු වැදගත්ම දෙය මෙයයි. මේ පාර්ලිමේන්තුව, එහි නියෝජනය සහ එහි දේශපාලන බලාධිකාරිත්වය ඉතිහාසයේ සිට මේ දක්වාම බලය  දරණ ලද සියළු පක්ෂ , මහජන නියොජ්තයන් ආදි සියල්ලන්ම   සියළු ආකාරයේ මර්දනකාරි අණපනත්වලට අත ඔසවා ඒවා  රටේ නීති බවට පත් කරන්නට  තර්ක විතර්ක පෑ අයවලුන් බවයි. එනිසාම අද මෙයට විරුද්ධ වුණු පාර්ශව හෝ මහජන නියෝජිතයන් හෙට දවසේදී මෙයටත් වඩා  බිහිසුණු අණ පනත් රැගෙන එන්නට පුලුවන. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කරන බව කියා බලය ගත් මේ මොහොත වන විටත් මාලිමා ආණ්ඩුව  "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත" ඉදිරිපත් කොට තිබෙන අතර, අධිකරණයේ ස්වාධීනත්වයට  කෑගසන බොහෝ පාර්ශවයන් ත්‍රස්ත පනත සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේ දැයි අප බලා සිටින්නෙමු. මන්ද එම පනත්  කෙටුම්පත සෘජුවම මේ රටේ දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් ඉලක්ක කරනා පනත් කෙටුම්පතක් වන බැවිනි. සුදු කරපටි  මහත්වරුනේ, ඔබ ඔබේ හෘදය සාක්ෂියේ දිග පළළ එය පරාජයට පත් කරන්නට අත ඔසවන්නේ දැයි  අපට පෙන්වන්න.

ත්‍රස්‌තවාදය වැළක්වීමේ පනතත් රටේ සම්මත නීතියක් බව මෙහිදී සිහිපත් කරගනු වටින්නේ නීතියක් වූ පලියට ඒ හැමෙකටම එකඟවන්නට නීතිගරුක පුරවැසියන් බැඳී නැති හෙයිනි. සිවිල් නීති කැඩීම නම් ජනසම්මත විරෝධතා විධික්‍රමයක් ජගත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවේ ඇත.

නෛතික  සාක්ෂරතාවයක් නැති පුරවැසි සමාජයක ජනමත විමසුම ඉරණම



ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සාක්ෂරතාවය 90% ආසන්න හෝ ඉන් මදක් වැඩි අගයක තිබුණද නෛතික සාක්ෂරතාවය නම් පවතින්නේ අතිශය පහළ පසුගාමි මට්මකය. යමක් කියවා බලා හෝ අසා දැනගෙන තේරුම්ගත හැකි මට්ටමින්  රටේ සමස්ත ජනගහනයෙන් කවර නම් සංඛ්‍යාවකට රටේ නීති පද්ධතිය පිළිබඳව, පුරවැසියන් සතු අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් භාවයක් තිබේද? පොලිසිය, අධිකරණය හෝ වෙන යම් රාජ්‍ය ආයතනයකට ගොස් සේවයක් ලබා ගැනීම හෝ තමන්ට හිමි අයිතිවාසිකම් පිළිබඳව කතා කොට සේවය සලසා ගන්නට හැකි මට්ටමේ නීතිමය දැනුවත් භාවයක් තිබෙන්නේ රටේ පුරවැසියන්ගෙන් කීයෙන් පංගුවකට ද? ඉතා සංකීර්ණ නීති විග්‍රහ එයට අවශ්‍ය නැත. බස් රථයක ටිකට්ටුවක් ඉල්ලා එය නොදුන් පසුව හෝ වෙළඳ සැලකට ගොස් ඉතිරි මුදල වෙනුවට කඩ හිමියා දෙන ටොපිය ප්‍රතික්ෂේප කොට එයට එරෙහිව තම පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්නට දන්නේ රටේ පුරවැසියන්ගෙන් කී යෙන් කී දෙනාද?

අත්අඩංගුවේදි මරා දමන, වධහිංසාවට ගොදුරු වන, අනීතිකව සිරගත කරන, අතුරුදහන් කරන තම සමීපතමයන් වෙනුවෙන් මේ රටේ නීතිමය අරගලයක පැටලී සිටින්නේ කී දෙනකු ද? රාජ්‍යයෙන් තමන්ට හිමි අන්සතු කළ නොහැකි සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳව දන්නේ සමස්ත ජනගහනයෙන් කී දෙනාද? අධිකරණයක් හමුවට ඉදිරිපත් කළ පමණික් විනිසුරුවරයාට හෝ තමන්ගේ මතයට අඟුලු ලා දැමිය නොහැකි බව, අනිතීකව දණ්ඩනයට පමුණුවිය නොහැකි බව දන්නේ  ඒ වෙනුවෙන් සටන් කරන්නේ කවරෙක්ද? රටේ නීතිය යනු, අධිකරණ  විනිසුරන්  හෝ පොලිසියවත් නොඑසේ නම් විධායකය ප්‍රමුඛ දේශපාලන තන්ත්‍රයවත් නොවන  බවට අවබෝධයක් ඇත්තේ ජනගහනයෙන් කියෙන් පංගුවකට ද?

ඒ බව හුදී ජනයාට තේරුම් කර දෙන්නට ගාස්තු අය නොකර පන්ති පවත්වා ඇත්තේ කවර නීතිඥ සංගමයද?

ව්‍යවස්ථාවක් යනු කුමක්දැයි තම ජීවිත කාලය පුරාම අසා නැති ඒ පිළිබඳව වගේ වගක් නැති ගැහැනුන්, මිනිසුන් කී ලක්ෂයක් මේ පොලොවේ ඉපදී,  මැරී යන්නේද? එවන් මිනිසුන් මතට මේ බර පටවමින් නීතිඥවරුන්, නීතී විශාරදයන්, ව්‍යවස්ථාදායකයේ විපක්ෂයේ පිරිස් සහ අවසානයේ අධිකරණයේ වියතුන් මේ කරන්නට තටමන්නේ කුමක්ද? අවසානයේ රටේ ජනතාව එය අනුමත කළ නිසා අපට කරන්නට දෙයක් නෑ යැයි පවසමින් අතපිසදා ගන්නට ද? මේ කරන්නට හදන්නේ දේශපාලකයන්ගේ  සහ නීතිය පිළිබඳ ප්‍රාමාණික දැනුමැති උගතුන්ගේ  පවු  රටේ ව්‍යවස්ථාවටම මුවා වෙමින් නීතිය පිළිබඳව කණ අත්සනවත් තබන්නට නොදන්නා මිනිසුන් පිට පටවා පැත්තකට වන්නද?

ලෝකෙන් උතුම් රටේ  ‘අයි නෝ ද ලෝ’

ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවය පෙන්වන මනා දර්ශකයක් පසුගිය වසරේදි ප්‍රකාශයට පත්ව තිබෙන අතර, එයට අනුව නීතිමය සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය අතින් මෙරට පුරවැසියන්  සිටින්නේ  අතිශයින්ම පහල මට්ටමක ය.

ජගත් යුක්ති ව්‍යාපෘතිය (World Justice project - WJP) වාර්තාවේ Rule of Law Index අගයට අනුව 2025 වසරේ ලොව රටවල් 143 කින් ශ්‍රී ලංකාව පසු වන්නේ 74 වන ස්ථානයේ ය. නමුත් එය ඇතැම් විෂයන් වලදි 140 ට ආසන්න වන පහල තැනකටද වැටී ති‌බෙන්නේ රටේ පුරවැසි හිමිකම් සහ නෛතික සාක්ෂරතාවය පිළිබඳව සැබෑ තත්වය පෙන්වමිනි.

එම දර්ශකයේ සිවිල් හා අයිතිවාසිකම්  ගෝලීය තත්වය තේමාවන් 8 ක් යටතේ දක්වා තිබෙන අතර, සාමාන්‍ය ජනතාවට තම සිවිල් අයිතිවාසිකම් සම්බන්ධයෙන් නෛතික ප්‍රවේශ වීමට ඇති හැකියාව සහ දැනුවත්භාවය සලකා බැලීමේ  දර්ශකයේ   ශ්‍රී ලංකාව පසුවන්නේ රටවල් 143 න් 70 වන තැනය.

පුරවැසින්ගේ එදිනෙදා නෛතික ගැටළු සමාන ප්‍රවේශයන් සහිතව සාධාරණව සහ දැරිය හැකි පිරිවැයක් යටතේ ලබා දිය යුතු බවට  තිබෙන හිමිකමෙන්  ශ්‍රී ලංකාව පසුවන්නේ  ලෝක දර්ශකයේ 111 වැනි ස්ථානයේ වන අතර, සිවිල් අධිකරණ පද්ධතියක් තුළ ජාතිය ,ආගම , කුලය , ස්ත්‍රි පුරුෂ සමාජභාවය හෝ දේශපාලය ද ඇතුළු කිසිදු වෙනස් කමකින් තොරව හිමිකම් ලැබීමට ඇති අයිතිය ද  ලෝක තත්වයට අනුව   සටහන් වී තිබෙන්නේ 117 වැනි ස්ථානයේ ය. එමෙන්ම යුක්තිය ඉටුකර ගැනීම සඳහා වන අධිකරණ ක්‍රියාවලියකදි  මුදලට හෝ වෙන යම් වරප්‍රසාදයන් මත නොවී   සියළු දෙනාට සම අයිතිය යටතේ හිමිකම් ලැබීමට අයිතියක් ඇති බවට වන  ගෝලීය දර්ශකය සටහන් ශ්‍රී ලංකාවේ නම සටහන්  වන්නේ 56 වන තැනය. රටේ පාලකයන්ට, රාජ්‍ය නිලධාරින්ට ,පොලිසිවලට අවශ්‍ය ආකාරයට අධිකරණ පද්ධතිය, නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහ පුරවැසි අයිතිවාසිකම් ආදියට සීමා පැනවිය නොහැකි  බවට වන තත්වය අනුව  ගෝලීයව අප රැඳී සිටින්නේ 70 වැනි තැනය. එමෙන්ම ශ්‍රී ලංකාවේ නෛතික සාක්ෂරතාවයේ ගෝලීය ස්ථානය 136 ලෙස සටහන්ව තිබෙන්නේ අධිකරණ ක්‍රියාදාමය තුළදි අනවශ්‍ය ප්‍රමාදයකින් හෝ බාධාවතින් තොරව යුක්තිය , සාධාරණය ඉටුකර ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳවයි.  අධිකරණය විසින් ලබා දෙන යම් නියෝගයක් යුක්තිය ඉටුකර ගැනීමේ ක්‍රියාවලියේ දි හුදු ලියවිල්ලකට සීමා නොවි එය ප්‍රායෝගිකව ඉටුවිය යුතු බවට වන විශ්වාසය සහ ඒ පිළිබඳව ඇති නීති රීති පිළිබඳව ඇති පුරවැසි ක්‍රියාකාරිත්වයෙහි දි අප සිටින්නේ 108 වැනි ස්ථානයේ ය.

22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මග පෑදුනු අධිකරණ තදබදය සහ නඩු ප්‍රමාදය පිළිබඳව ඇඳුණු දර්ශකයක් වන්නේ රටේ පුරවැසියන්ට තමන්ගේ ඇතැම් නෛතික ගැටලු සහ යුක්තිය ඉටුකර ගැනීමට ඇති ප්‍රවේශයන් අධිකරණය දක්වා නොගොස් වෙනත් ආයතනික සහ විකල්ප  ක්‍රමවේදයන්  ඔස්සේ විසඳා ගැනීමට හැකියාවක් පවතින බවට වන දැනුවත්භාවය යි. එහි අප සිටින්‌නේ  95 වැනි ස්ථානයේ ය.

අපරාධ විමර්ශන කාර්යයේදී ශ්‍රී ලංකාව  පසුවන්නේ 72 වැනි ස්ථානයේ වන අතර, එය සැකසි තිබෙන්නේ අපරාධ විමර්ශන සහ ඒ හා බැඳුනු අනෙකුත් ආයතනවල ක්‍රියාකාරිත්වය, එය කෙතරම් දුරට  නීතියට අනුව සහ මහජන විශ්වාසය ඇතිවන අයුරින් සිදු කරන්නේ ද යන තත්වය මතයි. මේ හැරුණු කොට    අපරාධ  විමර්ශන ක්‍රියාවලිය හා බැඳුණු අධිකරණය මගින් යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය , බන්ධනාගාරය  සහ සෙසු පුනරුත්ථාපන ආයතන පද්ධතින් තුළින් අපරාධ අවම වීම, යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ අපක්ෂපාතීත්වය යන අංග කෙරෙහි ගෝලිය දර්ශකයේ ශ්‍රී ලංකාව රැඳි සිටින්නේ පිළිවෙලින් 119, 83  සහ 87 වැනි ස්ථානයේය. ඒ හැරුනු විට දුෂණයෙන් තොර අපරාධ විමර්ශන ක්‍රියාවලියක් අතර අප සිටින්නේ ගෝලීය වශයෙන් 56 වැනි ස්ථානයේ වන අතර රජයේ ආයතනවල අනිසි මැදිහත්වීමෙන් තොරව ස්වාධීනව යුක්තිය ඉටුකර ගැනීම සම්බන්ධයෙන් එම දර්ශකය 79 වැනි තැන ගනු ලබයි. 2025 වසරේ WJP ගෝලීය දර්ශකයට අනුව අපරාධ  යුක්ති ක්‍රියාවලියේදි බලපාන්නා වු නිසි ක්‍රියාදාමය සහ සැකකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ දී ශ්‍රී ලංකාව රැඳි සිටින්නේ 113 වැනි ස්ථානයේ ය.  

මෙම දත්ත අදාල විෂයන් සහ එම විෂයන් ක්‍රියාත්මක කිරීමට සිටින ආයතන වල ක්‍රියාකාරිත්වය සමඟ බැඳුණු ඒවා මුත් මින් පෙන්වන්නේ ඒ සම්බනධයෙන් රටේ පුරවැසියන් සතු දැනුවත්භාවය, මැදිහත්වීම සහ එම තත්වයන් වෙනස් කිරීම සඳහා ඔවුන් සපයන සජීවි දායකත්වයේ පරිමාව යි . රටක යම් රාජ්‍ය ආයතනයක් අකාර්යක්ෂම හෝ අනීතිකව හෝ නොඑසේ නම් සම්මත නීතිරීති මිනුම් දඬු මෙන්ම ව්‍යවස්ථාපිත රෙගුලාසි ආදිය උල්ලංඝනය කරමින් කටයුතු  කරන්නේ නම් එයින් අවබෝධ කොට ගත යුතු සත්‍ය වන්නේ එම රටේ පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල සහ එම තත්වයන් වෙනස් කිරීම කෙරෙහි ඔවුන්ගේ ඇති දැනුවත්භාවය  සහ  විෂයානුගත සාක්ෂරතාවයෙහි දිග පළල යි.

රට අභ්‍යන්තරයේද මෙවැනිම දත්ත සමුදායක් තිබෙන අතර ඇතැම් සමික්ෂණ වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියන් සතු මූලික අයිතිවාසිකම් සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද දැනුවත්භාවය පවතින්නේ ඉතාම පහල අඩියක ය.

විශේෂයෙන්ම  රාජ්‍ය  ආයතන තුළින් මහජන සේවා සපයා ගැනීම සහ එහිදි සිදුවන අක්‍රමිකතා හෝ නොසලකා හැරීම් සම්බන්ධයෙන් එයට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රටේ ජනතාව සතුව තිබෙන්නේ ඉතාම අල්ප දැනුමකි. ආණ්ඩුකරණය, ව්‍යවස්ථාදයක සහ දේශපාලන බල ක්‍රම විධි, අණ පනත් රෙගුලාසි ආදී විෂයන් ගැන පමණක් නොව සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපනය, කම්කරු, ගමනාගමය සහ  ප්‍රවාහනය   ආදී එදිනෙදා ජන ජීවිතයට බලපාන හිමිකම්  සහ වරප්‍රසාධ පිළිබඳවත් ඒවා උල්ලංඝනය කෙරුනු විට ගත හැකි ක්‍රියාමාර්ග හෝ ප්‍රවිශ්ඨ විය හැකී නෛතික ආයතන පද්ධති පිළිබඳවත් රටේ සමස්ත ජනගහනයෙන් දැනුමක්, අවබෝධයක් තිබෙන්නේ සංඛ්‍යාත්මකව කී දෙනෙකුට ද?

ඒ දැනුවත්භාවය පුරවැසියන් හට ලබාදීමේ වගකීම පැවරෙන්නේ කාගේ උරමතට ද? අවම වශයෙන් මෙවන් තීරණාත්මක සංධිස්ථානයකදි හෝ ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු කිරීම,  සැලසුම් සකස් කිරීම රටේ නීති වියතුන් සතු කාර්යභාර්ය කි.

එසේත් නැතිනම්, ඔවුන් දැන් සැරසෙන්නේ භීෂණය හා දුෂණය වෙනුවට ප්‍රජාතන්තවාදය සහ යහපාලනය දියවන්නාව දිගේ ලබාදෙන බවට කඩවුණු පොරොන්දු දුන් අනේකවිධ නායකයන් බලයට පත් කිරීමට මේතාක් කල් දරදිය ඇද්දා සේ ඊළඟ දියසේන කුමාරයාගේ අභිෂේක මංගල්ලයට පෙරමග සැකසීමටද?

විකල්පය කුමක්ද?

අප කුමක් පැවසුවද මේ මොහොත වන විට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඒ සමගම ඉදිරිපත් කෙරුනු අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතද  පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මතව පනත් බවට පත්වී අවසන් ය. දැන් එයින් ලැබෙන ප්‍රතිළුල භූක්ති  විඳිනු මිස වෙන කළ හැකි කිසිවක් නොවේ යැයි පසකට වී බලා සිටින්නේ ද? නොඑසේ නම් එය  රටේ සම්මත නීතියක් බව පිළිගෙන ඉවසනු වෙනුවට එයින් වන අනිටු ඵල විපාක පිළිබඳව රටේ පුරවැසියන්ව දැනුවත් කොට ඉදිරියේ දි හෝ ඒ තත්වය වෙනස් කිරීමට පෙළ ගැසෙන්නේ ද යන වගයි. එහි ප්‍රමුඛ වගකීම පැවරී ඇත්තේ නීති ප්‍රජාව සහ අධිකරණ ක්ෂේත්‍රයෙන්ම මෙයට විරෝධය පළ කළ පාර්ශවයන් සතුව ය. ඉන් අනතුරුව දේශපාලන තන්ත්‍රයට ය.

22 වැනි සංශෝධන පනත ආපස්සට හැරවිය හැකි එකම  අවස්ථාව 2/3 බලයක් සහිතව ගෙනෙන ව්‍යවස්ථා සංශෝධනයකින් ම පමණි. එය දේශපාලන කාර්යයකි. නමුත් ඒ සම්බන්ධයෙන් අතීතයේ මග හැරුණු වගකීම් වෙනුවෙන් පෙළ ගැසීම මේ සියළු පාර්ශවයන් සතු වගකීමකි.

අවසානයක් නොවන අවසානයට මෙයද සටහන් කොට තබන්නට තැමැත්තෙමි .මේ මාලීමා ආණ්ඩුවේ මැතිවරණ ධම්මපදය වන "පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " , පොතේ පිටු අංක 199 සිට " නීතිය මත පාලනයක්, සමප්‍රවේශී අධිකරණ පද්ධතියක් "  නමින්  අධිකරණය සම්බන්ධයෙන් ලියැවී ඇති දෑ අතරින් කෙටි වාක්‍ය කිහිපයකි .

" අධිකරණය මගින් ස්වාධීනව හා කාර්යක්ෂමව යුක්තිය පසිඳලීම මෙන්ම මහජනයාට ඒ ක්‍රියාවලිය පිළිබඳව ඇති විශ්වාසයත්, නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමෙහිලා අතිශය වැදගත් වේ. නමුත් අද ලංකාවේ මෙම ක්‍රියාවලිය අධික මිල සහිත මහජනතාවගෙන් ඈත් වූ සහ ජනතා විශ්වාසය පළුදු වූවකි. ස්වාධීන, කාර්යක්ෂම , විනිවිදභාවයෙන් යුක්ත හා මහජනතාවට දැරිය හැකි අධිකරණ පද්ධතියක් ඇති කිරීමෙන් ඒ පිළිබඳව බිඳිගිය ජනතා විශ්වාසය නැවත ගොඩ ගැනීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරයි."

පවසා ඇති පරිදිම ඉදිරියේදි යුක්තිය වෙනුවෙන් රටේ පුරවැසියන්ට අධික මිලක් ගෙවන්නට සිදුවනු ඇත.

කේ .විජේසිංහ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...